Weekend Special ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහනයක්; ඔසප් සමයට අලුත් ක්‍රමයක්

මෙන්ස්ට්‍රල් කප්’ එකක් අවුරුදු ගණනක් භාවිත කරන්න පුළුවන්. එය පරිසර හිතකාමී, වියදම් අඩු, ඉතා පිරිසිදු ක්‍රමයක්”

ස්වාභාවික අමුද්‍රව්‍යවලින් නිමවන ලද නැවත නැවතත් භාවිත කළ හැකි තුවා මෙන්ම ඔසප් කාලය තුළ පැලඳිය හැකි ‘කෝප්පයක’ හැඩයේ නිෂ්පාදනයක් ලොව පුරා රටවල කාන්තාවන් අතර ජනප්‍රිය වෙමින් පවතී.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මුල් වීමෙන් පසුගිය වසරේ සිට ‘මෙන්ස්ට්‍රල් කප් (menstrual cup)’ ලෙස හැඳින්වෙන මෙම නිෂ්පාදනය ශ්‍රී ලංකාවට ද හඳුන්වා දී තිබේ.

මාසික ශුද්ධිය සිදුවන කාලය අතරතුර ‘මෙන්ස්ට්‍රල් කප්’ එකක් නැවත නැවතත් භාවිත කළ හැකි වන අතර, එය වසර ගණනාවක් පැවතිය හැකි නිෂ්පාදනයක් ලෙස හැඳින්වේ.

‘මෙන්ස්ට්‍රල් කප්’ ශ්‍රී ලාංකික කාන්තාවන් අතර ප්‍රචාරය කිරීම සඳහා ක්‍රියා කරන නදීෂා පෝලිස් සඳහන් කරන්නේ, මෙය මිල අධික සනීපාරක්ෂක තුවා මෙන්ම ඒවායින් සිදුවන පරිසර හානිය අවම කිරීමට හැකි “කදිම” විකල්පයක් බවය.

“මම දැන් වසරකට වැඩි කාලයක් ‘මෙන්ස්ට්‍රල් කප්’ එක භාවිත කරනවා. එය ඇත්තටම සුවිශේෂී නිෂ්පාදනයක්. ‘මෙන්ස්ට්‍රල් කප්’ එකක් අවුරුදු ගණනක් භාවිත කරන්න පුළුවන්. එය පරිසර හිතකාමී, වියදම් අඩු, ඉතා පිරිසිදු ක්‍රමයක්” යැයි නදීෂා පෝලිස් සඳහන් කළාය.

මෙය පැළඳගෙන ඕනෑම ක්‍රීඩාවක යෙදෙන්න පුළුවන්, පිහිනන්න පුළුවන්, කැමති ඇඳුමක් අඳින්නත් පුළුවන්”

කෙසේනමුත්, ‘මෙන්ස්ට්‍රල් කප්’ නිෂ්පාදන ගැන කාන්තාවන් තුළ අනියත බියක් පවතින බව ද නදීෂා පෝලිස් සඳහන් කළාය.

“මටත් මුලින් මෙය භාවිත කරන්න බය හිතුනා. නමුත් ඒ ගැන පළ වුණ ලිපි කියවලා වීඩියෝ බලලා මම දැනුම ලබාගත්තා. මාස ගණනක් ගත වෙනකොට මම එය භාවිත කරන්න ගත්තේ හරියට එය මම විසින්ම නිර්මාණය කළ දෙයක් විදියට. මේ වන විට ශ්‍රී ලංකාවේ කාන්තාවන් විශාල පිරිසක් මේක භාවිත කරනවා, ඒ වගේම මේ ගැන දැනුවත් වෙන්න උනන්දු වෙනවා” යැයි ඇය කියා සිටියාය.

