දැනගෙන භාවිතා කළ යුතු රූපලාවණ්‍ය නිෂ්පාදන

ආචාර්ය ආර්. චින්තක එල් ද සිල්වා (ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ – ITI) ලේකම් – ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය

තරඟකාරී නවීන සමාජය හා බද්ධව පවතින ජිවන රටාවක් තුළ  රූපලාවණ්‍ය කෙරෙහි අද විශාල නැඹුරුවක් දක්නට ලැබේ. 

අප කවුරුත් හැඩටත්, ආකර්ෂණීයවත් දිවි ගෙවන්නට නිතැතින් ම කැමැත්තක් දක්නවන අතර මේ නිසා හිසේ සිට පාදය දක්වා ගැල්වීමට නොයෙකුත් ආලේපන වර්ග යොදා ගැනේ.  මේවා අතර හිසේ, සමේ, මුහුණේ, දෙතොලේ, ඇඟේ, නියපොතුවල, ඇස්වල, ඇස් බැමි ගලවන ආලේපන වගේම තව බොහෝ රූපලාවණ්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගන්නා වාණිජ නිශ්පාදන ද වේ.  මේ සියල්ල සම, හිසකෙස්, වර්ණක, (Skin care, hair care, colour cosmetic, personal care) වැනි කොටස්වලට ගොනු කෙරේ.

සමස්ත ලෝකය දෙස බැලූ විට ද මේවායේ ප්‍රවණතාවක් පෙනුණ ද ඊට රූපලාවණ්‍ය සඳහා භාවිතා කරන කෘතීම ආලේපන කර්මාන්තය නොහොත් සමස්ත කොස්මැටික් කර්මාන්තයේ (cosmetic industry) සිඝ්‍ර ලෙස පුළුල් වීම ද විශාල වශයෙන් බලපා තිබීම විශේෂත්වයකි.

ගෝලීයකරණය තව ලෙසකින් ඊට සුවිසල් බලපෑමක් සිදු කෙරේ. උදාහරණයක් ලෙස ප්‍රංශය ලොව ප්‍රධානතම රූපලාවණ්‍ය ආලේපන කර්මාන්තකරුවන් වන අතර එරට පලාවණ්‍ය ආලේපන කර්මාන්තය (යූරෝ බිලියන නවයක වාර්ෂික ඉපැයුම්) දෙවැනි වන්නේ, ගුවන්යානා කර්මාන්තයට පමණකි.  1100 ක් පමණ ප්‍රංශ කර්මාන්තකරුවන් ඊට දායක වේ. නමුත් සමස්ත ගෝලීය තත්ත්වය සලකා බැලීමේ දී වර්තමානයේ දී ආසියානු පැසිපික් කලාපය කොස්මැටික් කර්මාන්තයේ ප්‍රධානතම සැපයුම් කරුවන් බවට පත්වන්නේ 35% ක නිශ්පාදන ප්‍රතිශතයකට සැපැයුම්කරුවන් බවට පත්වෙන්නේ 35% ක නිශ්පාදන ප්‍රතිශතයකට දායකත්වය සපයමින්ය.

බටහිර යුරෝපයත් උතුරු අමෙරිකාවත් පිළිවෙළින් ඊට දෙවෙනි වූ දායකත්වයන් සපයති.  ආසියාවේ බිහි වන නවෝත්පාදන, ආර්ථික ප්‍රවනතාව තව තවත් වර්ධනය කරන බවත් මෙහිලා කිව යුතුයි. සියල්ලන්ට ම එක ම වට්ටෝරුවක් භාවිතා කර රූපලාවණ්‍ය ආලේපන නිශ්පාදනය කිරීමෙන් ඔබ්බට ගොස් එක් එක් පාරිභෝගිකයාට ගැලපෙන ලෙස (tailor made) ආලේපන සකස්කර දීම දක්වා මේ කර්මාන්තය ව්‍යාප්තව ඇත. 

