නිලමෝර්ගේ සතිඅග දේශපාලන විමසුම : ඉඩම් හිමිකම සහ දේශපාලන අවස්ථාවාදය

‘‘දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිතිය විය යුතු’’ මේ සුප‍්‍රසිද්ධ කියමන තියෙන්නේ අපි කවුරුත් දන්න ‘හුණු වටයේ කතාව’ වේදිකා නාට්‍යයේ. ළදරු කුමාරයා වැඳු මවට නොදී හදාවඩාගත් මවට ලබාදීමට විනිසුරුවරයා තීරණය කරන්නේ ඉහත සඳහන් පාඨය මත සිටිමින්.

හුණුවටයේ කතාව බලපු අපි කවුරුත් මේ සංවේදී අවස්ථාව දෙස මහත් උනන්දුවෙන් බලාසිටියා. ඒත් ඒ සමගම අපිම මෙහෙම හිතා ගත්තා. ‘ඒත් ඇත්ත ලෝකේ කීයෙන් කී දෙනාටද ලැබිය යුතු දේ ලැබෙන්නේ ? ඒකට මොන තරම් නම් බාධා තියෙනවාද ?’’ මේ කතාව ඇත්ත. ලැබිය යුතු නියම සුදුස්සන්ට ලැබිය යුතුම දේ ලැබෙන්නේ නෑ. ඒක දෙන්න දෙන්නෙත් නෑ. කකුලෙන් අඳිනවා, කඩාකල්පල් කරනවා. අවදාල නඟනවා. ඒක තමයි ලෝක ස්වභාවය.

ඉඩම් හිමිකම මොනතරම් වැදගත් ද ?

දේශපාලන විද්‍යාඥයින්ට වගේම ඉතිහාසඥයින්ට අනුව මානව සංහතියේ තීරණාත්මක සටන් සහ විප්ලව බොහොමයක් සිදුව තිබෙන්නේ ‘‘ඉඩම් හිමිකම’’ දිනා ගැනීම සම්බන්ධව. ඔවුන් පෙන්වා දෙන්නේ එය මනාව සංහතියේ ආරම්භයේ සිටම අඛණ්ඩව පවතින නොනවතින අරගලයක් බවයි. උදාහරණයක් ලෙස ප‍්‍රංශ, රුසියන් වගේම චීන මහා විප්ලව පවා කේන්ද්‍රිය වෙන්නේ ඉඩම් හිමිකම දිනා ගැනීම මතයි ‘‘ජනතාවට පාන් – ගොවීන්ට ඉඩම්’’ බොහෝ විප්ලවවල තේමාව බවට පත් වුණා. ඒ අනුව දස දහස් ගණනක් නොවන කෝටි ගණනක් මිනිසුන් ඉඩම් හිමිකම දිනා ගැනීමට කළ නොනවතින අරගලයේදී තමන් උපන්බිම මතම ජීවිතය පරිත්‍යාග කළා. එය නූතන ලතින් ඇමෙරිකාවේ, අප‍්‍රිකාවේ පමණක් නොව ආසියාවට ද අදාළ බවයි ඉතිහාසඥයින් පෙන්වා දෙන්නේ.

ඉඩම් හිමිකම සම්බන්ධයෙන් වන ලංකාවේ තත්ත්වය ගැන අදහස් දක්වන බොහෝ දෙනෙක් පවසන්නෙත් ලංකාවේ ඉඩම් හිමකම සම්බන්ධ දැඩි විෂමතා පැවැති බවයි. සිංහල රජ දවස මුළු රටේම ඉඩම්වල හිමිකම රජු සතු වුණ අතර රජු තමන්ට සේවා සපයන පුද්ගලයින්, කුල ආදී සාධක මත එම ඉඩම් බෙදා දුන්නා. ඒ අනුව ඉතාම පැහැදිලිව ඉඩම් හිමිකම අහිමි ජනතාවක් මේ ක‍්‍රමය යටතේ බිහි වුණා. විශේෂයෙන් රඳලයින්ට සහ විහාර දේවාලවලට පවරා දුන් ඉඩම්වල මේ තත්ත්වය දැකගත හැකි වුණා. ඒ වගේම කුල සාධක මත තවත් විශාල පිරිසකට ඉඩම් හිමිකම අහිමි වුණා. ‘‘රාජකාරී ක‍්‍රමය’’ මත පදනම් වූ මෙම යුගයේ පුද්ගලයින්ට ඉඩමට බැඳ තබා තිබුණත් ඔවුන්ට ඉඩම්වලට හිමිකමක් තිබුණේ නැහැ.

මේ තත්ත්වය තව දුරටත් සංකීර්ණ වන්නේ යටත් විජිත යුගයේදීයි. විශේෂයෙන් වතු වගාව පදනම් කරගත් වැවිලි ආර්ථිකයක් බිහි වූ බි‍්‍රතාන්‍ය පාලන සමයේ ඉදිරිපත් වූ ප‍්‍රතිසංස්කරණ සමගයි. විශේෂයෙන් 1833දී ක‍්‍රියාත්මක වූ කොල්බෲක් ප‍්‍රතිසංස්කරණ මගින් රාජකාරී ක‍්‍රමය අහෝසි කිරීම ලංකාවේ ඉඩම් හිමිකමේ දිශානතිය වෙනස් කළා. ඒ්ත් එයින් පසු අති විශාල පිරිසක් කබලෙන් ලිපට වැටුණේ වැවිලි ආර්ථිකයට අවශ්‍ය සරුසාර ඉඩම් අත්පත් කර ගැනීමට බි‍්‍රතාන්‍ය පාලකයින් විසින් ගෙන ආ ‘මුඩුබිම් පනත’’ ආදිය නිසයි. ඒ අනුව ලිඛිතව තමන්ට අයත් ඉඩමේ හිමිකම ඔප්පු කළ නොහැකි භූමි පුත‍්‍රයින් විශාල පිරිසක් උපන්බිමේ බිම් අඟලක් නොමැති වුන්ගේ තත්ත්වයට පත් වුණා. සමාජ විද්‍යාඥයින්ට අනුව මේ තත්ත්වයෙන් වඩාත්ම පීඩාවට පත් වුණේ වැවිලි ආර්ථිකයේ නාභිය බවට පත් උඩරට ජනතාවයි.

ගොවි ජනපද ව්‍යාපාරය

1930 දශයේ ඞී.එස්. සේනානායක මහතා විසින් ආරම්භ කර නායකත්වය දුන් ගොවිජනපද ව්‍යාපාරයේ කේන්ද්‍රිය පුද්ගලයින් බවට පත් වුණේ බි‍්‍රතාන්‍යයින්ගේ මුඩුබිම් පනත වගේම කුල ධූරාවලිය ඇතුළු විවිධ සාධක නිසා ඉඩම් හිමිකම අහිමි වූ ජනතාවයි. ඔවුන්ට ඉඩම් හිමිකම ලබා දෙමින් වියළි කලාපීය ගොවිජනපදවල පදිංචි කිරීම සිදු වුණා. ඒත් රජයේ නීති අනුව සහ වෙනත් සමාජ ආර්ථික කාරණා අනුව ගොවිජනපදවල පදිංචි කළ ජනතාවට එම ඉඩම්වල හිමිකම ලැබුණේ නැහැ. එය දශක ගණනාවක් පුරා පවතින දැවැන්ත සමාජ, ආර්ථික හා දේශපාලන ගැටලූවක් නිර්මාණය කළා.

ඒ අනුව තමයි අද අපට අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර ඇතුළු ප‍්‍රදේශවල අදත් පරම්පරා ගණනක් ජීවත් වන ඉඩමේ හිමිකම නැති ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දකින්නට ලැබෙන්නේ.

ගොවිජනපද ව්‍යාපාරය ඇතුළු බහුකාර්ය සංවර්ධන ව්‍යාපාරවලත් තවත් විවිධ සංවර්ධන ව්‍යාපාරවලත් පදිංචි කළ ජනතාවට, විශේෂයෙන් ගොවීන්ට එකී ඉඩම්වල හිමිකම ලබා දෙන ලෙස දීර්ඝ කාලයක් පුරා අඛණ්ඩ ඉල්ලීම් ඉදිරිපත් වුණා. එහිදී බොහෝ දෙනෙක් පෙන්වා දුන්නේ ගොවීන් ඇතුළු මේ ජනතාවට ඉඩම්වල හිමිකම නොමැති තත්ත්වය තුළ කෘෂිකර්මාන්තය ද ඇතුළු සමාජ- ආර්ථික සංවර්ධනයේ ඍණාත්මක ප‍්‍රතිඵල නිර්මාණය කරන බවයි. විශේෂයෙන් ඉඩම් හිමිකම පැවරීමට නොහැකිවීම, බැංකුවකින් ණයක් ලබා ගැනීමට නොහැකි වීම, නිවාස සංවර්ධනය ආදිය කෙරෙහි මේ ඉඩම් හිමිකම අහිමි වීම ප‍්‍රබල බලපෑමක් කරන බවයි සමාජ- ආර්ථික විශේෂඥයින් පෙන්වා දුන්නේ.

එහෙත් දශක කිහිපයක් පුරා අඛණ්ඩවත්, ප‍්‍රබලවත් මේ ඉල්ලීම් ඉදිරිපත් වුවත් බොහෝ ආණ්ඩු මේ ප‍්‍රශ්නය ‘‘හිඟන්නාගේ තුවාලය ’’ කරගත්තා මිස තිරසර විසඳුමක් ලබා දුන්නේ නැහැ. ඒ වෙනුවට සිදු වුණේ ප‍්‍රගතිශීලී දේශපාලනඥයින් විසින් ඉදිරිපත් කළ ඒ සියලූ සැලසුම් කඩාකප්පල් කිරීමයි. කනගාටුදායක ලෙස මෙහිදී අඛණ්ඩව බැටකමින් සිටිනේනේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුම පමණයි.

රටක් වටින වැඩට නිමක් නැති බාධා

භූමි පුත‍්‍රයින්ට උපන් බිමේ අයිතිය ලබාදීමටඑජාපය අවස්ථා කිහිපයකදී ගත් ප‍්‍රගතිශීලි උත්සාහයන් බිඳ දැමීමට විවිධ පාර්ශ්ව ක‍්‍රියාත්මක වූ ආකාරයටම වත්මන් රජය යටතේ ද යළි ක‍්‍රියාත්මක වන ‘ සින්නක්කර ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ’’ ප‍්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනට ඍජු සහ අනියම් බාධා එල්ල වෙමින් තිබෙනවා. මේ බාධා කිරීම් කොතරම් සියුම්ව හා සැලසුම් සහගතව සිදුවෙනවාද යන්න අපට මේ වැඩපිළිවෙළ නතර කිරීම මේ වන විට අධිකරණයම ක‍්‍රියාවලියක් දක්වා ගමන් කිරීම තුළින් ම අවබෝධකර ගත හැකියි.

මේ සම්බන්ධයෙන් වන ප‍්‍රධාන බාධාව සිදුකරමින් සිටින්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනකු ඇතුළු පස්දෙනකු විනිසුයි. ඒ අනුව ඔවුන් පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකරමින් ඉඩම් ඔප්පු බෙදාදීමේ වැඩසටහන ලත් තැනම ලොප් කර දැමීමට උත්සාහා කළා. ඒ බව අදාළ දිනවල ප‍්‍රකාශයට පත් වූ මාධ්‍ය වාර්තා මගින් මනාව පැහැදිලි කරගත හැකියි.

‘‘පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තින් ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙකු මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනුකරලා තිබෙනවා.

පෙත්සම්කාර මන්ත‍්‍රීවරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම්වලින් පෙන්වා දෙන්නේ ඉකුත්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ යෝජිත රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත තුළින් බලපත‍්‍ර හිමි ඉඩම්ලාභීන්ට ඒවායේ අයිතිය පවරා දීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති බවයි. එම යෝජනා ප‍්‍රගතිශීලී ඒවා ලෙස බැලූ බැල්මට පෙනී ගිය ද ඇමෙරිකාව සමඟ ත‍්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා පිහිටුවීමට යෝජිත ආර්ථික තීරුව සඳහා ඉඩම් සම්පාදනය කර ගැනීමේ අරමුණෙන් රජය මෙම පනත් කෙටුම්පත ගෙන ඒමට සූදානම් වන බවට තොරතුරු දැන ගන්න ලැබී තිබෙන බවද පෙත්සම්කරුවෝ පෙන්වා දෙන්නේ.

ඉඩම් විෂයට අදාළ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දිවයිනේ සියලූ පළාත් සභා වලින් ඒ පිළිබඳව අදහස් ලබා ගැනීම ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව යටතේ සිදුකළ යුතු අත්‍යවශ්‍ය කටයුත්තක් වුවද එසේ පළාත් සභාවලින් අදහස් ලබා ගැනීමට රජය කටයුතු කර නොමැති බව ද මේ පෙත්සම්කරුවෝ අධිකරණයට කරුණු කියා තිබෙනවා.

