‘එල්ලන්න එපා පනතින්’ සතුටු වන්නේ කවුද කියා ජනපති කියයි

මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් කුඩුකාරයන්ට, පාතාලයට රට භාර දෙන එම දිනය මේ රටේ ජාතික ශෝක දිනයක් බවට පත් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ මහවැලි ජනපදිකයන් පන්දහසකට ඉඩම් ඔප්පු පිළිගැන්වීම වෙනුවෙන් අද (14) පෙරවරුවේ වලව කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලයීය කි‍්‍රඩාංගණයේ දී පැවති උත්සවය අමතමිනි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මරණීය දණ්ඩනය අහෝසි කිරීමට ආණ්ඩුවේ කිහිප දෙනෙකුට අවශ්‍ය පරිදි පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට සැරසීම තුළින් ජය පැන් බොන්නේ මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ අපරාධකරුවන්ට මේ රටේ දරුවන්ගේ අනාගතය විනාශ කිරීමට තමා ඉඩ නොතබන බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ගත හැකි සෑම පියවරක්ම ගන්නා අතරම මරණීය දණ්ඩනය ලබාදීම පිළිබඳ ගත් තීන්දුව ද කිසිසේත් ආපසු නොහරවන බව අවධාරණය කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මරණිය දණ්ඩනය ලබාදීම පිළිබඳ ගත් තීන්දුවට ඇතැම් පිරිස් එරෙහි වී ඇත්තේ විදේශ බලවේගයන්ගේ අවශ්‍යතා අනුව බවයි.
එබැවින් මරණීය දණ්ඩනය රටට අවශ්‍ය බවට රටට සහ දරුවන්ට ආදරය කරන ජනතාව අතරින් පුළුල් ජන හඬක් ගොඩනැගිය යුතු බව පැවසු ජනාධිපතිවරයා ඊට එක්වන ලෙස තමා සියලූ දෙනාගෙන් ඉල්ලන බව ද කියා සිටියේය.

Recommended For You

About the Author: Editor