උදාහරණයක් ලෙස කෙනකුගේ ඛේඨ සාම්පලයකින් නිස්සාරණය කරගන්නා DNA මඟින් දත්ත විශ්ලේෂණය කර දින කිහිපයක් ඇතුළත සම වයසට යෑම වළකන ආලේපනයක් (anti aging face treatment) සාමාන්‍යෙයන් යූරෝ පන්සියයක් වැනි මුදලකට එම පාරිභෝගිකයාට ම පමණක් ගැලපෙන ලෙස සාදා දීම දක්වා තාක්ෂණික සංවර්ධනයක් ඇති දියුණු රටවල වර්තමානයේ සුලභව සිදු කෙරේ.

නමුත් දැනට වෙළඳපොළේ දහස් ගණන් කොස්මැටික් වර්ග අපට දක්නට ලැබෙනවා. ගැටලුව නම් මේවා කෙලෙස සෞඛ්‍ය ගැටලුවලට මුල පුරනවා ද යන්න යි.  රට තුළට ගෙනෙන නානාවිධ කොස්මැටික් වර්ග විවෘත වූ ආර්ථිකය හරහා ආනයනය කිරීමේ දී නිසි විමර්ශනයකට පත්වනවා ද යන්න අපට සිතා බලන්නට කාලය එළඹ ඇත.  කොස්මැටික් ආලේපන හා සුවඳගල්වන ඉසින නිශ්පාදනය සඳහා භාවිතයට ගන්නේ, සෞඛ්‍යයට සුදුසු රසායනික ද්‍රව්‍ය ද යන්න අප නොදනී.

බොහෝ නිශ්පාදන භාවිතයට සුදුසු නොවන්නට තිබෙන ඉඩකඩ වැඩි බව අනාවරණය වූ  අවස්ථා එමටය.  කෙසේද අප සුදුසු කොස්මැටික් වර්ගයක් තෝරා ගන්නේ? මිල අධික කොස්මැටික් නිශ්පාදන භාවිතයට සුදුසු ද යන්න කෙනෙකු සිතීම ද වැරදි ය. සොයා බැලිය යුත්තේ ඒවායේ අඩංගු රසායනික ද්‍රව්‍ය  මොනවා ද යන්න යි.  මන්ද ඇතැම් රසායනික ද්‍රව්‍ය ශරීරයට විෂ සහිත වන බැවිනි.  යුරෝපානු සංගමයේ රටවල් වර්තමානය  වන විට කොස්මැටික් ආලේපන නිශ්පාදනය සඳහා යොදාගන්නා අහිතකර බවට සැක කෙරෙන රසායනික සංයෝග 1373ක් පමණ තහනමට ලක්කර තිබේ.  නමුත් අනේකුත් බොහෝ රටවල නම්, එවැනි නියාමනයන් කරන්නේදැයි පෙනෙන්නට නොමැත.  අමෙරිකාව ද ඒ සඳහා වෙනම අධිකාරියක් තිබුණත් ඊට උදාසීන ස්වභාවයක් පෙන්නුම් කෙරේ.

මේ සඳහා නුසුදුසු විෂ සහිත බොහෝ සංයෝග අතුරෙන් කිහිපයක් පිළිබඳ දැනුවත් වෙමු.

ෆෝමැල්ඩිහයිඩ

මෙය සැලකෙන්නේ මිනිස් පිළිකා තත්ත්ව ඇති කරන ප්‍රවණතාවක් දක්වන අහිතකර රසායනික ද්‍රව්‍යයක් ලෙසයි.  විශේෂයෙන් මේ වාෂ්පය ද අහිතකර ය.  නියපොතු සඳහා යොදාගන්නා පොලිෂ් වර්ග, කොණ්ඩයේ ආලේපිත ජෙල් වර්ග, ෂැම්පු, ක්ලෙන්සර්, කන්ඩිෂනර්, සම් ආලේපන හා නොයෙකුත් ලෝෂන් වර්ගවල සංයෝග ලෙස ඇතැම් නිශ්පාදකයන් ෆෝමැල්ඩිහයිඩ් යොද්ගන්නා බව ඔබ දන්නවාද? මොළය, වකුගඩු හා අක්මාවටත් මේ නිසා අහිතකර තත්ත්වයන් ඇති කරන්නට සමත් වේ.  කූඨ ලෙස ඇතැම් නිශ්පාදකයන් නිශ්පාදනයේ අන්තර්ගත වන සංයෝග දක්වන ලේබලය වෙනත් නම්වලින් සටහන් කරන්නේ ෆෝමැල්ඩිහයිඩ අඩංගු බව පාරිභෝගිකයාගෙන් සැඟවීමටයි.  DMDM Hydntoin ලෙසත්, යූරියා ලෙසත් නිශ්පාදන සංයෝග දක්වන්නේ ද පාරිභෝගිකයන් නොමග යවමිනි.  කෙසේ වෙතත් මේවා ෆෝමැල්ඩිහයිට නිකුත් කරනු ලබන ද්වාරයන් වේ.