ආණ්ඩුකම ව්‍යස්ථාවට පටහැනි ලෙස ඉදිරිපත් කර තිබෙන මෙම පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයකින් මූලික අයිතීන් ද උල්ලංඝණය වන බවත් පෙත්සම්කරුවෝ කියා සිටිතිග මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන්නැයි ද පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති’’

මේ සමග අදාළ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා ද සාවද්‍ය ප‍්‍රකාශයක් නිකුත් කළා. ඒ පසුගිය 09 වැනිදා ශ‍්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීයි.

‘‘පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇති රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගැසට් කරනු ලැබ ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව බවයි දයාසිරි ජයසේකර මහතා මේ මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කළේ. නැවතත් සුපුරුදු බිල්ලා මවමින් දයාසිරි ජයසේකර මහතා තවත් එකතු කිරීමක් ද කළා. ඒ මේ පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් වූ අවස්ථාවේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය නොලැබුණු බවත් ජනාධිපතිවරයා විසින් එයට සංශෝධන ගණනාවක් ඉදිරිපත් කළත් එම සංශෝධන හෝ ඇතුළත් නොකර ගැසට් කර තිබෙන බවයි. රජය විසින් අත්සන් කිරීමට නියමිතව ඇති මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අනුව ඇමෙරිකාවට හා බහුජාතික සමාගම්වලට මෙරට ඉඩම් පැවරීමේ හැකියාව ලැබෙන අයුරින් මෙම පනත් කෙටුම්පත සකස් කර තිබෙන බව ද දයාසිරි ජයසේකර මහතා එහිදී යළි යළිත් අවධාරණය කළා.
මේ තත්ත්වය අනුව මේ රටේ දස ලක්ෂයක් වන ග‍්‍රාමීය ගොවිජනතාවට, භූමි පුත‍්‍රයින්ට උපන් බිමේ අයිතිය හිමිකර දීමේ වැඩපිළිවෙළට එරෙහිව ක‍්‍රියාත්මක වන බලවේග මොනවාද යන්න සහ එහි සුලමුල අපට පැහැදිලිව හඳුනා ගත හැකියි.

ආණ්ඩුව ඇත්ත පැහැදිලි කරදෙයි

බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණේ විපක්ෂයේ සංවිධානාත්මක බාධා කිරීම් ඉදිරියේ ආණ්ඩුව සුපුරුදු විදිහට කකුලක් නෙවෙයි දෙකම පස්සට ගනී කියලා. ඒත් අග‍්‍රාමාත්‍ය කාර්යාලය ක්ෂණිකව දයාසිරි ජයසේකරගේ ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරමින් සැබෑ තත්ත්වය මනාව පැහැදිලි කරන මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.

‘‘ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉඩම් (විශේෂ විධි විධාන) පනත් කෙටුම්පතට ඇතුළත් විය යුතු යැයි නිර්දේශ කර ඇති සංශෝධන සඳහා නිතිපතිතුමාගේ උපදෙස් අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඉන් අනතුරුව එම සංශෝධන ඉඩම් අමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවේ දී පනතට ඇතුළත් කිරීම සඳහා කටයුතු කරනු ලැබේග මේ සඳහා ගරු ජනාධිපතිතුමා ගේ අනුමැතිය ලැබී ඇත. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් MCC ගිවිසුමේ එසේ විදේශිකයනට ඉඩම් පැවරීමේ හෝ විකිණීමේ කිසිම යෝජනාවක් හෝ කොන්දේසියක් ඇතුළත් වී නැත.

‘‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’’ ගිවිසුම යනු ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ආධාර ලබා ගැනීම සඳහා වන ගිවිසුමක් පමණකිග මෙහිදී අප විසින් ඉල්ලා ඇති ව්‍යාපෘති ගණනාවක් සඳහා ඇමරිකාව විසින් මුදල් ප්‍රදානයක් ලබා දෙයිග ඩොලර් මිලියන 350ක ඇස්තමේන්තු ගත ප්‍රවාහන ව්‍යාපෘති විසින් ඉදිරි වසර 20 තුළ අපේක්ෂිත ආර්ථික ප්‍රතිලාභ අනුපාතය 19‍% වන අතර ඒ මගින් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වල නගරබද හා පළාත් බද ප්‍රවාහන යටිතල පහසුකම් කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වෙයි.

