මිනී මැරුම් චෝදනා අනාවරණය කිරීමට CIDයට නොහැකි වෙයි – පූජිත් සහ හේමසිරි ශරීර ඇප මත මුදා හරී

පාස්කු ඉරිදා ප‍්‍රහාරය වළක්වා නොගත් බවට චෝදනා ලැබ මේ වන විට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

මෙම නඩුව අද (09) කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝග කළාය.

දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ මිනීමැරීමේ චෝදනාව මත සැකකරුවන් දෙදෙනාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා නගා තිබූ අතර එම කරුණු කිසි අයුරකින් අනාවරණය කිරීමට නොහැකි වීම හේතුවෙන් මොවුනට මෙසේ ඇප නියම කරන බව මහේස්ත‍්‍රාත්වරිය සඳහන් කළාය.

සැකකාර පූජිත් ජයසුන්දර මහතා මේ වන විට බන්ධනාගාර නිලධාරීන් යටතේ නාරාහේන්පිට පොලිස් රෝහලේ ද හේමසිරි ප‍්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හෙයින් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට එහි ගොස් ඇප අත්සන් කරන ලෙසද නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් සුව වූ වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ද නියෝග කළාය.

Recommended For You

About the Author: Editor