චන්ද්‍රිකා එක්ක අපිට ගනුදෙනුවකුත් දෙන්න දේකුත් නෑ – ඇමැති රවී කරුණානායක

පාලම් බෝක්කු ගැන කථා කරන නායකයකුට අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය ලැබෙන්නේ නෑ

ජනාධිපතිවරයාට විරුද්ධව ඉදිරිපත් කිරීමට දෝෂාභියෝගයක් ගැන පක්ෂය කථාකර හෝ තීන්දුවක් ගෙන නෑ

හිටපු ජනපතිනිය සමග එජාපයට කිසිම සම්බන්ධයක් නොමැති බවත් ඇයට දෙන්න දෙයක් එජාපයට නැති බවත් විදුලිබල ඇමැති රවී කරුණානායක මහතා කියයි.

අද (14) වීරකැටිය කොන්දගල රාජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරනු ලබන බුද්ධ ප්‍රතිමාවට විදුලි ආලෝකය ලබා දීමේ අවස්ථාවට සහභාගී වීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රවී කරුණානායක මහතා එසේ පැවසීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක මහතා,

‘‘පාලම් බෝක්කු ගැන කථා කරන නායකයකුට අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය ලැබෙන්නේ නෑ. ජාත්‍යන්තරය ගැන අවබෝධයක් ඇති ඒවා මෙහෙයවන්නට හැකි නායකයෙක් අපි ඊළග ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා’’

සජිත් ප්‍රේමදාස මහතා ඊළග ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් එජාපය නියෝජනය කරමින් පැමිණෙන බවට පවතින රාවය පිළිබදව අදහස් දැක්වූ රවී කරුණානයක ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ එවන් අයෙකු එජාපයේ ජනාධිපති අපේක්ෂකයා නොවන බවයි.

‘‘එජාපය සතුව ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු කිහිප දෙනෙකු සිටිනවා. ඔවුන් අතරින් කෙනෙකු අපි සාකච්ඡා කර ඉදිරිපත් කරනවා. ඔය දැන් ඉදිරිපත් වෙන්න දඟලන අය ඊට සුදුසුකම් ලබන්නේ නෑ’’

ජනපතිට එරෙහි දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම පිළිබඳ පවතින රාවය සහ හිටපු ජනපතිනිය ගැන අදහස් දැක්වූ ඇමැතිවරයා,

‘‘ජනාධිපතිවරයාට විරුද්ධව ඉදිරිපත් කිරීමට දෝෂාභියෝගයක් ගැන පක්ෂය කථාකර හෝ තීන්දුවක් ගෙන නෑ. එමෙන්ම අපේ පක්ෂය චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිවරිය සමග මේ වන විට කිසිදු සම්බන්ධයක් නෑ. ඇය අපේ පක්ෂය තුළ ප්‍රශ්න ඇති කළා. එමෙන්ම ශ්‍රීලනිපය තුළ ඇය ප්‍රශ්න ඇති කළා. ඇයගෙන් අපේ පක්ෂයට වැදගත්කමක් නෑ. තම ආසනය දිනාගන්න බැරි චන්ද්‍රිකාට අපේ පක්ෂයට දෙන්න පුළුවන් දෙයක් නෑ’’ යැයි ද පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත මෙම විහාරස්ථානයට විදුලි ආලෝකය ලබා දෙන්නට තමන් කටයුතු කළ බවද රවී කරුණානායක මහතා පැවසීය.

මෙම අවස්ථාවට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂකයා වන නෙවිල් වන්නිආරච්චි මහතා ද සහභාගී වී සිටියේය.

Recommended For You

About the Author: Editor