හේමසිරි සහ පූජිත්ට එරෙහි සියලූ පෙත්සම් ජාතික වැදගත්කමක් සේ සලකා 12 දා විභාගයට ගනී

පාස්කු ඉරිදා ප‍්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ නියෝගයක් නිකුත් කරන ලෙසට ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් ජාතික වැදගත්කමකින් යුතු කරුණක් සේ සලකා එම පෙත්සම් විභාග කිරීමට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කිරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අද (8) තීරණය කළේය.

ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කර ඇති සෙසු විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් වනුයේ බුවනෙක අළුවිහාරේ, සිසිර ද අබෲ, ප‍්‍රියන්ත ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී.දෙහිදෙණිය, මුර්දු ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් සිය දරු දෙදෙනා අහිමිවූ වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි නන්දන සිරිමාන්න, සංචාරක කර්මාන්තයේ නියැලි ව්‍යාපාරික ජනත් විදානගේ, ශ්‍රී ලංකා නීතීඥ සංගමය, හෙන්රි මේරියන් අශෝක් ස්ටීවන්, සරත් ඉද්දමල්ගොඩ සහ හේල් එවන්ස්ටන් ප‍්‍රනාන්දු ජයවර්ධන යන පියතුමන්ලා, නාගානන්ද කොඩිතුවක්කු, ජූඞ් පෙරේරා, නිමල් කුමාරසිරි ඇතුළු පුරවැසියන් පිරිසක්ද, පූජ්‍ය අගුළුගල්ලේ ජිනානන්ද හිමි ඇතුළු පිරිසක් ගොනු කළ සියලූ පෙත්සම් ලබන 12 වනදා සළකා බැලීමට නියමිතයි.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් හි වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ නියෝජ්‍ය පොලිස්පති ශ්‍රී ලාල් දිසානායක සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටී.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ ගාමිණී පෙරේරා, ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන, ජනාධිපති නීතීඥ ක‍්‍රිෂ්මාල් වර්ණසූරිය මහත්වරුන් පෙනී සිටි අතර නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ෆර්සානා ජමීල් මහත්මිය පෙනී සිටියාය.

වගඋත්තරකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න සහ නීතීඥ විරාන් කොරයා යන මහත්වරු පෙනී සිටීයහ.

Recommended For You

About the Author: Editor