“මෙන්ස්ට්‍රල් කප් එක පැය 8 ත් 15ත් අතර කාලයක් පැළඳගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ එළියට අරගෙන සෝදා පිරිසිදු කර නැවත පළඳින්න පුළුවන්. මෙයින් කරන්නේ ඔසප් කාලයේ පිටවන රුධිරය එකතු කරන එක නිසා යෝනි මාර්ගය අනවශ්‍ය විදියට වේලෙන්නේ නැහැ. ප්ලාස්ටික් මිශ්‍ර තුවා භාවිත කිරීමෙන් ඇතිවන ආසාත්මිකතා ද මඟ හරවා ගන්න පුළුවන්,” Menstrual Cups in Sri Lanka යන තේමාව යටතේ නදීෂා පවත්වාගෙන යන ෆේස්බුක් පිටුවේ සඳහන් වේ.

මෙය පැළඳගෙන ඕනෑම ක්‍රීඩාවක යෙදෙන්න පුළුවන්, පිහිනන්න පුළුවන්, කැමති ඇඳුමක් අඳින්නත් පුළුවන්,” එහි වැඩිදුරටත් සඳහන් වේ.

“ඔසප් වීම සාමාන්‍යය දෙයක්. එය අපි බය හෝ ලැජ්ජා විය යුතු රෝගයක් හෝ යම් තත්වයක් නොවේ. මනුස්සයෙක් වීමේ තවත් එක් ලක්ෂණයක් පමණයි. පුරුෂයන්, කාන්තාවන් නැතහොත් මනුෂ්‍ය වර්ගයා ලෙස අපිට ලැබී තිබෙන ශරීරය තිබෙන විදියටම බාර ගත යුතුයි…,” නදීෂා තැබූ ෆේස්බුක් සටහනක සඳහන් විය.

මිථ්‍යා මත

“සනීපාරක්ෂක තුවා එළිපිට මිල දී ගැනීම කාන්තාවන්ට නුසුදුසු දෙයක්,” බවට පසුගියදා පුවත්පතක සඳහන් වීමත් සමග ඔසප් වීම සහ ඒ පිළිබඳ ඇති මිථ්‍යා මත ගැන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල කතිකාවක් ගොඩනැගිනි.

ඔසප් වීම මුල් කරගෙන කාන්තාවකගේ පවිත්‍ර සහ අපවිත්‍ර බව මැනීමේ චාරිත්‍ර වර්තමාන සමාජයේ පවා බහුලව දැකිය හැකිය.

ටැම්පොන්’ යනු (tampon) ඔසප් වීමේ දී පිටවන රුධිරය උරා ගැනීමට යෝනි මාර්ගයට ඇතුළු කරන පුළුන්වලින් තැනූ ඇබයකි

ඔසප් වීම ආරම්භ වූ දින සිට එම දැරිය පුරුෂයන්ගේ ඇස ගැටීම වළක්වමින් දින ගණනාවක් නිවසින් බැහැරට යෑමට නොදී විවිධ චාරිත්‍ර ඉටු කිරීම ශ්‍රී ලාංකීය සමාජය තුළ අදටත් එලෙසින්ම දැකිය හැකිය.

සති කීපයක ඇවෑමෙන් “කොටහළු මඟුල් ගෙයක්” සංවිධානය කර සිය දියණිය වැඩිවියට පා තැබීම සැමරීමට ද බොහෝ දෙනෙක් ක්‍රියා කරති.

කෙසේවෙතත්, කාන්තාවන්ගේ ඔසප් වීම ගැන ශ්‍රී ලාංකීය සමාජය තුළ ප්‍රසිද්ධියේ කතා කරන්නේ අතලොස්සක් පමණි.

මෙම මාතෘකාව සඟවා තැබිය යුතු බවටත්, ඔසප් දිනවල භාවිත කරන සනීපාරක්ෂක තුවා, ‘ටැම්පොන්’ (tampon යනු ඔසප් වීමේ දී පිටවන රුධිරය උරා ගැනීමට යෝනි මාර්ගයට ඇතුළු කරන පුළුන්වලින් තැනූ ඇබයක්) ඇතුළු විවිධ නිපැයුම් එළිපිට විකිණීම පවා සමාජ සම්මතයන්ට පටහැණි බවටත් විශ්වාස කරන පිරිසක් ද සිටිති.

