මෙන්න තවත් අපකීර්තිමත් වාර්තාවක් : මුඛ පිළිකාවෙන් World Cup එක ලංකාවේ පිරිමින්ට

ප‍්‍රධාන හේතුව බුලත්විට කෑම සහ දුම්පානයයි

මැලේරියාව, සරම්ප ආදි රෝග රටින් තුරන් කරමින් ජාත්‍යන්තර තලයේ ඉහළට ඔසවා ඇති ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය අපකීර්තිමත් ලෙස පහළ හෙළමින් ‘මුඛ පිළිකාවට’ ගොදුරු වන පිරිමින් සිටින ලෝකයේ අංක 01 රට බවට ශ‍්‍රී ලංකාව පත්ව තිබෙන බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පසුගිය දා හෙළි කළා.

ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා හා සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්ෂික සෞඛ්‍ය දර්ශකය මගින් මෙම තත්ත්වය පෙන්වා දී ඇති බවයි වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පෙන්වා දෙන්නේ.

දුම්කොළ සමග බුලත්විට කෑම මුඛ පිළිකා අවදානම ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අබේකෝන් මහතා සඳහන් කළේ සාමාන්‍ය ආයු අපේක්‍ෂාව සම්පූර්ණ වීමට ප්‍රථම එනම් වයස 75ට අඩු පිරිමි පුද්ගලයන් 22,000ක් පමණ දුම්පානය හේතුවෙන් වාර්ෂිකව මිය යන බවත් 2017 දත්ත වාර්තා අනුව ශ්‍රී ලංකාව තුළ දුම්පානය කිරීමේ පිරිමි ප්‍රතිශතය සියයට25කට වැඩි අගයක් ගන්නා බවත්ය.

මෙහිදී බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා පෙන්වා දුන්නේ දුම්කොළ භාවිතයෙන් වැළඳෙන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ශ්‍රී ලංකාව විසින් වාර්ෂිකව රුපියල් බිලියන 200ක් පමණ වැය කරන බවයි.

ශ්‍රී ලංකාව තුළ දුම්වැටි විකිණීමෙන් තොර නගර 150ක් මේ වනවිට බිහිකර ඇති බවත් ඊට සමගාමීව දුම්වැටි විකිණීමෙන් තොර තවත් නගර බිහිකිරීම සඳහා පසුබිම් සකස් කරමින් පවතින බවද සිරිවර්ධන මහතා කියා සිටියා.

මෙහිදී දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පෙන්වා දෙන්නේ දුම්වැටි දුමෙහි විෂ වර්ග 4000ක් සහ පිළිකා කාරක 43ක් අඩංගු වන බවයි. ඒ අනුව පෙණහළු, මුඛ, ස්වරාලය, උගුර, ගලනාලය, මුත්‍රාශය, වකුගඩු, අග්න්‍යාශය, අක්මාව හා ගැබ්ගෙළ ආශ්‍රිත වැළෙඳන පිළිකා මෙන්ම ලිංගික බෙලහීනතාවද, එසේම එම්ෆිසීමා, ඇදුම, බ්‍රොන්කයිටීස්, පෙණහළු ආසාදනය මෙන්ම හුස්ම ගැනීම අපහසු කරවන දීර්ඝ කාලීනව පවතින පෙණහළු රෝගී තත්ත්වයන්ද ඇතිවිය හැකි බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

මේ අතර දුම්පානය නොකළත් ‘අක‍්‍රිය දුම්පානය’ නිසා සිදුවන සෞඛ්‍යමය හානි ද මෙහිදී අවධාරණය වුණා.

අක්‍රීය දුම්පානය හෙවත් කිසිවිටෙකත් දුම් පානය නොකළද දුම්පානය කරන අයෙකු විසින් පිට කරනු ලබන දුම්කොළ දුමට නිරාවරණය වීම හේතුවෙන් ගර්භිණී කාන්තාවන් ගබ්සා වීම හෝ අඩු උපත් බර දරුවන් බිහිවීම, හෘද රෝග ඇතිවීම, ශරීරයේ බොහෝ ඉන්ද්‍රියවල පිළිකා ඇතිවීම, පෙණහළු රෝග ඇතිවීම මෙන්ම මෙනින්ජයටීස් වැනි තත්ත්වයන් ඇතිවීම ඇතුළු තවත් රෝග ගණනාවකට ගොදුරු වීමේ අවදානමක් පවතින බවයි මෙහිදී හෙළි වුණේ.

මීට දශක කිහිපයකට පමණ පෙර බුලත්විට කෑම ග‍්‍රාමීය ජනයා අතර බහුල වශයෙන් දැකිය හැකි වුවත් එය මේ වන විට නාගරික මධ්‍යම පාන්තිකයින් අතර මෙන්ම තරුණයින් අතර ද බෙහෙවින් ප‍්‍රචලිත වී තිබෙන බව පහසුවෙන් දැකගත හැකියි.

Recommended For You

About the Author: Editor