ගමේ ගොවිපොළ ‘ගැප්’ Good Agriculture Practices – GAP කරගන්නා පිළිවෙත මෙන්න

‘යහපත් කෘෂි පිළිවෙත්’ නොහොත් ‘ගැප්’ (Good Agriculture Practices – GAP) වශයෙන් සඳහන්වූ ආචාරධර්ම පද්ධතියක් 2002 වසරේදී සමාජගතවූයේ මෙහි ප්‍රතිපලයක් වශයෙන්ය.

රටේම නිෂ්පාදන ‘ගැප්’ වුවහොත් වසවිස කතාව ඉවරයි / ‘ගැප්’ සහතිකය ලැබෙන්නේ නොමිලේ / පැරණි ගොවිතැනේ ස්වභාවිකවම ‘ගැප්’ තත්වය තිබුනා

වසවිස නැති ආහාර ගැන කතා කරන තරමට අප ඒ අතින් ලොව පළමු තැන ගන්නවාදැයි සිතෙන තරම්ය. වෙනත් රටවල පාරිභෝගිකයා සුපිරි වෙළඳසැලට ගියත් ග්‍රාමීය එළවලු පොලෙහි බිම දමාගෙන එළවලු විකුණන වෙළෙන්දිය වෙත ගියත්, තමා මිලදී ගන්නා ආහාර බෝගයේ වස තිබේදැයි සැලකිලිමත් වන්නේ නැත. සැක සහිතව එවැන්නක් විමසන්නේද නැත. තමා මිලදී ගන්නා දෙය පිළිබඳව විශ්වාසයක් ඔවුන් සතුව තිබේ.

අනෙක් අතර පාර අද්දර වෙළෙන්දිය වෙතින් එළවළුවක් තෝරා මිලදී ගැනීමේ අයිතිය උපරිම වශයෙන් පාරිභෝගිකයා සතුව තිබේ. කරලෙන් කරල තේරුවත්, අලෙවිකරු වෙතින් කිසිදු බාධාවක් පැන නොනගී. මුදල් ගෙවන්නාට අවැසි පරිදි තෝරා මිලදී ගැන්මට ඉඩහැර අලෙවිකරුවෝ ඉවත බලා සිටින්නෝය.

මෙරට තත්වය මීට හාත්පසින්ම වෙනස්ය. බොහොමයක් පාරිභෝගිකයින් මිලදී ගන්නා එලවලුවෙහි වසවිස ඇතිදැයි විමසිලිමත් වේ. ස්ථිර වශයෙන්ම කෘෂි රසායනයන් යොදනවායයි දන්නා බෝග මගහැර ඇතැමුන් ‘ගමේ එළවලු’ යනුවෙන් කොටසක් හඳුනාගෙන සිටී. එහෙත් අවාසනාවකට මේ වනවිට එවැනි ‘ගමේ එලවළු’ ද, වාණිජ වගා තත්වයට පත්වී සිත්සේ වස දියරයේ පහස විඳ ගනී. අප මේ අහර වැළඳුවාට, අපෙන් ඒවා මිලදී ගන්නා බලවත් ජාතීන් නම් මේ බියකරු සිහිනය හමුවේ, තමා ගන්නා නිෂ්පාදනය මෙසේ විය යුතුයයි නීති පවා පැනවීමට පසුබට වී නැත. නිපදවන නැවුම් එළවලු හා පලතුරු, බැක්ටීරියා, දිලීර, වයිරස් වැනි ක්ෂුද්‍රජීවී සතුරන්ගෙන් තොරවිය යුත්තේ කෙසේදැයි කියාදෙන ‘යහපත් කෘෂි පිළිවෙත්’ නොහොත් ‘ගැප්’ (Good Agriculture Practices – GAP) වශයෙන් සඳහන්වූ ආචාරධර්ම පද්ධතියක් 2002 වසරේදී සමාජගතවූයේ මෙහි ප්‍රතිපලයක් වශයෙන්ය. නමුත් ඒ වනවිටත්, යුරෝපීය වෙළඳසැල් ජාලයක් මගින් ‘යුරෝපීය ගැප්’ නමින් හඳුන්වාගත් වැඩසටහනක් හරහා ද්‍රව්‍ය මිලදී ගනිමින් තම පාරිභෝගිකයින්ගේ විශ්වාසය තමා කෙරෙහි රඳවා ගැනීමට කටයුතු කරමින් සිටියේය.

මෙරටින් යුරෝපීය වෙළඳපොළට යැවෙන විවිධ බෝග වර්ග එහිදී මෑතක සිට දැඩි පරීක්ෂාවට ලක්වන්නේ ඔවුන් ‘ගැප්’ අනුගමනය කරමින් එහි නීතිරීති වලට අනුව අපගේ නිෂ්පාදන ගැන තොරතුරු හාරා අවුස්සන්නට පටන් ගත් නිසාය. මේ අනුව 2009 දී අපගේ නිෂ්පාදනයන් හැත්තෑ වතාවක්  ප්‍රතික්ෂේප වෙමින් ආපසු හරවා එවන ලදී.

2012 වනවිට ප්‍රතික්ෂේපවීම් වාර ගණන 179 ක් වූ අතර 2014 දී, 190 වරක් අපගේ රට පැටවුම් ආපසු හැරවූයේ ලාංකික එළවලු හා පලතුරු අපනයනකරුවාට ලෝක වෙළඳපොලෙන් අපිරිසිදු සහතිකයක් ලබා දෙමින්ය. මේ අනුව විදෙස් වෙළඳපොළට හරියන්න බෝග හදන්නට අපේ ගොවියාව උනන්දුකිරීම උදෙසා මෙරටදීද ‘ගැප්’ වැඩසටහනකට මුල පිරුණි. මුලදී පෞද්ගලික අංශයේ මෙහෙයවීම යටතේ වැඩි මුදලක් අයකරමින්, තෝරාගත් ගොවීන් කණ්ඩායමක් හරහා ගැප් වැඩසටහන ක්‍රියාත්මක වුවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවා පසුව තීරණය කෙරුවේ දේශීය ගොවිපොළ නගා සිටුවීමටත්, ඇස්කන් පියාගෙන වසවිස බුදින ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, රාජ්‍ය මැදිහත්වීමෙන්ද ‘ගැප්’ වැඩසටහන ක්‍රියාත්මක කලයුතු බවයි.

අපේ ගොවිපොලත් ‘ගැප්’ ගොවිපොළක් කරගන්න පුලුවන්ද?

රටේ වෙසෙන ඕනෑම ගොවියෙකුට තමාගේ වගාබිම හෝ ගොවිපල ‘ගැප්’ ගොවිපලක් බවට පත්කරගත හැකිය. මේ සඳහා යහපත් කෘෂි පිළිවෙත් හි ආචාර ධර්මයන්ට ඔහු එකඟ විය යුතුව්. අතීතයේ මෙරට පැවති ගොවිපලක ගති ලක්ෂණ විමසා බලන විට පැහැදිලිවෙන කරුණක් වන්නේ ඒවා කාගේවත් බලපෑමක් හෝ මෙහෙයවීමක් නොමැතිවම මෙම නිර්ණායකයන්ට ළඟාවී සිටි බවය. එසේනම් නූතන ගොවියාට බැරි වෙන්නට විධියක් නැත. පළමුවෙන් ගොවිපලට නිශ්චිත මායිමක් හා වැට කඩොලු තිබීම මගින් එය යාබද බිම්කඩෙන් පැහැදිලිව වෙන්වී තිබිය යුතුය. මීළඟට ගොවිපල තුල වැඩකරන අයට භාවිතා කල හැකි පරිද්දෙන් හොඳ සනීපාරක්ෂක පහසුකම් තිබිය යුතුය. බොහොමයක් ගොවිපළවල බෝග තිබුනාට, අස්වැන්න ලැබුනාට මෙම මූලික අවශ්‍යතා දෙක සපුරා නැති බැවින් ‘ගැප්’ ලෙස වර්ගකිරීමට හැකියාව නොලැබේ.

අයදුම්පත ඉදිරිපත් කරන්නේ කාටද?

ඒ සඳහා අයදුම් කල යුත්තේ තම පළාතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන කෘෂි ව්‍යාපාර උපදේශක වෙතටයි. ඔවුන් ගොවිපල පරීක්ෂාවට පැමිණේවි. ඊට අමතරව පිළිපැදිය යුතු තවත් කාරනා ගණනාවක් පවසාවි. පලිබෝධ මර්දනය වෙනුවෙන් ඒකාබද්ධ පළිබෝධ මර්දන ක්‍රම භාවිතා කලයුතුවේ. එනම් වසවිස බෝතල් වලට යන්නේ බැරිමනම් හා අවසානයට පමණය. දේශීය ක්‍රම, ස්වභාවික සතුරන් මගින් කෘමීන් විනාශ කිරීම, ආදී නොයෙකුත් පරිසර හිතකාමී පිළිවෙත් වලින් මර්දනය කරගන්නට බැරි, වසංගතයක් වැනි තත්වයක් පැමිණියහොත් පමණක් රසායනින මර්දනයකට ඉඩදිය හැකිය. එවැන්නක් අනුගමනය කලද, නියමිත කාලය පසුවෙන තුරු අස්වැන්න ගැනීම තහනම්වේ.. පොහොර පවා යොදන්නේ පස් පරීක්ෂා කරලා අවශ්‍යතාවය අනුවය. ගොවිපලේ වැඩ කරන අයට බෝවෙන අසනීප යනාදිය නොතිබිය යුතුවා මෙන්ම අස්වැන්න නෙලීම, ඇසිරීම ආදියට පවා නීති සකස්කර තිබේ. ඒ සියල්ල පිළිගෙන හැඩගැසෙන ගොවියා ‘ගැප්’ ගොවියෙකි. ලෝකයේ ඕනෑම කොනක, මුල්ලක තම ගොවිපලේ නිෂ්පාදනයන් අලෙවිකිරීමේ ලයිසම සහිත ලොව පිළිගත් ගොවියෙකි. බලපත්‍රය ලැබෙන්නේ ගොවිපලටමය. නිකුත් කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි.