ශ්‍රී ලංකාවේ සුපිරි වෙළෙඳසැලක සනීපාරක්ෂක තුවා පැකට් විකිණීමට ඇති ස්ථානය අසලින් විනිවිද නොපෙනන දුඹුරු පැහැ බෑග් තබා තිබෙන ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වෙනු දක්නට ලැබිණි.

මෙම ක්‍රියාවට බොහෝ විවේචන එල්ල වුවද, තවමත් ශ්‍රී ලංකාවේ බොහෝ වෙළෙඳසැල්වල සනීපාරක්ෂක තුවා පැකට් කඩදාසිවල ඔතා දෙන අතර, එය සඟවා රැගෙන යෑමට බොහෝ දෙනෙකු කැමැත්ත පළ කරති.

පාසල් පෙල පොත

ඔසප් වීම සහ ඒ පිළිබඳ සමාජයේ පවතින මිථ්‍යා මත ගැන 7 ශ්‍රේණිය සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපන (නව විෂය නිර්දේශය) පාසල් පෙල පොතේ මෙසේ සඳහන් වේ:

  • ඔසප් වීම – ගැහැනු දරුවෙකුට පළමුවරට ඔසප් වීම මල්වර වීම ලෙස හැඳින් වේ. සෑම ගැහැනු දරුවෙකු ම එක ම වයසේ දී මල්වර නොවේ. ඒ සඳහා පෝෂණ තත්වය, ආරය, පාරිසරික සාධක බලපායි. ඔසප් වීම සාමාන්‍යයෙන් දවස් 28කට වරක් චක්‍රයක් ලෙස සිදු වන නමුත් පළමු වසර 2-3 තුළදී අක්‍රමවත්ව විය හැකිය.
  • ඔසප් දිනවල දී නෑම නිසා රුධිරය ‘ඉහට ගැසීම’ මගින් රෝගාබාධ ඇති වන බව මිථ්‍යා මතයකි. රුධිරය වහනය වීමක් සිදු වන නිසා මේ කාලය තුළ පිරිසිදුව සිටීම අනිවාර්ය වේ.
  • ඔසප් දින අපිරිසිදු (කිලි) කාලයක් ලෙස සමහරු සලකති. එහෙත් මේ පිටවන්නේ තම ශරීරයේ ම රුධිරයයි. තුවාලයක් වූ විට ගලන රුධිරය හා මේ අතර ඇති වෙනස්කම වන්නේ ශ්ලේෂ්මල හා ගර්භාෂ පටක ස්වල්පයක් ද මේ සමග පිට වීමය. සිරුරේ පිරිසිදුකම රැකගැනීමත්, සනීපාරක්ෂක තුවා හා අපද්‍රවය නිසි ලෙස බැහැර කිරීමත් ගැහැණු දරුවන්ගේ වගකීමයි.
  • ඔසප් කාලය තුළ මස්, මාංශ (පිළී ආහාර) නොගත යුතු බවට මිථ්‍යා මතයක් ඇත. මෙය වර්ධන අවධියක් බැවින් ප්‍රෝටීන් අවශ්‍යතාව වැඩිය. මස්, මාංශ, කිරි, බිත්තර වැනි ප්‍රෝටීන් බහුල ආහාර මේ කාලයට ගැනීම වැදගත්ය.
  • බඩ රිදීම, කොන්ද රිදීම වැනි සුළු තත්ව ඔසප් කාලයට ඇති විය හැකි නමුත් අපහසුතාවක් නැති නම් ක්‍රීඩාවලින් වැළකිය යුතු නැත. සාමාන්‍ය ලෙස දින චර්යාවේ යෙදීම සුදුසුය.

