පරාජයෙන් පසු පළමු මාධ්‍ය හමුව : ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මෙතැනින් කොතැනටද ?

වගකීම සහ වගවීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ බරපතළ ගැටලූවක් තිබෙනවා. ඇතැමුන් තම වගකීමවත් හරි හැටි දන්නේ නැහැ. එවැනි පුද්ගලයින්ගෙන් වගවීමක් කොහොමවත් අපේක්ෂා කරන්න බැහැ. ඇත්ත ඒක තමයි. එය ජාතික ආරක්ෂාව, රාජ්‍ය පාලනය, ක‍්‍රීඩාව කියලා වෙනසක් නැහැ.

ශ‍්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන පළමු වටයේදී ලැබූ පරාජය ගැන දැන් තැන් තැන්වල ඇති තරම් කතා වෙනවා. ‘‘ජයග‍්‍රාහකයාට පියවරු සීයයි – පරාජිතයා අවජාතකයි’’ කියන්නා වාගේ ලංකා කණ්ඩායම ලැබූ පරාජයට හේතු කියන්න, හේතු හොයන්න එතරම් අපහසු නැහැ. ඒක සරල කතාවක්. ‘‘වැපුරූ දේ කපා ගන්න වෙනවා’’ කියලා කියන්නේ කට කහනවාට නොවන බව පමණක් මේ සියලූ දෙනාම වටහා ගත යුතුයි.

ඒ කොහොම වුණත් පරාජයට හේතු සොයා කරන දේ ‘‘කැකිල්ලේ තීන්දු’’හෝ ‘‘මහදැන මුත්තාගේ පන්නයේ ’’ වැඩ නොවිය යුතු බව පමණයි අපගේ අදහස වන්නේ. මොකද පසුගිය කාලේ අපි රටේ හැම තැනම, හැම දේමක දැක්කේ කැකිල්ලේ, මහදැන මුත්තා ඉක්මවා යන කැකිල්ලේ ප්ලස්, මහදැනමුත්තා ප්ලස් වැඩ.

පරාජයට හේතු කියන හැටි

ලෝක කුසලානයේ පළමු වටයෙන් එළියට විසිවුණු ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් සහ පුුහුණුකරු චන්දික හතුරුසිංහ, සහ තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් අද (8) ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වුණා.

මෙහිදී චන්දික හතුරුසිංහ කළ කතාවට කාගෙත් අවධානය යොමු වුණා.

‘‘මට තවත් මාස 16 ක් තියෙනවා. මගේ ගිවිසුම අවසන් වෙනකම් මම තනතුරේ රැඳී ඉන්න බලාපොරොත්තු වෙනවා’’හතුරුසිංහ කිව්වා.

මේ සමග මාධ්‍ය ප‍්‍රශ්න කළේ ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා නොගැනීම සම්බන්ධයෙන් වගකීම බාරගන්නේද යන්නයි. ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ කණ්ඩායමේ සමස්ත කාර්ය මණ්ඩලයම එහි දෝෂාරෝපණය බාරගත යුතු බවයි.

‘‘සිද්ධ වුණ දේ සම්බන්ධයෙන් අපි සියලු දෙනාම වගකීම බාරගත යුතුයි. අපි මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා. අපි ඒ ගැන හිතන්න ඕනේ. මෙයින් පාඩමක් ඉගෙනගෙන ඉදිරියට යන්න ඕනේ. මා හිතන විදිහට මම මගේ උපරිමය කළා’’ කියලා හතුරුසිංහ සඳහන් කළා.

හතුරුසිංහ කෙසේ ප‍්‍රකාශ කළත් ඊයේ (7) ක‍්‍රීඩා ඇමැතිවරයා කිව්වේ, ජාතික පුහුණුකරුවා තනතුරෙන් ඉවත් නොවන්නේ නම් ඔහුට ඉහළින් උපදේශකවරයකු පත්කරන බවයි. මේ තත්ත්වය තුළ චන්දික හතුරුසිංහ සහ ක‍්‍රීඩා ඇමැතිවරයා අතර ගැටුමක් අපට ඉදිරියේදී බලා ගන්න පුළුවන් වෙයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පසුගිය දා සඳහන් කළේ මාස තුනක් ඇතුළත ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයේ විශාල වෙනසක් කෙරෙන බවයි. ඔහු කී අයුරින් පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන්, වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු රුමේෂ් රත්නායක සහ පිතිකරුවන්ගේ පුහුණුකරු ජොන් ලුවිස් තිදෙනාගේම කොන්ත්‍රාත්තු දීර්ඝ නොකෙරෙනු ඇති බවයි මේ වන විට තහවුරු වෙලා තිබෙන්නේ.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල දක්ෂතා දැක්වීමට අපොහොසත් වීම පිළිබඳ අදහස් දක්වමින් අසන්ත ද මෙල් මෙසේ සඳහන් කළා.

‘‘මගේ පුද්ගලික මතය අපේ පන්දු යවන්නන් හොඳට සෙල්ලම් කළා. අපේ අඩුපාඩුව තිබ්බේ අපි වුවමනා ලකුණු ප්‍රමාණය ගත්තේ නැති එක. වර්ෂාව හේතුවෙන් තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වුණා. කෙසේ වුවත් තරග හතෙන් තුනක් පමණක් ජයග්‍රහණය කිරීම ගැන සතුටට පත්විය නොහැකියි’’ අසන්ත ද මෙල් කිව්වා.

මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථක වීම ගැන මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අසන්ත මෙසේ කිව්වා.

‘‘මැද පෙළ ගහන අය බය නැතුව ගහන්න ඕනා. අවුට් වෙන්න බයේ ගහනවා නම් හුඟක් වෙලාවට ගහන්න බෑ. අපි කියල තියෙන්නේ බය නැතුව ගහන්න. හිතන්න එපා ඊළඟ මැච් එකට ඉඳියිද, නැද්ද. ඒ වගේ හිතන්න නරකයි. අපි ගිහිල්ල පොසිටිව් ගහන්න ඕනා’’

මෙහිදී නායක දිමුත් කරුණාරත්න ගැන කතා කිරීමට ද ඔහු අමතක කළේ නැහැ.

‘‘නායක දිමුත් කරුණාරත්න ඉතා හොඳින් කණ්ඩායම මෙහෙය වූවා’’

මෙහිදී කුසල් මෙන්ඩිස් ගැන ප‍්‍රශ්න නැගීමට ද මාධ්‍ය අමතක කළේ නැහැ. එහිදී කුසල් ගැන තම අදහස් පළ කළ අසන්ත මෙසේ සඳහන් කළා.

‘‘එයාට වයස 23යි. එයා ටෙස්ට් තරගවල ශතක පහක් ලබල තියෙනවා. මම හිතන්නේ එයා ඉතාමාත්ම හොඳ ටැලන්ටඩ් ප්ලේයර්. එච්චර හොඳ ක්‍රීඩකයෙක් ගැන අපි පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න ඕන’’

මෙහිදී තමා ද හිටපු වේග පන්දු යවන්නෙක් බව මතකයේ තිබෙන අසන්ත පිතිකරුවන් ගැන ද සඳහන් කළා.

‘‘විශේෂයෙන්ම පිතිකරුවන්ට කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් තිබිය යුතුයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ’’ අසන්ත ද මෙල් වැඩිදුරටත් පැවසුවා.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor