Weekend special: රටටම අමුතු වනපෙතක් සෝමාවතී රක්ෂිතයේ

  • දියබස්නාව වසර 1000 පැරණියි, දිග කිලෝමීටර 13.6 යි
  • රජකාලේ අතහැර දැමූ කුඹුරු අද විල්ලු තණබිම් වෙලා
  • වියලි කැලය තුල තෙත් වනයක් හැදිලා
  • අලුත් වනපෙත හැදුනේ වාරි ඇල අතහැර දැමූ නිසා

සනත් එම්. බණ්ඩාර

B.Sc.(Botany), M.Sc. (Systematic Botany) UPLB​Assistant Director of AgricultureNational Agriculture Information and Communication CentreGannoruwa, Peradeniya

එතුමාණන් ගේ නම නොකියවෙන දින කීපයක් එකදිගට ගෙවී යන්නේ නම් ඒ ඉතා කලාතුරකින්ය. මහ සයුර තරමට නොවූවත් හෙමිහිට රල බිඳෙන සුවිසල් ජලාශයක් වූ පරාක්‍රම සමුද්‍රය තැනවීමත්, අහසින් වැටෙන එකදු ජල බිඳක් හෝ ලෝක සත්වයින්ගේ ප්‍රයෝජනයට නොයොදවා මුහුදට නොයා යුතුයයි කල ප්‍රකාශයත් නිසා, බොහෝවිට මෙම මහරජාණන්ගේ නම හා ඈඳී ඇත්තේ කෘෂිකර්මාන්තයයි.

මීට වසර 900 කට පමණ උඩදී, ඒ වනවිට සොලීන්ගෙන් නිදහස්ව තිබූ පොළොන්නරු රාජධානියේ රජකමට පත්ව තුන් සිංහලය එක්සේසත් කල මේ නරපතියා, බුරුමයද දකුණු ඉන්දියාවේ චෝල රාජවංශයද ආක්‍රමණය කරමින් තම බල පරාක්‍රමය පැතිරූ පළවෙනි පරාක්‍රමබාහු රජතුමා නම්විය.

මෑතකදී නම් රටවැසියාට බදු බර පැටවීම සාධාරණීකරණය කිරීම උදෙසාද එතුමාගේ පාලන සමය උදාහරණයට ගන්නවා අසන්නට ලැබුණි. අපේ හැටි එහෙමය. ඉතිහාසයෙන් කරුණු අහුලා ගන්නේ තමාට වාසි සැලසෙන පරිදි තැන් තැන් වලිනි. මෙතුමන් විසින් ‘වෛජයන්ත’ නමින් සත්මහල් ප්‍රාසාදයක් තම මාලිගය ලෙස තැනවූ බවක් නම් ඇතැම් විට වත්මන් ඇත්තෝ නොදන්නවා විය හැකිය. අහුලා ගෙන අනුගමනය කරනවා නම්  එයද නරකම නැත. මෙම රජු වේලි 165 ක්ද, ඇලවල් 3910 ක්ද, විශාල වැව් 163 ක්ද, කුඩා වැව් 2376 ක්ද කෙරවූ බව ඉතිහාස පොත්වල සඳහන් වේ. ඒ තරමට නොවූවත්, ගංගා හරස්කර ඇලවේලි ඉදිකරමින් ජලාශ ගොඩනගා, වියලි කලාපයේ ගොවිතැනට වතුර සැපයූ මෑත ඉතිහාසයක්ද අපේ මතකයේ තිබේ.

 “මහවැලි වම් ඉවුර පහල නිම්න සංවර්ධන ව්‍යාපෘතිය” නමැති අනාගත වාරි ව්‍යාපෘතියකට සැලසුම් හදන්නට වියලි කලාපයේ වන ලැහැබට රිංගූ නිලධාරීන් පිරිසක් හා බැඳුනු කතා පුවතක් පසුගියදා අසන්නට ලැබුණි.

රජදවසේ තිබූ සෞභාග්‍යය පරසතුරන් අතින් වැනසීයාම නිසා කම්පා වූ සොබාදහම, මෙරට කිසිම තැනක දක්නට නොමැති අසිරිමත් වනපෙතක් කාටත් හොරෙන් සෝමාවතී රක්ෂිතය තුල නිර්මාණය කර ඇති බව මේ පිරිස එහිදී දැක තිබේ. කාලිංග මාඝ ආක්‍රමණය නිසා වැනසී ගිය පැරකුම් සමයේ සුන්දරත්වය සිහිකරමින් හඬා වැටෙන්නේ නැතිව, පරිසරය විසින් තම සිත සුවපත් කරගෙන ඇත්තේ අලුතින් බිහිවුණු මෙම වනපෙතෙහි හැඩරුව නරඹමින්ය. අපට ඒ තොරතුර දන්වන්නට සමතෙකුද මේ නිලධාරි නඩය තුලම සිටීම භාග්‍යයකි. ඔහු ගහකොළ වල පැටිකිරිය කියවිය හැකි උද්භිද විද්‍යාඥයෙකු වීම ඊටත් වඩා වාසනාවකි.

ට්‍රැක්ටර් ට්‍රේලයට ගොඩවී ඇති පිරිස දොළොස් දෙනෙකි. ඇතැමුන් අත කැමරා ආම්පන්නද වේ. මේ ගමන යන්නට පළාතේ හැටියට වෙනත් වාහනයක්ද නැත. මන්දයත් ඇතැම් තැනකදී අඩි තුනක් පමණ ගැඹුරු ජලයේ යා යුතු බැවිනි. ජීප් රථයකින් ගොස් ජල තරණය ඔරුවකින් කෙරුවත්, එතැන් සිට ගොඩබිමේ යන්නටද වාහනයක් නැති නිසාත්, පා ගමනටකටද දුර වැඩි නිසාත් තනි වාහනයකින්ම මුළු ගමනම යා යුතුවේ. කට්ටියම ට්‍රේලරයට නැගගත්තේ එබැවිනි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් කන්තලේ හා කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පාදකව ක්‍රියාත්මක කෙරෙන ඉහත දැක්වූ ව්‍යාපෘතියේ සේවය කරන මෙම කණ්ඩායමට කන්තලේ වාරිමාර්ග ව්‍යාපෘති නිලධාරීන්, වනජීවී නිලධාරීන් මෙන්ම ඊ.එම්.එල්. උපදේශක සමාගමේ නිලධාරීන්ද අයත්වුනි. වනජීවී නිලධාරීන් මෙතනට අවශ්‍ය වූයේ ගමන අවසානයේදී පිරිස ගොඩබසින්නේ සෝමාවතී ජාතික වනෝද්‍යානය නමැති රක්ෂිතයට බැවින්ය. නිලධාරීන්ගේ අවසරය නැතිව එයට ඇතුල්විය නොහැකිවය.

මෙම ව්‍යාපෘතිය නිසා පරිසරයට වෙන බලපෑම අධ්‍යයනය කර වාර්තාකිරීම පවරා ඇත්තේ ඊ.එම්.එල්. උපදේශක සමාගමට නිසා, සමාගම නියෝජනය කරමින් ගමනට එක්වූ එහි නියෝජිතයා වූයේ කලකට පෙර පේරාදෙණියේ රාජකීය උද්භිද උද්‍යානයේ විධිමත් උද්භිද විද්‍යාඥ ලෙසද, ගන්නොරුවේ පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙසද කටයුතුකර දැනට එම සමාගමේ සේවය කරන ආචාර්ය මැග්ඩන් ජයසූරියයි.

කලින් සඳහන්කළ උද්භිද විද්‍යාඥයා ඔහුය. මෙතෙක් ශ්‍රී ලංකාවේ කිසිදු විද්වතෙකු දැක නැති, පොතපතේ වත් විස්තරකරදී නැති, ලාංකික වෘක්ෂලතාදියට මුළුමනින්ම ආගන්තුක, සැඟවුණු වනපෙතක් සෝමාවතිය තුලින් සොයා ගැන්මට ඔහු එදින සමත් වූ නිසා මෙය ඔහුට නම් ඉරණම් ගමනක්ම විය .

අලුතින් බිහිව ඇති මේ වනපෙත මින් පෙර මිනිස් පහස නොලැබූවක් යයි අප නොකියමු. මිනිසුන් එහි එන්නටද ඇත. හොරෙන් ලී කපාගෙන, වනසතුන් මරාගෙන රැගෙන යන්නටද ඇත. ඒ සෑම දෙනාටම මෙය ගහකොළ සතා සරුපයාගෙන් පිරුණු තවත් කැලෑවක් වූවා පමණකි. එතුල සැරිසරද්දී මෙය ලංකාවේ කිසිම තැනක දක්නට නොමැති අමුතුම වනාන්තරයක් බව ඔවුන් දැනගෙන සිටියේද නැත. විදු ඇසින් නොදුටු වනපෙතක් යයි අප පවසන්නේ එබැවිනි.  

මෙම පලාත්වල වෙසෙන්නෝ පාරම්පරිකව ගොවිතැන තම ජීවනෝපාය කරගත්, ගොවීහු වෙති. ෆැක්ටරි දමා හෝ වයිෆයි සිග්නල් ඔවුන්ගේ පැල්පත් තුලට රිංගවීමෙන් හෝ ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කල නොහැකිය. කලයුතු එකම දෙය වන්නේ ගොවිතැනට අවැසි පහසුකම් සැපයීමත්, ඔවුන් නිපදවන දෑ සාධාරණ මිලකට අලෙවිකර දීමත්ය. පහසුකම් අතර මුලින්ම එන්නේ ජලයයි. අද වියලී ගොසින් මුඩුබිම් බවට පත්වී තිබුනත් ආදී රජ දවස මෙම ප්‍රදේශය, රටට නොව විදේශයන්ට පවා බත සැපයූ භූමි භාගයකි. පොළොවට අහසින් වැටෙන දිය බිඳක්වත්, ජීවියෙකුට ප්‍රයෝජනයක් නොවී මහමුහුදට යාමට ඉඩ නොහල යුතුයයි වූ රාජ නියෝගයන් පවා පිලිපැදි ජාතියක් විසූ පින්බිමකි. ඉතින් යලි එය නගා සිටුවන්නට සිතන්නේ නම් එය ගොවිතැනෙන්ම විය යුතුය. මූලික අවශ්‍යතාවයක් වූ ජල පහසුව ලබා දෙන්නේ නම් ගොවියා ඉබේම නැගිටිනු ඇත.

යෝජිත ව්‍යාපෘතිය හරහා කරන්නට හදන්නේද ඉහත සඳහන් කල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි වෙසෙන ජනතාවගේ ගොවිතැනට අවශ්‍ය ජලය සැපයීමයි. කන්තලේ ප්‍රදේශයෙන් පටන්ගෙන මහවැලි ගඟ තෙක් පැමිණ අවසන්වන ‘කළුගඟ’ නමැති ඍතුමය ගංගාවක් හරහා වේල්ලක් ඉදිකර ‘කළුගඟ ජලාශය’ යනුවෙන් ජලාශයක් ඉදිකිරීම එක් බලාපොරොත්තුවකි. මෙය පහතරට තෙත් කලාපය ඔස්සේ පැමිණ කළුතරින් මුහුදට වැටෙන කළුගඟ නමැති විශාල ගංගාව නම් නොවේ. කලකට සිඳීයන ඍතු ගංගාවකි. මෙම යෝජිත වේල්ල හරහා ව්‍යාපෘතියේ ප්‍රධාන ජලාශය වන ‘ජනරංජන වැව’ හි ධාරිතාව වැඩිවෙන අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකෙහිම පිහිටන කුඩා වැව් ගණනාවකටද ජලය ලබාදීමක් සිදුකරයි.

ජනරංජන වැවෙහි ධාරිතාව වැඩිකිරීම සඳහා තවත් ක්‍රමයක් ඔවුන්ගේ යෝජනාවේ තිබේ. එනම් දැනට වල්බිහිවී ‘කල් ඉකුත්වී’ ඇති පුරාණ ඇල මාර්ගයක් හාරා, මහවැලි ගඟේ සිට ජනරංජන වැව පෝෂණය කිරීමයි. මෙවැනි ඇලක් හඳුන්වන්නේ ‘පෝෂක ඇල’ වශයෙන්ය. මේ කියන පුරාණ ඇල පැරකුම් රජ දවසදී නම් පෝෂක ඇළක් නොවන්නට ඇත. මන්දයත් එදා මහවැලි නදිය තිබුනද, ඇලට ජලය ලැබීම එතනින් පටන් ගත්තද, එම ජලයෙන් පෝෂණය වන්නට ‘ජනරංජන වැව’ එදා තිබුනේ නැති නිසාය. කිලෝමීටර 13.6 ක් දිගට, සෝමාවතී රක්ෂිතය හරහා දිවෙන මෙම ඇල මගින් එදා රැගෙන ගිය ජලස්කන්ධය මග දෙපස ඇති පරිවාර බිම් පෙදෙස් වලට බෙදා හරින්නට ඇත්තේ ගොවිතැන් කටයුතු සඳහායි. ඇල අවසන් වනවිට එහි වතුරද අවසන් වන්නට ඇත. එහෙත් දැන් තත්වය අනුව මග දෙපසට ජලය බෙදන්නට අවශ්‍ය නොවේ. එහි මිනිසුන් නොමැති බැවිනි. එබැවින් නව ව්‍යාපෘතියේ සැලසුම අනුව මේ තුලින් රැගෙන යන ජලය කෙලින්ම ජනරංජන වැවට දමනු ලබයි. පරිසර විද්‍යාත්මක අධ්‍යයනයක් අවශ්‍ය වූයේ රක්ෂිතයක් වූ සෝමාවතිය තුල කෙරෙන මේ මිනිස් ක්‍රියාකාරකමෙහි හොඳ නරක දැන කියාගන්නටය.

“මගේ වගකීම උනේ යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හරහා පරිසරයට සිදුවෙන බලපෑම ගැන අධ්‍යයනයක් කරලා බලධාරීන් දැනුවත් කිරීම. මම කැලයට රිංගුවේ ඒ ගැන හදාරන්නයි. ඊට අමතරව මා දුටු දෙයක් තමයි රටේ කොහෙවත් දකින්න නැති, මේ විශේෂ වන ලැහැබ.”

විස්තරය එසේ අරඹන ආචාර්ය ජයසුරිය, පළමුව දැක ඇත්තේ අතහැර දමන ලද පැරණි ඇල මාර්ගයයි. ඉතිහාස පොතේ හැටියට කියනවානම් එය වසර 1000 ක් පමණ පැරණි විය යුතුවේ. මෙම ඇළෙහි නම දන්නා කෙනෙකුත් නැත. මෙය මිනිසා විසින් හාරන ලද ඇළක් බව නම් පැහැදිලිය. ගල් වැනි දෙයක් යොදා ඉවුරු සවිමත් කිරීමක් එදා නොකළ නිසා මේ වනවිට බොහොමයක් තැන්වල ඉවුරු කැඩී ගොසිනි. වැලි පිරී ඇති නිසා ඇළෙහි ගැඹුර ඇතැම් තැන්වල මීටරයකටත් වඩා අඩුය.

“ඇල මාර්ගය අවට බැලීමේදී මට හරි අමුත්තක් දැනුන. මම ලංකාවේ තෙත් වනාන්තරවල වැඩිපුර වැඩ කරපු කෙනෙක්. දැන් මම ඇවිත් ඉන්නේ වියලි කලාපයටනේ. ඒත් ඇල දිගට පරිසර තීරුවක ගස් දිහා බලනකොට මට වියලි කලාපික හැඟීමක් ආවේ නෑ. ඇල මැදිකරගෙන මීටර් 30 ක් විතර පළලට මේ වෙනස් ගහකොළ කලාපය පිහිටලා තිබුන.”

පරිසරයේ ගහකොළ සතා සිව්පාවා දෙස ඇසින් බැලූවිට අපට පෙනෙන දෙයට වඩා වැඩි යමක් විදු නෙතට හසුවේ. ඒ සඳහා දැනීම මෙන්ම පළපුරුද්දත් අවශ්‍යයය. ආචාර්ය ජයසුරිය තමා දුටු දෑ වහ වහා සටහන් පොත්වල ලියා ගත්තේය. හැකි සෑම තැනකම පින්තූර ගත්තේය. උද්භිද විද්‍යාඥයෙකු ලෙස දෙස් විදෙස් ආයතනයන්ගෙන් ලද දැනුම උපකාරයෙන් මේ නිරීක්ෂණයන් හෙමින් සීරුවේ විග්‍රහ කළේය. ඔහුගේ සිත තුල ලංකාවට ආගන්තුක අලුත්ම වනාන්තර දර්ශයක් ඒ වනවිටත් පිළිසිඳගෙන අවසන්ය.

ක්‍රිස්තු වර්ෂ 1215 දී කාලිංග දේශයේ සිට 24000 ක බල සේනාවක් සමග ලක්දිව ආක්‍රමණය කල කාලිංග මාඝ නැමැත්තා ශත වර්ෂ 14 ක් පමණ කාලයක් පුරා රජරට තිබුණු ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරය උඩු යටිකුරු කරන ලදී. කුරිරු සේනාවෝ මිනිසුන් සතු සියලු දෑ පැහැරගෙන පිරිවෙන් හා විහාරස්‌ථාන වනසා දැමූහ. සිංහල නායකයෝ ආරක්ෂාව පතා ලංකාවේ තෙත් කලාපික ප්‍රදේශයන්ට සංක්‍රමණය වූ අතර, රටවැසියෝද ඔවුන් අනුගමනය කළහ. එවන් පසුබිමක ගොවිබිම්, ඇල මාර්ග ආදිය ගැන කිනම් කතාද? විදෙස් රටවලට පවා ඇතිවෙන්න සහල් නිපදවූ සරු කෙත් යායවල් දහස් ගණනින් අතහැර දැමිණ. නඩත්තුව නතරවූ ඇල මාර්ගය තුල වැලි එකතුවීම නිසා එය පිටාර ගලමින් වටපිටාවේ කුඩා දියකඩිති බිහිකළේය. වගාවක් නොකෙරෙන බැවින් පසේ ලවන එකතුවීමද වැඩිවිය.

අතහැර දමන ලද හේනක්, යලි වන ලැහැබක් බවට පත්වන්නේ ‘ශාක සන්තතිය’ නම් ක්‍රියාවලියක් හේතුවෙන්ය. මෙහිදී කාලයත් සමග ගහකොළ වෙනස්වී, පළමුව තිබූ වනලැහැබ නැවත උපදී. හූනෙකුගේ වලිගය කැඩුණු කෙලවරින් කකුලක් නොව වලිගයක්ම එන්නා සේ සන්තතියේද නැවත ඇතිවන්නේ මුලින් එහි තිබූ වෘක්ෂලතාදියමය. එහෙත් මෙතැන නම් වියලි කලාපීය වනාන්තරය යලි උපන්නේ නැත! එයයි පුදුමය.

“අතහැර දමන අවස්ථාව වෙනකොට මේ ප්‍රදේශය වියලි කලාපයේ තිබුනත් ශක්තිමත් වාරි පද්ධතිය නිසා හොඳටම තෙතබරිතවයි තිබෙන්නට ඇත්තේ. ඊට අනුකූලව භූමියේ භෞතික වෙනස්කම් සිදුවෙනවා. භූ ජල මට්ටම ඉහල එනවා. කුඹුරු, වැව් ආදිය නිසා වායුගෝලයේ ආර්ද්‍රතාවය වැඩි වෙනවා. වායුගෝලීය උෂ්ණත්වයත් දැන් වෙනස්. එහෙනම් මෙතන වියලි සදාහරිත වනාන්තරයක් බිහිවෙන්න බෑ. ජලය රැගෙන ගිය ඇල මාර්ගයේ අවසන් භාගයේ අද තියෙන්නේ ‘විල්ලු’ කියන වනාන්තර වර්ගය. ඒ කියන්නේ, ප්‍රධාන වශයෙන් තෘණ වර්ග සහිත විවෘත භූමියක්. අද එතන අලි ඉන්නවා. ඔවුන් විල්ලු තණබිම් වලටම හැඩගැහුණු රූපයෙනුත් තරමක් වෙනස් සතුන්. ශාක සන්තතිය වෙනත් පැත්තකට තල්ලුවෙලා ගිහින් විල්ලු හැදුනු මේ භූමිය පෙර විසූ ජනතාවගේ කුඹුරු විය යුතුයි.”

