ජනමාධ්‍ය අමාත්‍යාංශය අසමත්: ඒ වන්දිය ගෙවන්නෙත් ආණ්ඩුවමයි – අමාත්‍ය අජිත් පී. පෙරේරා

රජයක් අධ්‍යාපනයට, සෞඛ්‍යයට, ප්‍රවාහනයට, මාර්ග සංවර්ධනයට හා දුප්පත්කම තුරන් කිරීමට මේ කරන වැඩ ගැන ජනතාව දැනුවත් නැහැ. ජනතාව අහනවා ඕගොල්ලො මොකක්ද කළේ කියලා. මේ ජනතාවගේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක ආණ්ඩුවේ ප්‍රශ්නයක් යැයි ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අධිනීතීඥ අජිත් පී. පෙරේරා මහතා පැවැසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යංශයේ ‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය යටතේ බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකළ පුස්තකාලය සහිත දෙමහල් පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.

අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“රජයක් අධ්‍යාපනයට, සෞඛ්‍යයට, ප්‍රවාහනයට, මාර්ග සංවර්ධනයට හා දුප්පත්කම තුරන් කිරීමට මේ කරන වැඩ ගැන ජනතාව දැනුවත් නැහැ. ජනතාව අහනවා ඕගොල්ලො මොකක්ද කළේ කියලා. මේ ජනතාවගේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක ආණ්ඩුවේ ප්‍රශ්නයක්. 
 
ආණ්ඩුවේ වැඩපිළිවෙළ ජනතාවට දැනෙන විදියට අඛණ්ඩව ඉදිරියට ගෙන යන්න ජනමාධ්‍ය අමාත්‍යංශය අසමත් වෙලා. වැඩ කරනවා පමණක් නෙවෙයි, වැඩ කරන බව පෙන්නන්නත් ඕනේ. නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මිනිස්සු තීරණ ගනිද්දි ඒ තීරණ ගැනීමට ඉවහල් වන දැනුම පුරවැසියන්ට ලැබෙන්නෙ නැහැ. රජයේ ක්‍රියාකාරීත්වය ගැන බොහෝදෙනෙක් ප්‍රශ්න කරන්න හේතුව වැඩ නොකරපු හින්දා නෙවෙයි, වැඩ කරපු බව ඒත්තු ගන්වන්න ජනමාධ්‍ය අමාත්‍යංශය අසමත්වීම හින්දායි.

මේ ආණ්ඩුවේ ඇමතිවරයෙකු හැටියට මම ආණ්ඩුව කළ දේවල් ගැන ආඩම්බර වෙනවා වගේම කරන්න බැරි වුණ දේවල් ගැන දුක්වෙනවා. ඔක්තෝම්බර් 21න් පස්සේ මාධ්‍ය ප්‍රකාශකවරයෙකු නැති ආණ්ඩුවක් මේක. කැබිනට් ප්‍රකාශකවරයෙකු නැති ආණ්ඩුවක් මේක. මේ අඩුපාඩුකම් ගැන ආණ්ඩු පක්ෂයේ රැස්වීම් තුළ හා කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ කතා කරලා තියෙනවා.
 
මම ඉතා සතුටු වෙනවා අධ්‍යාපන, ප්‍රවාහන සෞඛ්‍ය සම්බන්ධයෙන් රජය කළ කැපවීම ගැන. නමුත් මේවා කියන්න ශක්තියක් තියන වැඩපිළිවෙළක් නොවීම මම කනගාටුවෙනවා.
 
විදුලිබල ඇමතිට හා ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණය බාර ඇමතිවරුන්ට මේ වැඩේ කරන්න බැහැ. මේ වැඩේ කරන්න පුලුවන් බලයක් තියෙන, හැකියාවක් තියෙන පුද්ගලයකු මේ ධූරය දැරිය යුතුයි” යැයි අමාත්‍යවරයා පැවසීය.
 

Recommended For You

About the Author: Editor