බලු කපුටු දේශපාලනය වෙනුවට සිංහ රාජාලි දේශපාලනයක් ඕනෑ -ඇමති චම්පික රණවක

නිපුණතාවය, ප‍්‍රායෝගිකත්වය හා අවංකත්වය යන ත‍්‍රිමූර්තිය සමග ශක්තිමත් රටක් ඇතිකරන්නට සියළු දෙනාගේම දායකත්වය බලාපොරොත්තු වෙනවා යැයි ඇමති චම්පික රණවක මහතා කියයි.

මහානගර ඇමති චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ ජාතික මග දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවේ කෑගල්ල සමුළුවට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, අද අපේ රටේ රුපියලක් සංවර්ධනයට යොදවනකොට රුපියල් තුනක් ණය ගෙවන්න සිදු වෙලා තියෙනවා. හුඟක් දෙනෙක් හිතනවා මේ නොමිලයේ බෙදන්නේ දේශපාලනඥයින්ගේ කැමැත්තට, හැකියාවට එහෙම නැත්නම් කුසලතාවයට කියලා,නෑ. ඒ ඔබේ, මගේ පාන්පිටි කිලෝවට, හාල් කිලෝවට, පිරිප්පු කිලෝවට, සීනි කිලෝවට, ගහන බදුවලින් තමයි ඒ ඔක්කෝම ගෙවන්නෙ. එතකොට මේවා නිකන් හම්බුනා කියලා, අපිට මේවා නිකන් ලැබුණා කියලා, අපි ආඩම්බර වෙලා බැහැ. මොකද අනික් අතට මේවට ගෙවන්නේ සමාජයම තමයි. එහෙමනම්, ආදායම් උපදවන ක‍්‍රමවේදයකට අපි රට ගෙනියන්න  ඕනෑ.

අපි දන්නවා බලූ – කපුටු දාන, බලූ-කපුටු දාන දෙනකොට මොකද වෙන්නෙ, ඒ බල්ලන් කපුටන් ඇවිත් ඒවා බොහොම සන්තෝසෙන් කනවා. දෙවනි දවසෙ යනකොට ඒ බල්ලොයි කාක්කොයි පෝලින් ගැහිලා ඉන්නවා. හරි ජනපි‍්‍රයයි, උන් හරි මනාපයි දානෙ දෙන අයට. මම දන්නවා එක කාන්තාවක් ඉන්නවා නිදහස් චතුරස‍්‍රයේ. එතුමිය එන ඉව දැනුනාම බල්ලොයි, කපුටොයි රංචුවම ඒ පස්සෙන් එනවා. අපේ රටේ දේශපාලනයෙත් තියෙන්නත් බලූ-කපුටු දානම තමයි. දෙනවා කියල දන්න තැනට මිනිස්සු ඇදෙනවා. හිතනවා මේක තමයි ක‍්‍රමය කියලා. හැමදාම ජනතාව,  ඡන්ද දායකයා ඔදවත්, තෙදවත්, බලවත් පුද්ගලයෙක් නෙවෙයි අර කිවූ ආකාරයට, සුනඛයෙක් නැත්තම් කාක්කෙක් විදිහට තමයි ජීවත් වෙන්නෙ.

කවදද අපි අපේ රටේ ජනතාව සිංහයෝ බවට පත් කරන්නෙ? කවදද අපි අපේ රටේ ජනතාව රාජාලීන් බවට පත් කරන්නෙ? තමන්ගේ ශක්තියෙන්, ස්ව ශක්තියෙන් නැගිටලා මේ ඔදවත් තෙදවත් රට නිර්මාණය කරන්න ගමන් කරවන්න.  අන්න ඒ දෙයට පසුබිමක් හා පදනමක් මේ ජාතික මග වේදිකාවෙන් හදලා තිබෙනවා. ඒ නිසා අපි ඔබ සැමට ආරාධනා කරනවා. මේ රට අපට හදන්න  ඕනේ, මේ රටේ ජාතික ආරක්‍ෂාව ඉහලින් තහවුරු කරලා මේ රට රකින්න  ඕනේ අපි. ඒ වගේම මේ රටේ නව නීති රීති ගෙනල්ල නව සමාජ ආකර්ෂණයන් ඇතිකරලා මේ රට අපි නිවන්න  ඕනේ. ඒ නිසා මේ ජාතික මග  පදනම, කි‍්‍රයාදාමය, දේශපාලන බේදයෙන් තොරව වැළඳගන්න. මේකත් සමග එකතුවෙන්න, වෘත්තීය මට්ටමෙන් නිපුණතාවය, ප‍්‍රායෝගිකත්වය හා අවංකත්වය කියන ඒ ත‍්‍රිමූර්තිය සමග ශක්තිමත් රටක් ඇතිකරන්නට අපි සියළු දෙනාගේම දායකත්වය බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය. 

Recommended For You

About the Author: Editor