Voice of දියවන්නා : රතන හිමියෝ අතේ හිටිය කුරුල්ලට යන්න ඇරිය බවට ආනන්දගෙන් චෝදනා

සටහන :ගජබා නාගහවත්ත

සරළ කරුණාරත්න යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නීතීඥ සංගමයේ සභාපතිවරයාය. ඔහුගේ සොහොයුරා වන සරණ කරුණාරත්න ද එහි ජාතික සංවිධායකවරයායි. දෙදෙනාගේම නිවෙස් පිහිටා ඇත්තේ මිනුවන්ගොඩ පීල්ලවත්ත ප්‍රදේශයේය. පීල්ලවත්ත අයත් වන්නේ කටාන ආසනයටය.

ගම්පහ දේශපාලන ක‍්‍රමය ගැන විජිත් විජිතමුණි ද සොයිසට පාඩමක්

විජිත් විජිතමුණි ද සොයිසා මේ දිනවල සිටින්නේ කටානේය. කටාන ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා ලෙසින් ඔහුට පත්වීමක් ලැබීමට නියමිත අතර ඔහු මේ දිනවල ආසනය පුරා සංචාරය කරමින් සංවිධාන කටයුතුවල නියැලෙමින් සිටියි. එසේ ඇවිදින අතරතුර පසුගිය සතියේ දිනක පීල්ලවත්තේ දී සරල, සරණ දෙදෙනා සොයිසාට මුණගැසුණේය.

‘ආ මල්ලි කොහොමද? මේ පාර අපිට සපෝට් එකක් දෙනවා නේද? සොයිසා ඇසුවේය.

“ඔබතුමා තාම බිබිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක නේද? මොකද මේ කටාන පැත්තෙ ඇවිදින්නේ? සරණ පෙරළා ඇසුවේය.

“ඔන්න ඔන්න ඉතින් මාව අමාරුවේ දාන්න හදනවනේ. මොනවද මේ ඕනේ නැති කතා” සොයිසා කීවේය.

“ඔබතුමා කටානම ඉල්ලපු විශේෂ හේතුවක් එහෙම තියෙනවද? හැබැයි එහෙම වුණත් වැඩක් නම් වෙන්නේ නැහැ. මේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපි එහෙම ඡන්දය දෙන්නේ නැහැ. අයියා මල්ලි කියලවත් හිතලා ඡන්දය නොදිපු පිරිසක් තමයි මෙහේ ඉන්නේ” සරණ පැවසීය.

“ඒක නෙමේ කියන්නකෝ මට සපෝට් එකක් දෙනවද කියලා? සොයිසා යළි ඇසුවේය.

“අපි නම් ඔබතුමාට කිසිම සපෝට් එකක් දෙන්නේ නැහැ. හැබැයි අපි ඔබතුමාට සුබපතනවා” සරළ පැවසීය.

“මට සුබපතන්නේ මම දිනන හින්දා නේද? සොයිසා ඇසුවේය.

“මොන පිස්සුද ඔබතුමා මේ පාරත් පරාදයි. අපි සුබපතන්නේ ඔබතුමාගේ පරාජයට” සරණ ඇගගට පතට නොදැනී කීවේය.

“ඔයාලා එක්ක කතා කරලා වැඩක් නැහැ” කියමින් සොයිසා හෙමින් සිරුවේ යන්නට ගියේ මූණ පුළුටු කර ගනිමිනි.

අනුර සොෆ්ට්වෙයාර් අප්ඩේට් කරන වේලාව හෙළි වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිනපතා මාධ්‍ය හමුවට මේ සතියේ බදාදා පැමිණීමට නියමිතව සිටියේ අනුර යාපා, අනුරාධ සහ සී. බී ය. අනුර සහ අනුරාධ පැමිණ සිටියත් මාධ්‍ය හමුව ප්‍රමාද වූයේ සී. බී පැමිණ නොසිටීම සහ මාධ්‍යවේදියකු ඒ එන අතරමඟ අනතුරකට ලක්ව සිටිම නිසාය. පොදුජන පෙරමුණේ මාධ්‍ය ඒකකයේ නිලධාරියකු ඒ වන විටත් පැමිණ සිටි අනුරට සහ අනුරාධට කීවේ මාධ්‍ය හමුව මඳක් පමා විය හැකි බවය. මාධ්‍ය හමුව පැවැත්වීමට ප්‍රමාද වන නිසා අනුර යාපා ගීතයක් ගයන්නට පටන් ගත්තේය. ඔහු කීවේ සැන්දෑවේ රන් වලා නම් ගීතයය.

