කියතෝ ගින්නෙන් 33ක් මරුට: ගිනි තැබීමක් බවට සැක

ජපානයේ කියතෝ හි පිහිටි සජීවීකරණ නිෂ්පාදන සමාගමකට අයත් ගොඩනැගිල්ලක අද (18) ඇති වූ ගින්නකින් පුද්ගලයින් 33 දෙනෙකු මියගොස් ඇතැයි ඒ.එෆ්.පී පුවත් සේවය පවසනවා.

අද සවස්වරුව වන විට ගින්නෙන් පිළිස්සුම් තුවාල ලැබූ 35 දෙනකු රෝහල් ගත කර තිබූ බවත් ඔවුන්ගෙන් 10 දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් එම වාර්තාවල වැඩි දුරටත් සඳහන් වෙනවා.

ගින්නට හසුව මියගිය සංඛ්‍යාව තවදුරටත් වැඩිවිය හැකි යැයි ද සෝදිසි මෙහෙයුම් අතරතුරදී ද මළසිරුරු හමු වූ බව ද කියතෝ ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසන බවයි ඒ.එෆ්.පී වාර්තාකරු සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියතෝ පොලීසියේ නිලධාරියෙක් ඒ.එෆ්.පී පුවත්ෙ සේවය පවසා ඇත්තේ, ‘පුද්ගලයකු යම් දියරක් විසි කරලා ඊට ගිනි තැබූ බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවත් ප්‍රතිකාර සඳහා ඔහු රෝහල් ගත කළ බවත් වාර්තා වන අතර ජපාන අගමැති ෂින්සෝ අබේ ද මෙම සිදුවීම සම්බන්ධයෙන් ට්විටර් සමාජ ජාලය ඔස්සේ සිය කනගාටුව පළ කර ඇත.

ගින්න සිදුවන විට මෙම චිත‍්‍රාගාරය තුළ පුද්ගලයින් 70 දෙනකු පමණ සිටි බව ද වාර්තාවල සඳහන්.

Recommended For You

About the Author: Editor