පාස්කු ඉරිදා කාරක සභාව හමුවට එන බුද්ධි අංශ නිලධාරීන්ගේ රසහ්‍යභාවය සියයට සියයක් ආරක්ෂා කරනවා – නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි

පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි දීමට ඉදිරි දිනවල ජාතික ආරක්ෂාව හා සම්බන්ධ සුවිශේෂ බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනකු කැඳවා ඇති බවත් ඔවුන්ගේ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය සියයට සියයටක් සහතික කරන බවට ඔවුන්ට සහතිකයක් දී ඇති බවත් නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි අවධාරණය කරයි.

නියෝජ්‍ය කතානායක වරයා මෙම අදහස් පල කර සිටියේ පසුගිය දා සෙවනගල මහා විද්‍යාලයයීය ශ්‍රවණාගාරයේදී පැවැති සමෘද්ධි හිමිකම් පත් ප්‍රධාන උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙතට අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායකවරයා මෙසේද සඳහන් කළේය.

අපි රට ගැන කතා කරන, රටට ආදරේ කරන අය. මේ නිලධාරී මහත්වරු කරන කාර්යභාරය පැහැදිලිව තේරුම් අරන් ඉන්නවා. එය අපි අගේ කරනවා. ඒ වගේම එතුමන්ලාට මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් කළ යුතු කාර්යභාරය වෙනුවෙන් ඒ සඳහා බාධා කරන්න මම මොනම හේතුවකටවත් ඉඩ තියන්නේ නැහැ.

කමිටුවේ හැටියට අපි සියලුම සාමාජිකයෝ මන්ත්‍රීවරු තීරණය කරල තියනවා මොනම හේතුවක් නිසාවත් මේ කමිටුවේ ක්‍රියාකාරිත්වය නිසා කිසිම බුද්ධි අංශ නිලධාරී මහත්මයෙකුට අවහිරයක් හෝ හානියක් හෝ ඒ අය හඳුනා ගැනීමක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියල. අපි ඒ කමිටුව ක්‍රියාකරගෙන යන කොට අපි ඒ කමිටුවට මුලින්ම කියන්නේ රටේ ආරක්ෂාව පිළිබඳව මොනව හරි ගැටලුවක් තියනවනම් ඒ ගැටලුව තියන වෙලාවේදී ඒ අය ඉල්ලීමක් කරන්න අපි සියලු මාධ්‍ය අයින් කරල ඒ අයගෙන් සාක්ෂි විමසන්න ලෑස්තියි කියල.

අපි එතුමාලටත් පෞද්ගලිකව කියල තියනවා, අවසාන වශයෙන් පාර්ලිමේන්තු ලිපියකින් යැව්වා ඒ අයට කිසිදු අයුරකින් හානියක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ කියල. මේක කමිටුවේ සියලු නිලධාරී මහත්වරු තීරණය කරල තියන කාරණයක්. කවුරු හරි කියනව නම් මේ අයට ප්‍රශ්නයක් වෙනව කියල අපි එහෙම වෙන්න ඉඩ තියන්නේ නැහැ. අපි අනෙක් හැම එක්කෙනාම වගේ රටට ආදරෙයි.

විවිධ දේවල් විවිධ අය කියනවා. හැබැයි මගෙන් ඇහුවොත් හරි උත්තරයක් දෙන්න පුළුවන් මොකද කමිටුව නි‍යෝජනය කරන මෙන්ම සභාපති ධූරය දරන්නේ මම. විවිධ කාරණ පත්තරවල කටකතාවල විවිධ පුද්ගලයන් කිව්වට ඒවට උත්තර දෙන්න මට අවශ්‍යතාවයක් නැහැ. අපි කරන්න ඕන මොකද්ද කරන්නේ මොකද්ද කියන එක ගැන තේරුම් අරගෙන තමයි කතානායක තුමා පත් කරපු කමියුවේ අපි වැඩ කරන්නේ.

Recommended For You

About the Author: Editor