ට්‍රයික්ලොසාන් මෙන්ම පැරබේන්ස් (පැරබේන්ස් සඳහා යොදාගන්නා වෙනත් නම් methylparaben, isopropylparaben, pentylparaben, isobutylparaben, phenylparaben, and benzylparaben නම් රසායනික ද්‍රව්‍යයන් ශරීරයේ හෝමෝන ක්‍රියා විරහිත කිරීමට සමත් ය. මේවා අත්යට ගල්වන ඇතැම් ඩියෝඩ්‍රන්ට මෙන්ම සබන් හා ෆේස්වොෂ් වර්ගවල ද අඩංගු වීමට හැකිය.  පැරබේන්ස් ප්‍රමාණ පියයුරු පිළිකාවල ද අඩංගු බව ඇතැම් ලෝෂන් හා ඔයින්මෙන්ට් ආලේපනවලට භාවිතා කළ ද ඒවා ශරීරයට දීර්ඝ කාලීනව අහිතකර ය. DTA MEA මෙන්ම  TEA ද හෝමෝන ක්‍රියාකාරිත්වය අවහිර කරනු ලබන අහිතකර සංයෝගයන්ය. එතිලීන් ඔක්සයිඩ් යනු පිළිකා ඇති කිරීමේ ප්‍රවනතාවලට තුඩු දෙන තවත් විෂ සංයෝගයක් බවට හඳුනාගෙන තිබේ.  මේවා ඇතැම් නිශ්පාදනකරුවන් සුවඳ ගල්වන්නටත් ෂැම්පු වර්ග සෑදීමටත් යොදා ගැනේ.

චර්යා රටා වෙනස් කිරීමටත්, ඉගෙනුමට මෙන්ම මොළයේ බාධාකාරී තත්ත්ව ඇති කරන්නටත් ස්නායු ක්‍රියාකාරිත්වයන්ට අහිතකර බලපෑමක් ඇති කරන්නටත් ලෙඩ් නොහොත් ඊයම් ඇතැම් රෑපලාවණ්‍ය ආලේපන නිෂ්පාදනවල අඩංගු වෙනවා.  ඇතැම් ලිප්ස්ටික්, ෆවුන්ඩේෂන්, වයිට්නිං ක්‍රීම් සහ 650 කට අධික කොස්මැටික් නිෂ්පාදන වර්ගවල ද  ඊයම් ප්‍රමාණාත්මකව අඩංගු වී තිබූ බව වාර්තාවල සඳහන්. මිනරල් ඔයිල්,  PEG  හෙවත් පොලිඑතිලීන් ග්ලයිකොල් කියන දෙකම පිළිකා කාරක වේ. 

සාමාන්‍ය ඛනිජ තෙල්වලින් මේවා ලබා ගන්නා අතර මිනරල් ඔයිල් සංඝටක සමේත් මේදයේ මෙන්ම අභ්‍යන්තර අවයවවලත් තැම්පත්වී භයානක රෝග තත්ත්වයන් ඇති කිරීමට සමත් වේ. නමුත් රෝස්මරී ශාඛ පත්‍රයෙන් ස්වාභාවිකව ලබා ගන්නා සංයෝග වගේම ආමන් තෙල් වැනි හිතකර සංයෝග, මිනරල් ඔයිල් වෙනුවට හොඳ ආදේශක ලෙස භාවිත කර තම හිතකර නිෂ්පාදන එළිදක්වන නිශ්පාදකයන් ද සිටින බවත් සඳහන් කළ යුතුය.  මේවායේ ස්වාභාවික වන විටමින් A සහ  E අඩංගු වීම නිසා සමේ පෝෂණයටත් එක් පසෙකින් ඉවහල් වේ.