“සර්ට හොඳට සින්ග් කරන්න පුළුවන්නේ. වෙලාවක ඉතින් අපි සින්දුවකුත් කියන්න එක්කම සෙට් වෙමුකෝ” මාධ්‍ය නිලධාරියා අනුරට කීවේය.

“අපි 16 කණ්ඩායම හදන කාලේ සාකච්ඡා තිබ්බෙම අනුර සර්ලගේ ගෙදරනේ. සාකච්ඡාව ඉවරවෙලා ඉතින් සින්දු සහ සාද තමයි” අනුරාධ සිනාසෙමින් පැවසීය.

“කිසිම ගැටලුවක් නැහැ. මම ඔයාලට කන්න බොන්න සේරම දෙන්නම් හැබැයි 10 වෙද්දි ඔයාලා යන්න ඕනේ” අනුර කොන්දේසියක් දැම්මේය.

“ඒ මොකද සර්? සර්ටත් ජනාධිපති වගේ වෙන්න හිතිලද? අනුරාධ ඇසුවේය.

“අපොයි නෑ. මම 10 පස්සේ තමයි සොෆ්ට්වෙයාර් අප්ඩේට් කරන්නේ” අනුර යාපා කී කතාව කිසිවකුට තේරුම් ගියේ නැත.

“මොකක්ද සර් ඒ කතාව? අනුරාධ ඇසුවේය.

“ඔයාලා කවුරුත් කියවන්නේ නැහැනේ. මම 10න් පස්සේ කියවන්න ගන්නවා. කියවලා මගේ දැනුම් අප්ඩේට් කරගන්නවා. ඒකට තමයි මම කියන්නේ සොෆ්ට්වෙයාර් අප්ඩේට් කරනවා කියලා” අනුර යාපා පැවසීය.

“සමහරු නම් ඉතින් 10න් පස්සේ සොෆ්ට්වෙයාර් නෙමේ හාඩ්වෙයාරුත් අප්ඩේට් කරනවානේ” අනුරාධ පැවසීය.

සී.බී පාර වැරදුණත් වේලාවට ආවත් අනුරට ඒ වාසනාව නෑ

මේ අතර සී. බී පැමිණෙනු දුටු අනුර “මොකද සහෝදරයා ප්‍රමාද වුණේ ? යැයි ඇසුවේය.

“මට මාර වැඩේනේ වුණේ. පාර වැරදුණානේ” සී. බී පැවසීය.

“ඒකනේ කියන්නේ වෙලාවට ආවා නම් පාර වැරදෙන්නේ නැහැනේ” අනුර කීවේය.

“අපි නම් ඉතින් වෙලාවට ආවා. ඔබතුමාලා තමයි ප්‍රමාද වුණේ. වෙලාවට ආවේ නැති නිසා ඔබතුමාලට තමයි පාර වැරදුණේ” සී. බී. පැවසුවේ දේශපාලන කාරණයකි.

“අපිත් ඉතින් පොඩ්ඩක් ප්‍රමාද වුණාට හරි වෙලාවට ආවා. ඒ නිසා බේරුණා. තාමත් එන අය ඉන්නවා නම් වෙලාව තියෙනවා. බස් එක මිස් වුණොත් නම් සොරි තමයි” අනුර ද පැවසීය.

ජනකගෙන් ගෙදරින් මහින්ද කැමැතිම කෑම දෙයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සෙනසුරාදා හදිසියේම දඹුල්ලට ගියේය. එදින සවස රංගිරි දඹුලු වහාරයේ උත්සවයක් පැවැත්වීමට නියමිතව තිබුණේ ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙනි. වෙනත් කටයුත්තක් යෙදී තිබූ බැවින් ඊට සහභාගීවිය නොහැකි නිසා මහින්ද උදෑසනම විහාරස්ථානයට ගියේය. රංගිරි දඹුලු විහාරස්ථානයේ නායක හිමියන් සමග කථා බහ කල මහින්ද දිවා ආහාරය ගැනීමට ගියේ ජනක බන්ඩාරගේ නිවසටය.