අනෙක් ව්‍යාපෘතිය ඉඩම් සංවර්ධන ව්‍යාපෘතියයිග ඒ ව්‍යාපෘතිය යටතේ අප ආධාර ඉල්ලා තිබෙන්නේ ඉඩම් ලේඛනගත කිරීමල රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ධාරිතාව වැඩි කිරීමල ඉඩම් වාර්තා ඩිජිටල් ගත කිරීමල දේපල ඔප්පු හිමිකම් සහතික බවට පරිවර්තනය කිරීමල ඉඩම් ප්‍රතිපත්ති ලේකම් කාර්යාලය ඇතිකිරීම යන කටයුතු සඳහා පමණකි’’

රටක් වටින කතාවක්

විපක්ෂය සහ තවත් සංවිධානාත්මක බලවේග විසින් ඉඩම් ඔප්පු දස ලක්ෂයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ගන්නා නොනිමි වෑයම හමුවේ ආණ්ඩුව දුර්මුඛ නොවී තදින් සිටීම අනපේක්ෂිත තත්ත්වයක් බවයි මේ ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනෙක් සඳහන් කළේ. ඔවුන් එහිදී පෙන්වා දුන්නේ ආණ්ඩුව බොහෝ වර්ණවත් සහ අත්‍යවශ්‍ය වැඩසටහන් රැුසක් ඊනියා විරෝධය හමුවේ හකුලා ගත් ආකාරයේ ඉරණමක් මෙම වැඩසටහනට උරුම නොවීම සතුටට කරුණක් බවයි.

මේ සම්බන්ධයෙන් අගමැතිවරයා දරන ස්ථාවරය අගමැතිවරයා පසුගිය 07 වැනිදා අම්පාරේදී සිදුකළ ප‍්‍රකාශයෙන්ම අවබෝධ කරගත හැකියි.

‘‘මීට අදාළ කෙටුම්පත සකස් කරමින් කැබිනට් අනුමැතිය ලබාගැනීම සඳහා වසර 02ක් ගත වුණා. විවිධ බලවේග මේ සඳහා විරුද්ධත්වය ප්‍රකාශ කළා. නමුත් අවසානයේ මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා කටයුතු කර තිබෙනවා. මේ වනවිට සංවිධාන දෙකක් රටේ ජනතාවට සින්නක්කර අයිතිය ලබාදෙන්නට එපා යැයි පවසමින් මීට විරෝධය පළ කරමින් සිටිනවා. මේවා කුමන අරමුණ මත පදනම් වූ සංවිධාන දැයි තේරුම් ගත නොහැකියි. ජනතාවට අවශ්‍ය තමාගේ ඉඩමක සින්නක්කර අයිතිය ලබාගැනීමයි. මේ ප්‍රතිගාමී බලවේග ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමට අකමැත්ත ප්‍රකාශ කරනවා. ඉඩමක අයිතිය ලබාගැනීම ඔබේ හිමිකමක් බව අවබෝධ කර ගත යුතුයි. නිදහසින් පසු ඩී.එස්. සේනානායක මැතිතුමා ජනතාවට ඉඩම් ලබාදුන්නේත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මහවැලි ව්‍යාපාරය ආරම්භ කළේත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා උදාගම්මාන වැඩසටහන ආරම්භ කළේත් රටේ ජනතාවට ඉඩමක අයිතිය ලබාදීමේ වැදගත් කම අවබෝධ කර ගත් නිසයි.

ඔබට ඉඩමක අයිතිය ඇතිව ආඩම්බරයෙන් ජීවත්වීමට සලසා දීම ඔවුන්ගේ අරමුණ වුණාග නමුත් අද අපේ රජය එම වැඩකටයුත්ත ඉදිරියට කර ගෙන යෑමට උත්සාහ දරණ විට ඊට විරුද්ධව නඩු පැවරීමට මෙම සංවිධාන උත්සාහ දරණවා. රජය ජනතාවගේ පැත්තේ සිටිමින් ඔවුන්ට විරුද්ධව එම නඩුවලට ඉදිරිපත් වන බව ප්‍රකාශ කළ යුතුයි.

නමුත් ජනතාවට සින්නක්කර අයිතිය ලබාදීමට අපේ රජය ගෙන යන වැඩසටහන කිසිවෙකුටත් නතර කිරීමට නොහැකි බව මම විශේෂයෙන් අවධාරණය කරනවා. ජනතාවට සින්නක්කර අයිතිය ලබාදීම වෙනුවෙන් මහ මඟට බැස උද්ඝෝෂණ පවත්වා හෝ එම සින්නක්කර අයිතිය ජනතාවට ලබාදීමට අපි කටයුතු කරනවා. තමන්ට ඉඩමක සින්නක්කර අයිතිය ලබාගැනීමට අවශ්‍ය බවත් ඊට විරුද්ධ වන්නන්ට එරෙහිව රජය සමග පාරට බැසීමට හෝ සූදානම් බවත් බොහෝ අය මා සමග පැවසුවා.

