ඉරානය – බි‍්‍රතාන්‍ය යළි ඇවිලෙයි

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි උණුසුම් කරමින් ඉරානය විසින් බි‍්‍රතාන්‍යයට අයත් ඉන්ධන නෞකාවක් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් සිටි මෙම බි‍්‍රතාන්‍ය ඉන්ධන නෞකාව ජාත්‍යන්තර නීති උල්ලංගනය කළ බවයි ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.

කුඩා යාත‍්‍රා කිහිපයක් සහ හෙලිකොප්ටර් යානාවක් මගින් නෞකාව අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් ජෙරමි හන්ට් අනතුරු අඟවා ඇත්තේ ඉරානය සිය නෞකාව නිදහස් කිරීමට කටයුතු නොකළ හොත් බරපතල ප‍්‍රතිවිපාක විඳීමට සිදුවන බවයි.

එම අනතුරු අගැයීම බැහැර කරන ඉරානය කියන්නේ සිය රටට තර්ජනයක් වන පරිදි කටයුතු කරන නෞකා අත්අඩංගුවට ගන්නා බවයි.

මීට සති කිහිපයකට පෙර සිරියාව බලා යාත‍්‍රා කරමින් සිටි ඉරානයට අයත් දැවැන්ත ඉන්ධන ප‍්‍රවාහන නෞකාවක් බි‍්‍රතාන්‍ය රාජකීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත්තා. මෙය එකට එක කිරීමක් ලෙසයි විදෙස් මාධ්‍ය සලකන්නේ.

Recommended For You

About the Author: Editor