ජනක බණ්ඩාර ගේ බිරිද ලසිතා සුපුරුදු පරිදි කිරි අගුණ මැල්ලුමක් මහින්දට දිවා ආහාරය සකස් කර තිබුණි. සාමාන්‍යයෙන් ජනකගේ ගෙදරට මහින්ද දිවා ආහාරයට ගියොත් කිරි අගුණ මැල්ලුම වරදින්නේ නැත.

ජනකගේ නිවසින් දිවා අහාරය ගත් මහින්ද කුරුණෑගල බලා ආවේය. එදින රාත්‍රිය මහින්ද ගත කළේ කුරුණැගලය. පසු දින  කුරුණෑගල පොදුජන පෙරමුණු  දිස්ත්‍රික්  කාර්යාලයේ පැවති දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමට මහින්ද සහභාගී වූයේය. ඊට ජෝන්ස්ටන්, සාලින්ද, අනුර යාපා, T.B තාරනාත් බස්නායක එක්ව සිටියහ.

ඉරිදා සවස මහින්ද දැදුරු ඔය ව්‍යාපෘතියට අයත් මහා සිව කාලි කොවිල් භූමියේ ඉදිකර තිබු සර්වඥධාතු මන්දිරය විවෘත කිරීමට එක්විය. එජාපයට එක්ව පසුව ඔක් 26 වෙනිදා නැවත මහින්ද සමග  එක්වූ S.B නාවින්න ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක දෙකේදි පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. එහිදී වැඩි වශයෙන් අවධානය යොමුකෙරුණේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙනි.

“ආණ්ඩුවට විරුද්ධව ගෙනාපු විශ්වාසභංගයට අපි සහයෝගය දෙන්න ඕනේ. ආණ්ඩුව ගෙදර යවන්න ලැබෙන ඕනෑම අවස්ථාවකින් ප්‍රයෝජන ගන්න එක අපේ යුතුකම. විපක්ෂය විදියට මේ වෙලාවේ අපි ඒකට නායකත්වය දෙන්න ඕනේ” මහින්ද පැවසීය.

ජවිපෙ අවංකකම ගැන ප‍්‍රසන්නට සැකයක්

“ආණ්ඩුවට විරුද්ධව ගේන එකකට සහයෝගය දෙන එකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි කල්පනා කරන්න ඕනේ ජනතා විමුක්ති පෙරමුණ මේක ගෙනාවේ ඇත්තටම ද කියන එක” ප්‍රසන්න රණතුංග කීවේය.

“ඔක්තෝබර් 26 වැනි දා පෙරළියෙන් පස්සේ රනිල්ගේ අගමැතිකම බේරගන්න වැඩියෙන්ම මහන්සි වුණේ ජනතා විමුක්ති පෙරමුණයි. ජනතා විමුක්ති පෙරමුණ නැත්නම් රනිල්ට අගමැතිකමත් නැහැ. රනිල්ගේ ගැලවුම්කාරයා තමයි ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ මේ විශ්වාසභංග යෝජනාව ගෙනත් තියෙන්නේ හොඳ අරමුණකින් නම් නෙමෙයි”රං‍ජිත් සොයිසා පැවසීය.

“ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට විරුද්ධව අරවා කරනවා. මේවා කරනවා. පාද සටන් යනවා. හැබැයි ජනතාවගේ නම් ඒ අය ගැන කිසිම විශ්වාසයක් නැහැ” ප්‍රසන්න පැවසීය.

“මේක හරියට ‍කට්ටඩියා තොවිලේ නටන කොට කොට්ටෝරුවා ආවතේව කරනවා වගේ වැඩක්” සොයිසා පැවසීය.