 ආචාර්ය ජයසූරිය පවසා සිටී. මේ ආකාරයටම පෞරාණික ඇල මාර්ගය දෙපස මීටර් 30 ක් පමණ පළලට බිහිවී ඇත්තේද තෙත් වනාන්තරයේම කොටසකි. භාවිතයට නොගත් ඇළෙහි වතුර නිසා ඉවුරු ආශ්‍රිත ප්‍රදේශය යම් පලලකට තෙත්වී එම විශේෂ වනලැහැබ බිහිවී ඇති බව ඔහු පවසයි.

“වියලි කලාපය හරහා යන ගංගා අවටත් මෙවැනි වනාන්තර ස්වාභාවිකවම තියෙනවා. ඒවා “වියලි ගංගා ආශ්‍රිත සදාහරිත වනාන්තර’ කියලයි හඳුන්වන්නේ. කුඹුක් එතන තිබෙන ප්‍රධාන ශාකයක්. ගස්වල උසත් මීටර් 25 කට වැඩි වෙන්නත් පුළුවන්. ශාක ඝනත්වයත් ඉහලයි. ඒත් මේ ඇල අද්දර හැදුනු අමුතු වනයේ ගස් එතරම් උස නෑ. මීටර් 12-15 විතර වෙයි. කුඹුක් වෙනුවට මෙතන වැඩිපුර තියෙන්නේ ‘නැබඩ’ කියන ශාක. මේකට හේතුව ගංගාවක තරම් මේ ඇලේ දිගටම වතුර නොපැවතීමයි.”

මේ කරුණු කාරනා පෙරදැරිව, ඔහු විසින් සෝමාවතී රක්ෂිතය තුල බිහිවී ඇති මෙම වන තීරුව නම්කොට ඇත්තේ “වියලි දියබස්නා ආශ්‍රිත සදාහරිත වනාන්තරය’ (Dry canal-associated Evergreen Forest) වශයෙනි. වනාන්තරයක් හඳුන්වාදීමේදී තෙත්, වියලි හෝ අතරමැදි යන වචන වලින් එකක් ඉදිරියෙන් යොදන්නේ එය පිහිටන දේශගුණික කලාපය හඳුන්වා දීමටය.

 පැරණි ඇල දිගේ ජලය ගෙනගොස් ‘ජනරංජන’ වැවට පිරවීමේ යෝජනාවලියේ ගුණාගුණ විමසීමට රක්ෂිතයට රිංගූ උද්භිද විද්‍යාඥයා, බටහිර අහසේ හිරු සැඟවෙත්දී ඉන් පිටවූයේ එක ගලකින් කුරුල්ලන් දෙදෙනෙක් මරාගෙනය. ඇස ගැටුණු විස්මිත වන ලැහැබ මේ ගමනේ අතුරු පලයක් වුවත්, පැන්සලක් අතැතිව සිටි සිත්තරාට පින්සලක් ලැබුනාසේ ඔහු මහත්සේ තෘප්තිමත්ව සිටියේය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ විද්‍යා පීඨය මගින් ප්‍රකාශයට පත්කරනු ලබන, සරසවිය තරමටම පැරණි සඟරාවක් වන “සිලෝන් ජර්නල් ඔෆ් සයන්ස්” හි මීළඟ කලාපය තුලින් මෙම අසිරිමත් වනපෙත පිලිබඳ තොරතුරු ඔහු විසින් ලොවට එලි දක්වනු ඇත. අධ්‍යයනය හමාර වීමෙන් පසු දියබස්නාවේ යලි භාවිතය පිලිබඳ වූ ඔහුගේ නිර්දේශයද හෙට අනිද්දාම ඉදිරිපත් කෙරෙනු ඇත. ඒ ගැන පේන කියන්නට මම ඉස්සර නොවෙමි. එහෙත් රට හමුවේ අප යමක් සාකච්ඡා කලයුතු වෙමු.

