වැඩිය දැගළුවොත් පාන්පිටි සමාගම් දණ ගස්වනවා – වැඩබලන ඇමැති බුද්ධි පතිරණ

හිතුමතේ මිල වැඩි කරමින් දඟලන්නට ආවොත් කිරිපිටි සමාගම් දණ ගැස්වූ ආකාරයෙන් පාන්පිටි සමාගම් ද දණ ගස්වන බව වැඩ බලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පැවසනවා.

අමාත්‍ය බුද්ධික පතිරණ මහතා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (17) පැවති ජාත්‍යන්තර තරුණ නිපුණතා දින සැමරුම් උළෙලේදී අදහස් දක්වමිනුයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ බුද්ධික පතිරණ මහතා සඳහන් කළේ පාන්පිටි සමාගම් දෙකක් පාන් පිටි මිල ඉහළ නංවා ඇත්තේ එසේ මිල වැඩි කළ නොහැකි බව නීතිපතිවරයා පවා කියා තිබියදී බවයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘‘වැඩි මිලට පාන්පිටි අලෙවි කරන ස්ථාන වටලා අත්අඩංගුවට ගැනීම් සිදුකරන ලෙස මම අද පෙරවරුවේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දුන්නා. පැය 3ක් තුළ එවන් ස්ථාන 51ක් ඔවුන් විසින් වටලා තිබෙනවා.

පාන්පිටි සමාගම් පාලනය කළ නොහැකි නම් මම මෙම ඇමතිධූරය දැරීමේ තේරුමක් නැහැ. මම හරියට ලීයකට ඇතුළු වූ කුරුමිණියෙක් වගෙයි. යමක් ආරම්භ කළ පසු ඉදිරියට මිස පසුපසට යාමක් මගේ නැහැ. ඒ නිසා මීට කලකට පෙර හිතූමතේ මිල ඉහළ දමමින් නැටූ කිරිපිටි සමාගම් දණ ගැස්සූ ආකාරයෙන්ම මේ පාන්පිටි සමාගම් ද දණගස්වලා තමයි මම පස්ස බලන්නේ’’ යැයි ද පැවසුවේය.

Recommended For You

About the Author: Editor