“අපිට ජනතා විමුක්ති පෙරමුණ ගැන කිසිම විශ්වාසයක් නැහැ. හැබැයි මේ වෙලාවේ ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන් ඕනේ අවස්ථාවකින් අපි ප්‍රයෝජන ගන්න ඕනේ” ‍ලන්සා පැවසීය.

“සහයෝගය දෙන්න ඕනේ. මමත් කියන්නේ මේ අය විශ්වාස කරන්න හොඳ නැහැ කියලයි” පියල් පැවසීය.

ඔව් මම කියන්නෙත් ඒකයි. මේක  හාමු රැකගන්න දාපු උප්පරවැට්ටියක්. ඇත්තටම අනුරලාට මේ විශ්වාසභංගය දිනාගන්න වැඩපිළිවෙලක් තියෙනවද කො නෑනේ.. අඩු ගානේ අපි එක්කවත් කථා කලාද? එකෙන්ම පැහැදිලිනේ මේ අය මේක ගෙනාවේ මොකටද කියලා ප්‍රසන්න කීවේය.

අපි මේ වෙලාවේ හැමෝම එකතුවෙලා ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන් හැම දේම කරන්න ඕනේ

”ඔය ගොල්ලො කියන හැම දේම ඇත්ත. ඒත් අපි මේ වෙලාවේ හැමෝම එකතුවෙලා ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන් හැම දේම කරන්න ඕනේ. ඒක කවුරු ගෙනාවත් මොන අරමුණින් ගෙනාවත්” මහින්ද කීවේය.

“ආණ්ඩුව සාෆිව බේරගන්න උත්සහ කරනවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් කිසිම වැඩක් නැහැ. ඒක පිහිටුවලා තියෙන්නේ මුස්ලිම් ජාතිකයන් රකින්න මිසක් බෝම්බ ප්‍රහාරය ගැන හොයන්න නෙමෙයි” රතන හිමියෝ කීහ.

රතන හිමියෝ අතේ හිටිය කුරුල්ලට යන්න ඇරිය බවට ආනන්දගෙන් චෝදනා

“ඔබවහන්සේට යමක් කියන්න ඕනේ. මුස්ලිම් ඇමැතිවරුන් සියලුදෙනාම එක ගොඩකට තල්ලු වුණේ ඔබවහන්සේගේ උපවාසය නිසයි. අපට තිබුණු හොඳ අවස්ථාවක් ඒක නිසා ගිලිහිලා ගියා. අතේ හිටපු කුරුල්ලට යන්න දීපු ඔබවහන්සේ දැන් අපිට කියනවා දැල් දාලා ඌව අල්ලගන්නලු” ආන්නද අලුත්ගමගේ පැවසීය.

“මම ඒ වෙලාවේ කළේ ජාතික අවශ්‍යතාවක් ඉටු කරන එක” රතන හිමියෝ පැවසූහ.

“ආණ්ඩුවට රැකෙන්න ඉඩක් ලැබුණේ ඒ උපවාසය නිසයි. ඒක කොහොමද ජාතික අවශ්‍යතාවක් වෙන්නේ. ජාතික අවශ්‍යතාව වෙලා තියෙන්නේ ආණ්ඩුව එලවන එකයි” ආනන්ද පැවසීය.

“දැන් ඔය කතා වැඩක් නැහැ. වෙච්ච දේ වුණා. අපි දැන් ඉඳලවත් එකමුතුවෙලා එකට වැඩ කරමු. එක එක්කෙනා විවිධ දේවල් කරන්න ගියාම තමයි ඕවා වෙන්නේ” මහින්ද පැවසීය.

“මෙතන මට විරෝධයක් තියෙනවා නම් මම ඉන්න එකේ තේරුමක් නැහැ” කියමින් රතන හිමි එතැනින් යන්නට හැදුවේය.

“අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ යන්න එපා. විවිධ අයගේ විවිධ අදහස් තියෙනවා. ඒවා සේරටම අපි ඇහුම්කන් දෙන්න ඕනේ. ඒවත් අහගෙන එකමුතුවෙන් වැඩ කරන එක තමයි අපිට කරන්න පුළුවන් එකම දේ” මහින්ද කීවත් එය නොඇසූ රතන හිමියෝ පිටත්ව ගියහ.

පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ගැන ජනතාවට කියන්නේ මහින්ද

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම සිරිත් පරිදි පැවැත්වුණේ විජේරාම පෙදෙසේ නිල නිවසේදිය. ඒ මහින්දගේ ප්‍රධානත්වයෙනි. හැකි ඉක්මණින් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ ඇතුළත් සන්ධානය සකස් කළ යුතු බවට වාසුදේව යෝජනා කළේය. ඩලස් කීවේ අගෝස්තු 11 වැනි දා අපේක්ෂකයා නම් කිරීමට ප්‍රථම එක කටයුතු එකලාසයක් කරන බවය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් අගෝස්තු 11 වැනි දා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා එළිදැක්වීමට සූදානමින් සිටින අතර එම ප්‍රකාශය නිල වශයෙන් ජනතාවට ඉදිරිපත් කිරීමේ බලය මෙහිදී මහින්ද වෙත පැවරුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් මහින්දගේ ප්‍රධානත්වයෙනි නෙළුම් මාවතේ දී බදාදා පැවැත්විණි. පැමිණ සිටි පිරිස පිළිගත් බැසිල් පොදුජන පෙරමුණේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේය. ඒ සඳහා හිටපු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය බලාපොරොත්තු වන බවත් ඔහු කීවේය.

“මේ ආණ්ඩුව යටතේ ජාතික ආරක්ෂාව බින්දුවට වැටිලා. දෙමළ ජනතාව දැන් විශ්වාසය තියන්නේ මහින්ද රාජපක්ෂ මහතා ගැන පමණයි. අපට ඔබතුමා විතරයි දැන් ඉන්නේ” කරුණා පැවසීය.

ගොවි පුතා කිව්වට පොළොන්නරුවේ ගොවිතැන විනාශ වෙලා

“රටේ ජනතාව හිතන් ඇති පොළොන්නරුවේ කෙනෙක් ජනාධිපති වුණ නිසා පොළොන්නරුව සුරපුරයක් වෙලා ඇති කියලා. එහෙම එකක් නැහැ. ගොවි පුතා කිව්වට පොළොන්නරුවේ ගොවිතැන විනාශ වෙලා. ගොවියත් පාරට වැටිලා” නන්දසේන හේරත් පැවසී්‍ය.

“මම ජාතික හෙළ උරුමය නියෝජනය කරන්නේ. පස්සේ අපේ පක්ෂය ඡන්දය ඉල්ලුවේ එක්සත් ජාතික පක්ෂය යටතේ. මම පහුගිය කාලයේම ස්වාධීනව හිටියේ. කිසිම පක්ෂයකට සහය දුන්නේ නැහැ. හැබැයි අද සිට මම පොහොට්ටුවට සහයෝගය දෙනවා. මහින්ද මහත්තයාගේ නායකත්වය පිළිගන්නවා” එතැනට වැඩම කොට සිටි තෙබුවන පියනන්ද හිමියෝ කීහ.

අපි විශ්‍රාම ගියා කියලා පැත්තකට දාන්නේ නැතුව අපෙන් වැඩක් ගන්න එක ගැන සතුටුයි

“මම ඉතාම සතුටු වෙනවා මෙහෙම සාකච්ඡාවක් සංවිධාන කිරීම ගැන. මේක දුරදිග බලලා ගත්තු තීන්දුවක්. අපි විශ්‍රාම ගියා කියලා පැත්තකට දාන්නේ නැතුව අපෙන් වැඩක් ගන්න එක ගැන සතුටුයි” මහීපාල පැවසීය.

“ඇත්තටම ඒ කතාවට මමත් එකඟයි. මේක හොඳ වැඩක්. අපි හිටපු මන්ත්‍රීවරුන්ගේ සංසදයක් හදලා ඉස්සරහට වැඩ කරමු. අපිටත් ඕනේ‍ වැඩ කරන්නයි” රෝහණ දිසානායක ගෙනා යෝජනාවට කාගෙත් අනුමැතිය ලැබුණි.

