සීනුවේ සද්දේ තරම හෙට සහ අනිද්දා බලාගන්න පුළුවන්

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව හෙට (10) සහ අනිද්දා (11) විවාදයට ගැනීමට ඊයේ (8) රැස්වුණු පාර්ලිමේන්තු පක්ෂ නායකයන් තීරණය කර ඇති අතර විශ්වාසභංග යෝජනාව පිළිබඳ අවසාන ඡන්ද විමසීම අනිද්දා (11) පස්වරු 6.30 ට පැවැත්වීමට නියමිතව තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේ විශ්වාසභංග යෝජනාවකට මෙතෙක් ලැබුණු වැඩිම ඡන්ද ප්‍රමාණය ලබාගෙන යෝජනාව ජයග්‍රහණය කරවීමට ජවිපෙ උපරිමයෙන් කැපවෙන බවයි.

ආණ්ඩුවට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තීරණය කර ඇති අතර දෙමළ ජාතික සන්ධානයේ තීරණය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගන්නා බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා අප කළ විමසීමකදී පැවසුවේය.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ගැන අප කළ විමසීමකට පිළිතුරු දුන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ පසුගිය කාලයේ ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවලට අත් වූ ඉරණම ම මෙයට ද උරුම වන බවයි.

මේ වන විට පාර්ලිමේන්තු සංයුතිය විමසීමේදී පෙනී යන්නේ විශ්වාසභංග යෝජනාව ජය ගැනීම ආණ්ඩුවට අසීරු නොවන බවයි. ඒ එක්සත් ජාතික පක්ෂයට ආසන 106ක්ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 95 ක්ද, දෙමළ ජාතික සන්ධානයට ආසන 16 ක්ද, ජනතා විමුක්ති පෙරමුණට ආසන 6 ක්ද, ඊළාම් ජනතා ප්‍රජාත්‍රන්තවාදී පක්ෂයට ආසනයක් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයට ආසනයක්ද වශයෙන් බෙදී තිබෙන නිසාය.

බොහෝ දුරට දෙමළ ජාතික සන්ධානය සහ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය ආණ්ඩුව සමග එක් ඡුන්දය ප‍්‍රකාශ කරනු ඇතැයි විශ්වාස කෙරේ.

Recommended For You

About the Author: Editor