මෙම සම්පූර්ණ ඇල පිහිටන්නේ සෝමාවතී රක්ෂිත වනය තුලය. එය හාරා පුනරුත්ථාපනය කරනවා යනු රක්ෂිතය කිලෝමීටර් 13ක ඇලක් හරහා දෙකට බෙදීමකි. ඇළෙහි නඩත්තුවටත්, විවිධ සේවා සැපයීම සඳහාත් ඇලට යාබදව මිනිසුන් යනෙන මාර්ගද ඉදිකළ යුතුය. එසේනම් මෙය තවදුරටත් රක්ෂිත වනයක් නොවේවි. අලි ගහනයට කුමක් වේවිද? යන එන මං ඇහිරී ඔවුන්ද නන්නත්තාර වනු ඇත. වනාන්තරයට කුමක් වේවිද? රක්ෂිතයක් ලෙස ගැසට් පත්‍රයකින් ආරක්ෂාකර, මිනිස් පහස ලැබීම පවා තහනම් කර බේරා ගැනීමට අපොහොසත් වූ වනාන්තරය, චේන් සෝ නොතිබුනාට පොරොවෙන් කපා, අත් කියතෙන් ඉරා හනි හනිකට වෙළඳපොලේ අලෙවි කෙරනු ඇත. මීට අමතරව පුරා විද්‍යා ගවේෂකයින්ට, පරිසර විද්‍යාව හදාරන සරසවි සිසුන්ට, ජයසූරිය මහතාගේ නව වනාන්තර අනාවරණය මගින් විවරකර දෙන්නේ පර්යේෂණ අධ්‍යයනයන් සඳහා වූ තෝතැන්නකි. වාරි ව්‍යාපෘතිය උදෙසා තම නිර්දේශයන් එලි දැක්වීමට පෙර මේ කරුණු පිළිබඳව පුළුල් විමසීමක යෙදී තීරණ ගනු ඇති බවට ජයසූරිය වියතාණන් ගැන අප තුල විශ්වාසයක් තිබේ. වරෙක ඇමරිකාවේ ජෝන් එෆ්. කෙනඩි ජනපතිවරයා මෙසේ ප්‍රකාශ කර ඇත. “සංරක්ෂණය වනාහී අපගේ පරිසරය නැණවත්ව පරිශීලනයට යොදා ගැනීම වේ. එය ජාතිය වෙනුවෙන් කෙරෙන ඉතාමත් උත්තරීතර වූ ඉතිරි කිරීමයි.”

පැරකුම් රජු දවසේ මෙම භූමිය කෘෂිකාර්මික, නාගරික, සමාජයයීය, ආගමික හා සංස්කෘතික ප්‍රබෝධයක් හරහා පැමිණ, පසුව කාලිංග මාඝ හමුවේ වැනසී ගියේය. වසර 700 ක් ගතවූ තැන මේ වන කොමලිය පලාතට නුහුරු සළුපිලියෙන් සැරසී යලි විකසිතව සිටී. තවත් පර සතුරු ආක්‍රමණයක් නම් ඇය බලාපොරොත්තු නොවන්නීය. ඇයගේ සුන්දරත්වය සෝමාවතී රක්ෂිතයට ආභරණයක්ම වන්නේය. සොබා දහමේ පණිවිඩය එයයි. බලධාරීන් විසින් එම පණිවිඩයට කෙසේ සලකන්නේදැයි ඉදිරියේදී අපට දකින්නට ලැබෙනු ඇත.

Recommended For You

About the Author: Editor