ඉස්හොරි, වියළි සම ආදී දේවල් සඳහා යොදා ගැනෙන නිශ්පාදනවල කෝල්-ටා නැති නම් පෙට්‍රෝලියම් නිෂ්පාදනයක් වන තාර යොදා ගැනුණත් තාර පිළිකාකාරකයක් බව කිව යුතු වෙනවා.  ඇලේ (Aloe) කියන්නේ මේ සඳහා යොදාගන්නා ස්වාභාවික හිතකර වූ සිංයෝගයක් හා ආදේශකයකි.  සෝඩියම් ලොරේල් සල්පේට, ඇමෝනියම් ලොරෙල් සල්පේට වැනි සංයෝග බහුලව කොස්මැටික් නිශ්පාදනවලට යොදා ගන්නා අතර ඩයරියා, අක්ෂි රෝග, සම් රෝග මෙන්ම මානසික ව්‍යාකූලතා (depression) තත්ත්වයන් ද ඉන් ඇති කර විය හැකියි.  Triclosan, Hydroquinone, P-Phenylenediamine, Quaternium-15, Talc, Titanium, Avobenzone යන රසායනික ද්‍රව්‍යයන් ද කොස්මැටික් නිෂ්පාදනයේ දී විෂ සහිත සංයෝග ලෙස හැඳින්වෙන අතරම තවත් සිය ගණන් භාවිතයට නුසුදුසු විෂ සහිත සංයෝග රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා ඇතැම් නිෂ්පාදනවලට යොදැගැනීම කනගාටුවට කරුණකි.

මේ සියල්ල දෙස බැලීමේ දී කෘතීම රසායනික සංයෝග අවම ප්‍රමාණයේ ඇති නිෂ්පාදනවල අවදානමත් සාපේක්ෂව අඩු බවත් ස්වාභාවික ද්‍රව්‍යවලින් නිස්සාරණය කරගන්නා සංයෝග, භාවිතයට හිතකර බවත් සඳහන් කළ යුතුයි.

රසායනික ද්‍රව්‍ය තනිව ම හා වෙනත් සංයෝග වශයෙන් පවතිද්දී මේවායේ ගුණාංගවල වෙනසක් තිබීමටත් පිළිවන් වන නමුත් එය කෙලෙස බලපාවි ද යන්න දීර්ඝකාලීන පර්යේෂණ මඟින් තහවුරු කළ යුතු වෙනවා.

කෙසේ වෙතත් කාන්තාවන් එකිනෙකට වෙනස් රූපලාවණ්‍ය නිෂ්පාදන නවයක් වත් දෛනිකව භාවිතා කරන බව වාර්තාවල සඳහන් වෙනවා. එසේ නම්, කොපමණ සෞඛ්‍ය වශයෙන් දීර්ඝ කාලීන අවදානමකට නතු වන බව ඔබට දැන් වැටහෙනු ඇත.  කොස්මැටික් නිශ්පාදන මිල දී ගැනීමේ දී ඔබ ඒවායේ අඩංගු වන වට්ටෝරුව සෑමවිටම පිරික්සා බලන්න.  එමඟින් අහිතකර සංයෝග සහිත වන කොස්මැටික් නිශ්පාදනවලින් ප්‍රවේසම් විමට ඔබට හැකි වනු ඇත. කෙසේ වෙතත් චිනය, තායිලන්තය වැනි රටවලින් අඩු මිලට මෙරටට ආනයනට කරන වෙළෙඳපළේ ඕනෑ තරම් ඇති නිර්නාමික නිෂ්පාදන හා වට්ටෝරු සටහන් නොමැති නිෂ්පාදන කෙරෙහි අප රට මීට වඩා අවධනය යොමු කළ යුතු වනවා.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් ‘දිනමිණ’ පුවත්පත සමග ප‍්‍රකාශයට පත්කරනු ලබන ‘විද්‍යා’ පුවත්පතින් අවසරය ලැබ කාලීන අවශ්‍යතාව මත සම්පූර්ණයෙන් උපුටා ගන්නා ලද ලිපියකි. ප‍්‍රධාන සංස්කාරක

Recommended For You

About the Author: Editor