‘ගැප්’ සහතිකයට කීයක් අයකරනවාද?

මෙය නිකුත්කරන්නේ සම්පූර්නයෙන්ම නොමිලේය.

පැරණි ගොවියා මහත් ගෞරවයෙන් කෙරූ පිරිසිදු ගොවිතැනේ නව සංස්කරණයක් යයි මෙය හැඳින්වීම වඩාත් සාධාරණ යයි හැඟේ.ගොවිපලට ‘ගැප්’ සහතිකය ලැබුනහොත් එතැන්සිට එහි කටයුතු විටින්විට සොයා බලන්නට නිලධරීන් පැමිණෙනු ඇත. වගාකරු විසින් එදිනෙදා ගොවිපල තුල කලකී දෑ සියල්ල වාර්තා පොතක සටහන් තබා පවත්වා ගතයුතු බැවින්, එය නිලධරීන්ගේ අධීක්‍ෂණයට ලක්වේ.අස්වැන්න නෙලීමෙන් අවසන් නොවී ඒවා ගබඩාකිරීම, ඇසිරීම හා ප්‍රවාහනය අවසන් වනතෙක්ම ‘ගැප්’ අධීක්‍ෂණය ක්‍රියාත්මක වේ. ගොවිපල තුලම ගබඩා හා ඇසුරුම් පහසුකම් තිබේනම්, ‘යහපත් පරිහරණ පිළිවෙත්’ (Good Handling Practices – GHP) වශයෙන්වූ නිර්නායකයන් පවා වෙනත් රටවල පිහිටි වඩා විශාල ගොවිපල වල ක්‍රියාත්මක වේ.

‘ගැප්’ ක්‍රමයට වැව්වොත් වෙළඳපොලේ වැඩි මිලක් ලැබේවිද?

 ‘ගැප්’ සහතිකය සහිත වගාබිම් වලින් සාමාන්‍ය ගොවියාගෙන් මිලදී ගන්නවාට වඩා වැඩි මිලක් ගෙවා නිෂ්පාදන මිලදී ගැන්මට ඇතැම් ව්‍යාපාරිකයින් දැන් පෙරට විත් ඇති අතර, සුපිරි වෙළඳසැල් ජාල අතර දැන් දැන් මේ සඳහා තරඟයක් පවා නිර්මාණය වෙමින් පවතිනා බව පෙනෙන්නට තිබේ. එපමණක් නොව ඇතැම් සුපිරි වෙළඳසැල්වල ‘ගැප්’ නිෂ්පාදනයන් අලෙවිකිරීම පිණිස වෙනම කවුළුවක් පවා විවෘතව පවතී. ගොවීන්ට වැඩි මිලක් ගෙවන නිසා  මිලනම් තවමත් ටිකක් වැඩිවිය හැකිය. මෙම කෘෂි ව්‍යාපාරය දියුණු වෙමින් පවතින රටවල සාමාන්‍ය නිෂ්පාදන හා ‘ගැප්’ නිෂ්පාදන අතර ඇති මිල පරතරය එන්න එන්නම අඩුවෙනු දක්නට ලැබෙන අතර සිදුවිය යුත්තේත් එයමය. නරක ආහාර හෝ අපිරිසුදු ආහාර කියා දෙයක් අප අනුභව කලයුතු නොවේ.

ගොවියාගේ තොරතුරුත් පාරිභෝගිකයා අතට යනවාද?

හැම ‘ගැප්’ වගාකරුවාටම විශේෂිත වූ අංකයක් ලැබේ. එය ඉලක්කම් 13 කින් සමන්විතය. ඔහුගේ හැම නිෂ්පාදන අසුරුමකම මේ අංකය සඳහන් කෙරෙන අතර ඊට අමතරව කිව් ආර් කේතයකුත් ඇසුරුමේ ප්‍රදර්ශනය කෙරේ. ස්මාර්ට් දුරකතනයෙන් මේ කේතය කියවමින් ගොවිපොළේ තොරතුරු ලෝකේ ඕනෑම තැනක සිට දැනගැනීමේ හැකියාව පාරිභෝගිකයාට ලැබෙන නිසා වගාකරුගේ විස්තර, ඔහුගේ ඡායාරූපය, ගොවිපොළේ තත්වය, වගාකරන දෑ ආදී සියලු තොරතුරු පාර්භෝගිකයාට ලබාගත හැකිය. මේ නිසා ගොවීන් නිවැරදිම දේ වෙළඳපොළට යැවීමට උනන්දු වෙනු ඇත.  

සනත් එම්. බණ්ඩාර

B.Sc.(Botany), M.Sc. (Systematic Botany) UPLB​Assistant Director of AgricultureNational Agriculture Information and Communication CentreGannoruwa, Peradeniya

Recommended For You

About the Author: Editor