පෑඩ් හා ටැම්පොන්’

මාසික ශුද්ධිය සිදුවන කාලය ඇතුළත කාන්තාවන් විවිධ වර්ගයේ සනීපාරක්ෂක තුවා සහ ‘ටැම්පොන්’ භාවිත කරනු ලබයි.

නමුත්, රුපියල් 500කට ආසන්න ගණනකට විකිණීමට ඇති සනීපාරක්ෂක තුවා සෑම මසකම මිල දී ගැනීමට අපහසු කාන්තාවන් රෙදි, පුළුන් වැනි ආදේශක භාවිත කරනු ලබයි.

රී ලංකාවේ වැඩිවියට පත් පාසල් දැරියන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් මාසික ශුද්ධිය සිදුවන කාලය ඇතුළත පාසල් යාමෙන් වැළකී සිටිනවා – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එවැනි ආදේශක පැළඳගෙන යාමේ දී මෙන්ම පිරිසිදු කිරීමේ දී ඇතිවන දැඩි අපහසුතා මඟහැරීම සඳහා මාසික ශුද්ධිය සිදුවන කාලය ඇතුළත සිය දෛනික කටයුතුවල යෙදීමෙන් සහ නිවසින් බැහැරට යාමෙන් වැළකී සිටීමට සමහර කාන්තාවෝ පෙළඹෙති.

ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර මාසික ශුද්ධිය හා බැඳුණු අගහිඟකම් ගැන රොයිටර් පුවත් සේවයේ පළ වූ ලිපියකට කරුණු දක්වමින් කොළඹ කිතුල්වත්තේ පදිංචි රිෆ්කා පැවසුවේ ඔසප් කාලය ඇතුළත රෙදිවර්ග භාවිත කළත් එයින් දැඩි අපහසුතාවලට මුහුණ දුන් බවය.

“අපි වතුර ලබාගන්නේ පොදු පයිප්පයකින්. ඔසප් කාලයේ දී අඳින රෙදි සෝදාගන්න පෝලිමක ඉන්න ඕනේ” යැයි 24 හැවිදිරි රිෆ්කා රොයිටර් පුවත් සේවයට පැවසීය.

“අපි ඒවා සඟවාගෙන යන්නේ. ඒ වගේම ලැජ්ජාව නිසා ඒවා වේලන්නෙත් හොරෙන්. ගොඩක් වෙලාවට ඒ රෙදි හරියට වේලෙන්නේ නැතුව තද ගතියකට හැරෙනවා.”

නමුත් මෙයට විසඳුමක් සොයාගත් රිෆ්කා ස්වාභාවික අමු ද්‍රවය යොදාගෙන, අඩු මුදලකින් සනීපාරක්ෂක තුවා නිර්මාණය කිරීම ආරම්භ කළාය.

ඇයගේ ප්‍රථම රැකියාව ලෙස වසරකට පෙර ආරම්භ කළ මෙම ව්‍යාපාරයට මේ වන විට අසල්වාසී කාන්තාවන් ද හවුල් කරගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ වැඩිවියට පත් පාසල් දැරියන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් මාසික ශුද්ධිය සිදුවන කාලය ඇතුළත පාසල් යාමෙන් වැළකී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය 2015 දී සිදු කළ සමීක්ෂණයකට අනුව සැකසුන වාර්තාවක සඳහන් වේ.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ ගුරුවරුන්ගෙන් 60%ක් ඔසප් වීමේ දී පිටවන රුධිරය අපිරිසිදු ලෙස සිතන අතර, 80%ක් සිතන්නේ එම කාලය තුළ නෑම නොසුදුසු බව යැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සිදු කළ සමීක්ෂණයක දැක්වේ.

දකුණු ආසියානු රටවල සෑම සිසුවියන් තිදෙනෙකුගෙන් එක් අයෙක් ඔසප් කාලය ඇතුළත පාසල් නොපැමිණෙන අතර, ශ්‍රී ලංකාවේ තත්වය මීට වඩා බරපතල බව එම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

ඉන්දියාවේ කාන්තාවන්ට මාසික ශුද්ධිය පවතින කාලය ඇතුළත සමහර ආගමික ස්ථානවලට යෑම තහනම් වන අතර, නේපාලයේ සමහර ප්‍රදේශවල කාන්තාවන් නිවසින් බැහැර කිරීම ද සිදු වේ.

එසේ නිවසින් පිටත් කළ කාන්තාවන් කීපදෙනෙකු විවිධ හේතු නිසා මියගිය පුවත් ද පසුගියදා අසන්නට ලැබිණි.

සනීපාරක්ෂක තුවා පරිහරණයෙන් පසු ඉවත ලෑමෙන් පරිසරයට දැඩි හානි සිදු වේ

ඔසප් වීම සහ අගහිඟකම්

‘ඔසප් වීම සමග බැඳුණු අගහිඟකම්’ ගැන පසුගිය වසර තුළ ලොව පුරා රටවල අවධානය යොමු විය.

බ්‍රිතාන්‍යයේ ද සෑම කාන්තාවන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට මෙම නිෂ්පාදන මිල දී ගැනීමට අපහසු බව පසුගිය වසරේ සිදු කළ සමීක්ෂණයකින් හෙළි විය.

2018 සැප්තැම්බර් මස වන තෙක් ආනයනය කරන සනීපාරක්ෂක තුවාවලට විශාල බද්දක් අය කිරීමට ශ්‍රී ලංකා රජය ක්‍රියා කළ අතර, එම පැකට්ටුවක සිල්ලර මිල තවත් ඉහළ ගියේය.

මේ වන විට අදාළ බදු මුදල පහත හෙලීමට රජය ක්‍රියා කර තිබේ.

කෙසේනමුත්, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව, අයර්ලන්තය, කෙන්යාව, උගන්ඩාව සහ එක්සත් ජනපදයේ සමහර ප්‍රාන්තවල සනීපාරක්ෂක තුවා සඳහා යොදා තිබූ බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ක්‍රියා කර තිබේ.

පරිසරයට අහිතකර ද?

ගූගල් සෙවුම් දත්ත අනුව පෙනී යන්නේ ඔසප් කාලය ඇතුළත ‘නැවත භාවිත කළ හැකි’ නිෂ්පාදන ගැන සොයාබැලීම් වැඩි වී තිබෙන ආකාරයයි

කපු පුළුන් සහ දියර නොරැදෙන ප්ලාස්ටික් මිශ්‍ර ද්‍රවයකින් නිම කෙරෙන සනීපාරක්ෂක තුවා පරිහරණයෙන් පසු ඉවත ලෑමෙන් පරිසරයට දැඩි හානි සිදු වේ.

දිරාපත් නොවන මෙම ද්‍රව්‍ය මුහුදු වෙරළවල පවා ගොඩගැසී තිබෙන බව ‘මැරීන් කොන්සර්වේටිව් සොසයිටි’ (Marine Conservation Society) 2017 දී පළ කළ වාර්තාවක දැක්වේ.

සනීපාරක්ෂක තුවාවල මිල ගණන් සහ පරිසරයට අහිතකර බව මුල් කරගෙන ලොව පුරා කාන්තාවන් බොහෝ දෙනෙකු ඔසප් කාලය ඇතුළත ‘නැවත භාවිත කළ හැකි’ නිෂ්පාදනවලට යොමු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.

ගූගල් සෙවුම් දත්ත අනුව පෙනී යන්නේ අන්තර්ජාලය ඔස්සේ ද එවැනි නිෂ්පාදන ගැන සොයා බැලීම් වැඩි වී තිබෙන ආකාරයයි.

Full test copied by BBC Sandesaya, 2019 මැයි 29

Recommended For You

About the Author: Editor