25 දා එන තේරීම් කාරක සභා වාර්ථාව චූදිතයන්ට සුදු හුණු ගෑමක් – SLPP

ආන්දෝලනයට ලක්වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව, චූදිතයන් නිදොස් කොට නිදහස් කර සුද්ද පවිත්‍ර කිරීමේ ආණ්ඩුවේ දේශපාලන වුවමනාව මත සකස් කෙරෙන්නක් බවට සැකයක් මතුවී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන තේරීම්කාරක සභා වාර්තාව ලබන අගෝසතු 25 වැනිදා එලිදක්වන බවට මාධ්‍ය මගින් අනාවරණය කොට ඇතත් පොලිස් පරීක්ෂණ තවමත් අවසන්ව නොමැති වාතාවරණයක් තුළ එසේ කිරීම සැකසහිත බව අද (18) පෙරවරුවේ කොළඹ නෙඵම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා  අවධාරණය කළේය.

මහ බැංකු බැඳුම්කර මගඩිය පිළිබඳව වගකීම නිළධාරීන් පිට පටවා ආණ්ඩුව අත සෝදාගත්තා සේම,  පාස්කු ප්‍රහාරයේ වගකීම හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා පිට පටවා චෝදනාවට ලක්වූ අමාත්‍යවරුන් නිදොස් කොට නැවත මැතිවරණයකට යාමට ආණ්ඩුව  උත්සහ කරමින් සිටිනවාද යන්න ගැටඵවක් බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේ රජයේ අමාත්‍යවරුන්  භික්ෂූන් වහන්සේලා ඇතුඵ ආගමික නායකයින් ඉලක්ක කරගනිමින් සිදුකරන අපහාසාත්මක ප්‍රහාරයන් පිටුපස එජාප නායකත්වයේ සෘජු මැදිහත්වීමක් පවතින්නේද යන්න පිළිබඳව බරපතල සැකයක් මතුවෙන බවයි.

එසේ නොමැතිනම් රන්ජන් රාමනායක අමාත්‍යවරයා ඇතුඵ  මෙවන් බරපතළ ප්‍රකාශ සිදුකරනු ලබන එජාප අමාත්‍යවරුන්  තාවකාලිකව හෝ ධූරයෙන් පහ කලයුතු නමුත් එසේ නොකරන්නේ එය එජාප ප්‍රතිපත්තිය නිසාදැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව හමුවේ ප්‍රකාශ කලයුතු බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලේය.

ජනතාගේ ජිවන මට්ටම නංවා නැවතත් සංවර්ධන ක්‍රියාදාමයකට රට අවතීර්ණ කිරීමට නම් වහාම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුව ඇතැයි මේ අවස්ථාවට එක්වූ හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor