Full story of the today: 13 වන සංශෝධනයට යටත්ව දේශපාලන විසඳුමක් ලබා දීමට දැඩිව කැප වෙනවා – අගමැති රනිල් වික‍්‍රමසිංහ

ස්කන්දවරෝදය විද්‍යාලයේ දක්ෂතා දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා තිළිණ ප්‍රදානය කළ අවස්ථාව.

යාපනය, චුන්නාකම්, කන්දරෝඩෛ, ස්කන්දවරෝදය විද්‍යාලයේ 125 වන සංවත්සරය සහ ත්‍යාග ප්‍රදානෝත්සවයට අද (15) දින සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී දැක්වූ අදහස්.

ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම සඳහා ගත වූ වසර කිහිපය තුළ දැඩි උත්සාහයක් ගෙන ක්‍රියා කළ ද වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිවීම නිසා එම අරමුණ ඉටුකර ගැනීමට නොහැකි වූ නමුත් ඉදිරි වසර දෙක තුළ ස්ථීර වශයෙන්ම ඒ අරමුණ ඉටුකරමින් දේශපාලන විසඳුමක් ලබාදෙන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 13 වන සංශෝධනයට යටත්ව බලය බෙදා ගනිමින්, දේශපාලන විසඳුමක් ලබා දීමේ ක්‍රියාවලියට තමා උපරිමයෙන් කැපවී සිටින බවද අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (15) යාපනය, චුන්නාකම්, කන්දරෝඩෛ, ස්කන්දවරෝදය විද්‍යාලයේ 125 වන සංවත්සරයට සහ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කීය.

විවිධ ජාතීන්ගෙන් සමන්විත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත පුරවැසියන් ලෙස තරග කොට ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වූ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වසර දහසක් තිස්සේ විවිධ ජාතීන් සමඟ සහයෝගයෙන් ජීවත් වන අප ද ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සිතිය යුතු කාලය දැන් එළඹ තිබෙන බව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

“අපි දේශපාලන විසඳුමකට ඉතාමත් ළඟාවී තිබෙන බව මා කියන්න කැමැතියි. මීළඟ අවුරුදු දෙකක් තුළදී එම ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙනවා. ශ්‍රී ලාංකිකයන් ලෙස ආඩම්බරයෙන් ජීවත් විය හැකි පරිසරයක් එමගින් උදා කරගත හැකියි. 

අපි කුමන ජාතියකට අයත් වුණත් අපි ශ්‍රී ලාංකිකයෝ යන අනන්‍යතාවයට මා කැමැතියි. මෙහි සිටින සියලූදෙනාම ඒ ආකාරයට සිතිය යුතුයි. 

මෙවර ලෝක කුසලාන අවසන් ක්‍රිකට් තරඟයෙන් ඊයේ සත්කාර එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළා. එංගලන්තය සමග අපට සමීප සබඳතා තිබෙනවා. එංගලන්ත කණ්ඩායමේ නායකයා, හොඳම පිතිකරුවා, හොඳම පන්දු යවන්නා යන තුන්දෙනාම විදේශ රටවලින් එංගලන්තයට සංක්‍රමණය වූ ක්‍රීඩකයන් බව කිව යුතුයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ අපිත් අවුරුදු දහසක ඉදන් විවිධ ජාතීන් සමග සහයෝගයෙන් ජීවත් වෙනවා. ඒ අය ශ්‍රී ලාංකික ජාතියක් විදිහට සිතිය යුතු යුගය දැන් එළඹිලා තිබෙනවා.”

Recommended For You

About the Author: Editor