ජනතාවගේ සින්නක්කර අයිතිය ලබාදීමේ සටන අත්හැරිය නොහැකියි. මීට පෙරත් අපේ ආණ්ඩුවක් යටතේ අවශ්‍ය නීති සම්පාදනය කරමින් ජනතාවට සින්නක්කර අයිතිය ලබාදීමට අප කටයුතු කරමින් සිටියා. නමුත් එදා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය යටතේ එය නතර කිරීමට කටයුතු කළා. නමුත් මෙවර බාහිර බලවේග වලට මෙම වැඩසටහන නතර කිරීමට ඉඩදෙන්නේ නැහැ. රට තුළ නැවත වතාවක් වැඩවසම් ආකල්පය ඇති කිරීමට අපි ඉඩදෙන්නේ නැහැ.

මේ රට දියුණු රටක් බවට පත්වීමට නම් රටේ සියලුම ජනතාවට තම ඉඩමේ සින්නක්කර අයිතිය තිබිය යුතුයි. රටේ සිටින කෝටිපතියන්ට, ලක්‍ෂපතියන්ට තිබෙන ඉඩමක අයිතිය සාමාන්‍ය ජනතාවටත් ලබාදීමට අපි කටයුතු කරනවා. ඒ අයිතිය ජයග්‍රහණය කිරීමට මහ මඟට බැසීමට හෝ අපි සූදානම් බව පැවසිය යුතුයි’’ අගමැතිවරයා මේ වැඩපිළිවෙළ මුහුණ දෙමින් සිටින තත්ත්වය සහ එයට අභියෝග කිරීමට ආණ්ඩුවේ ඇති සූදානම මනාව පැහැදිලි කළා.

වටහා ගත යුතු සත්‍ය කුමක්ද ?

රජය විසින් භූමි පුත‍්‍රයින් දස ලක්ෂයකට උපන් බිමේ හිමිකම ලබාදීමට ගන්නා මේ සාධු ප‍්‍රයත්නය බිඳ දැමීමට හෝ දුර්වල කිරීමට විවිධ පාර්ශ්ව වෑයම් කරන්නේ හුදෙක් පටු දේශපාලන අරමුණ ඉටුකර ගැනීමට බව පැහැදිලිව පෙනී යන කරුණක්. මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට අධිකරණ ක‍්‍රියාවලියක් වෙත යොමු වීම මෙහි ප‍්‍රදර්ශිත එක් ක‍්‍රියාවක් පමණයි. ඊට වඩා සියුම් හා තියුණු කඩාකප්පල් කිරීම් බිම්ගතව සිදුවන බව ඉහත සඳහන් කළ අගමැතිවරයාගේ ප‍්‍රකාශයෙන් මනාව පැහැදිලි වෙනවා. ඒ අතර ‘‘කොකටත් තෛලය’’ වන බහුජාතික සමාගම්, ඇමෙරිකානු වුවමනා එපාකම් ආදිය ද මේ වැඩසටහනට එරෙහිව දමා ගසන විට සියල්ල අතහැර ආණ්ඩුව පසුබසිනු ඇති බවයි මේ දේශපාලන අවස්ථාවාදීන්ගේ උපකල්පනය වී ඇත්තේ.

එනිසා මේ අවස්ථාවාදය තීරණාත්මකව පරාජය කිරීමට අගමැතිවරයා ගන්නා ප‍්‍රවේශයට ශක්තියක් වීම මේ අවස්ථාවාදය පරාජය කිරීම සඳහා වන තීරණාත්මක ශක්තිය බව අපගේ විශ්වාසයයි.

මෙම ලිපියේ මුලින්ම සඳහන් කළ ආකාරයට ‘‘යමක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු’’ යැයි කීවාක් සේ මේ රටේ භූමි පුත‍්‍රයින් දස ලක්ෂයකට උපන් බිමේ සැබෑ හිමිකම පවරා දෙන මේ වැඩපිළිවෙළ මගින් යම් දේශපාලන හෝ සමාජයීය වටිනාකමක් ලැබිය යුතු අයෙක් සිටී නම් ඒ වටිනාකම ද ඔහුට හෝ ඔවුන්ට හිමිවිය යුතු ආකාරයෙන්ම එය කඩාකප්පල් කිරීමට තැත් කරන පුද්ගලයින්ට ද සුදුසුම දේ හිමිවිය යුතුයි.

Recommended For You

About the Author: Editor