“මේ හැමෝම අපිත් එක්ක රටට වැඩ කරපු අය. තමුන්නාන්සේලාට ලොකු වගකීමක් තියෙනවා. ඉස්සරහට මොකක් හරි මැතිවරණයක් එනවා. ජනාධිපතිවරණය කල්දායිද නැත්ත අපි දන්නේ නැහැ. මහ මැතිවරණයත් මොකක් හරි වෙන්න පුළුවන්. හැබැයි පළාත් සභා මැතිවරණය හරි එන්න පුළුවන්. අපි සූදානම් වෙලා ඉන්න ඕනේ ඕනේම මැතිවරණයකට ඉදිරිපත් වෙන්න. මැතිවරණය ආවට පස්සේ සූදානම් වෙන්න බැහැ. ඒ නිසා දැන් සිටම ලැහැස්ති වෙලා ඉන්න ඕනේ. පහුගිය අවුරුදු හතරහමාර තුළ රට ගියේ ආපස්සට. ඒ නිසා අපේ යුතුකම තමයි රට ආයෙත් හරි පාරට ගන්න එක. ඒක තමයි ජනතාව අපෙන් බලාපොරොත්තු වෙන්නේ. මමත් ජනාධිපති කාලේ වැඩ වැඩි නිසා ගියේ හෙලිකොප්ටරෙන් නිසා මම හදපු පාරවල් ටික දකින්න වුණේ නැහැ. හැබැයි දැන් බිමින් යනකොට පේනවා අපි කරලා තියෙන වැඩ කොටස. සමහරු මතයක් ගෙනියන්න හදනවා අපිට මුස්ලිම් ඡන්ද ඕනේ නැහැ කියලා. එහෙම එකක් නැහැ. අපිට හැම ඡන්දයක්ම වැදගත්. අගෝස්තු 11 වැනි දා අපි අනිවාර්යෙන්ම අපේ අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. මේ රටේ ජාතික ආරක්ෂාව, විනය හදන්න පුළුවන් කෙනෙක් තමයි අපි ගේන්නේ” මහින්ද පැවසීය.

පොදුජන පෙරමුණේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ලහිලහියේ සැකසෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ඉදිරි  මැතිවරණ ඉලක්ක කර ලනිමින් සකස් කරන ප්‍රතිපත්ති මාලාව ඉලක්ක කර ගනිමින් සකස් කරන ප්‍රතිපත්ති මාලාව සැකසීමේ කටයුතු මේ දිනවල වේගවත් කර තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා ඊට සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුනේ බැසිල් රාජපක්ෂ ගේ ප්‍රදානත්වයෙනි. ඊට ප්‍රසන්න රණතුංග මහින්දානන්ද අළුත්ගමගේ , බන්දුල ගුණවර්ධන ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියහ.

”මේ ප්‍රතිපත්ති හදලා ඒවට නම් දානකොට අපි පරිස්සමින් වැඩ කරන්න ඕනෑ. 2015 චම්පික රණවක යන්න ඉස්සෙල්ලා කරුණු 04ක් ලියාගෙන ආවා අපේ ප්‍රතිත්ති ප්‍රකාශයට දාන්න. හතරක් විතරක් දාන එක හොද නෑ කියලා ඒ වෙලේ එතන හිටපු අය කිව්වා. ඒ කරුණු ගැන කතා කර කර ඉන්න අතරේ තමයි චම්පිකලා UNP එකට ගියේ. UNP එකට ගිහින් ඒ කරුණු 04ට තව එකක් එකතුකරලා තමයි පංච විධ ප්‍රතිපත්ති හදලා තිබුනේ” බැසිල් කීවේය.

අපි තරුණ අය ගැන මීට වඩා බලන්න ඕනෑ. ඒ අය අපිට වටිනවා. ඒ අයට ගැලපෙන විදියට අපේ ප්‍රතිපත්ති හැදෙන්න ඕනේ. නැත්නම් තරුණ කෙල්ලෝ කොල්ලො අපි දිහා බලන එකක්වත් නෑ. බන්දුල  කීවේය.

ඔබතුමා දිහා නොබැලුවට අපි දිහානම් බලනවා. මහින්දානන්ද ඇගට පතට නොදැනී කිවේ සියළු දෙනා සිනා ගස්වමිනි.

Recommended For You

About the Author: Editor