පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් සුළු අපනයන බෝගවලට තදින් වදී

මෙරට ප‍්‍රමුඛ සුළු අපනයන බෝග වන කුරුඳු, ගම්මිරිස් සහ ගොරකාවල මිල විශාල වශයෙන් පහළ වැටීම නිසා වගාකරුවන් විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.

ප‍්‍රධාන වශයෙන් ගම්මිරිස් වගාව පවතින මාතලේ, කුරුණෑගල, මහනුවර, බදුල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත‍්‍රික්කවල මේ වන විට ගම්මිරිස් අස්වැන්න නෙළමින් තිබේ. එහෙත් මේ වන විට මීට පෙර වර්ෂවල රුපියල් 1400ක් පමණව පැවැති වියළි ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 400 පමණ දක්වා රුපියල් 500ක්ව පැවැති අමු ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 140 දක්වා ද පහළ වැටී ඇතැයි ගොවීහු පෙන්වා දෙති.

තම ගම්මිරිස් විකුණා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදා වී ඇත්තේ වියට්නාමයේ ගම්මිරිස් මෙරටට ගෙන්වා සිදුකරන ප‍්‍රති අපනයනය නිසා බව ගම්මිරිස් නිෂ්පාදකයින්ගේ අදහස වී තිබේ.

රටට විශාල විනියමක් ලබා දෙමින් ග‍්‍රාමීය ආර්ථිකයේ ප‍්‍රමුඛ අමතර ආදායමක් වන ගම්මිරිස් වගාකරුවන් රැුක ගැනීමට ආණ්ඩුව කිසිදු පියවරක් නොගන්නා තත්ත්වයක් පවතින බව පෙන්වා දෙන ගම්මිරිස් වගාකරුවෝ මේ ආකාරයට කටයුතු සිදු වුවහොත් තමන් වගාවෙන් ඉවත් වන බව ද කියා සිටිති.

මේ සමග මෙරට ප‍්‍රමුඛතම සුළු අපනයන භෝගය වන කුරුඳු මිල ද විශාල වශයෙන් පහත බැස ඇතැයි කුරුඳු වගාකරුවෝ පෙන්වා දෙති. ඒ අනුව පසුගිය සමයේදී රුපියල් 2050ක්ව පැවැති ගොරෝසු වර්ගයේ කුරුඳු කිලෝවක මිල රුපියල් 1530 දක්වා පහළ වැටී තිබෙන අතර ඇල්බා වර්ගයේ කරැඳු කිලෝවක මිල රුපියල් 4200 සිට රුපියල් රුපියල් 3400 දක්වා පහළ වැටී තිබෙන බව ගොවීහු පවසති.

මීට අමතරව ගොරකා මිලද පහළ වැටී ඇති බව වාර්තාවේ. මීට වසරකට පමණ පෙර රුපියල් 350 පමණ අලෙවි වූ ගොරකා කිලෝවක් වර්තමානය වනවිට රුපියල් 100 දක්වා පහළ වැටී ඇති ඉදිරි මාස තුන ඇතුළත එය රුපියල් 90 – 75 දක්වා පහළ වැටෙනු ඇතැයි ගොරක එකතු කරන්නෝ පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී හෙළි වූයේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු සුළු අපනයන බෝග ව්‍යාපාරයේ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් නියැළී සිටි මුස්ලිම් ජාතික ව්‍යාපාරකයින්ට ඇති විවිධ බාධාවන් මෙම තත්ත්වයට ප‍්‍රමුඛව හේතු වී ඇති බවයි.

ලංකාවේ සුළු අපනයන බෝග ගොවීන් වෙත ගොස් එකතු කරන ප‍්‍රමුඛම ව්‍යාපාරික පිරිස වූ මුස්ලිම් වෙළෙඳුන්ට සිංහල ගම්මානවලට යාමට ඇති අපහසුතා මෙන්ම ප‍්‍රමුඛ අපනයනකරුවන්ට මුහුණදීමට ඇති විවිධ බාධාවන් ද සුළු අපනයන බෝග මිල විශාල වශයෙන් පහළ බැසීමට හේතු වී තිබේ.

Recommended For You

About the Author: Editor