Weekend Special: දැන් ඉතින් මිරිස් දීල ඉඟුරු ගනිමු: ලොවම ඉල්ලද්දී අපිට එපාවූ ඉඟුරු වගාව

හෙළ වෙදකමේ ඉඟුරු භාවිතය ලොව පුරා සනාථවෙලා/ පළමු එලිසබෙත් සමයේදීත් රජ බොජුන් වල ඉඟුරු විස්කෝතු/ විද්‍යාගාර මීයන්ගේත් ‘බ්ලඩ් ප්‍රෙෂර්’ ඉඟුරු ඉස්මෙන් පහලට/ 2015 වනවිට අපි ස්වයංපෝෂිත මට්ටමට ඉඟුරු වැව්වා

සනත් එම්. බණ්ඩාර

B.Sc.(Botany), M.Sc. (Systematic Botany) UPLB​Assistant Director of Agriculture National Agriculture Information and Communication Center Gannoruwa, Peradeniya

පසුගිය සතියක ලියූ ‘මුතු මෙනේරි’ ලිපියේදී ‘අමු’ බෝගය ගැනද සඳහනක් කෙරුවෙමි. එහි මා විසින් ලියනු ලැබුවේ විද්‍යාගාර පර්යේෂණ මට්ටමෙන් ‘අමු’ සාරය හමුවේ පිළිකා සෛල නැසෙන බව සනාථ වී ඇති බවයි.

ඉතා ඕනෑකමින් මේ ලිපි කියවන පාඨකයෙක් හනි හනිකට විද්‍යුත් තැපෑල හරහා මගෙන් විමසා තිබුනේ ‘අමු කාලා වගේ’ නමැති යෙදුමක් සිංහලයේ පවතින බැවින්, පිළිකා නසන ගුණය පැත්තකින් තිබියදී, අමු කෑමෙන් යම්කිසි අගතියක් සිදුවිය හැකිද යන්නය.

ඔහුගේ කතාවේද ගතයුත්තක් ඇත. ‘අමු’ යනු එතරම් සුලභ ධාන්‍ය වර්ගයක් නොවේ. පැරණි ගොවියාගේ  මිශ්‍රබෝග වවන ලද වියලි කලාපීය හේනේ, සුළු බිම් කඩක් අමු වලටද වෙන්වී තිබිණ. අනුභවය සිදු වූයේද ඊටම සමානුපාතිකවය.

පැරැන්නන් ඕනෑම දෙයක් ඕනෑවට වඩා කෑවේ නැත. හැමදාම එකම දෙය කෑවේද නැත. මන්දයත් පරිසරයේ තිබූ විචිත්‍රත්වය හා විවිධත්වය ඔහුගේ ගොවිපොලේද අඩුවක් නැතිව තිබුණු බැවින් ‘අමු’ කෑම උනත් ඔවුන් සිදුකලේ සීමා සහිතවය. කන්නන් වාලේ අමු ධාන්‍යය වැඩිපුර කෑවොත්නම් ඇතිවෙන මත් ගතිය නිසා එතැන් සිට සිහිමුලා තත්වයක් ඇතිවෙන බවද පැරැන්නන් අත්දැකීමෙන්ම දැන සිටි නිසා මෙවැනි කියමනක් නිර්මාණය වී තිබේ.

‘ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ’ කියන්නේද එම ආහාර දෙකෙහිම ඇති අගුණ පැත්ත පෙන්නන්නට මිස හොඳක් ඉස්මතු කරන්නට නොවේ. දෙකම සැර ද්‍රව්‍ය වේ. මිරිස් වඩාත් සැරය. පොඩි කරදරයක් බැහැරකර ඒ වෙනුවට ලොකු කරදරයක් ලංකර ගැනීමේ සිද්ධියක් මෙම යෙදුම හරහා ඉස්මතුවේ.

පැරණි උපමාවේ අර්ථ විග්‍රහය කුමක් වුවත්, නවීන විද්‍යාත්මක සොයාගැනීම් වලට අනුව ‘පොඩි කරදරකාරයා’ ලංකරගෙන සිටීම හරහා නම් ලබන්නේ සැනසිල්ලකි. අනාදිමත් කාලයක සිට ලාංකික වෙදගෙදරත්, මුළුතැන්ගෙය තුලත්, සුලු ඉඩක් වෙන්කරගෙන සිටි ඉඟුරු ගැන අප කතාකල යුත්තේ ශ්‍රී ලාංකික විද්වතුන් දෙදෙනෙක් විසින්ම විදෙස් රටකදී සිදුකල දැවැන්ත පර්යේෂණ ශ්‍රේණියක් හරහා අපගේ අතීත දැන උගත්කමේ සහ හෙළ වෙදකමේ දීප්තිය ලොව හමුවේ තවදුරටත් සනාථ වී ඇති බැවිනි.  

පෘතුගීසීන් මෙරට පාලනය කරන සමයේදී එනම් 16 වෙනි ශතවර්ෂය ගෙවෙද්දී එංගලන්තයේ විසූ පලමුවෙනි එලිසබෙත් මහ රැජිනගේ ප්‍රියතම ආහාරයක් වූයේ ඉඟුරු වලින් සෑදූ රසකැවිල්ලකි. ඉංග්‍රීසියෙන් එය ජින්ජර් බ්‍රෙඩ් (Ginger bread) කියූවත් එය ඉඟුරු යොදා සාදන ලද පාන් වර්ගයක් නම් නොවේ. විස්කෝතු වර්ගයකි. විශේෂ කරුණ වන්නේ මිනිස් හා සත්ව රූප හැඩයට සකස් කරන ලද මේ විස්කෝතු රාජ භෝජන සංග්‍රහයන්හිදී ඇයට නැතුවම බැරි අංගයක් වීමය.

රජගෙදර තත්වය එසේ වෙත්දී එංගලන්තයේ ගම්බද පෙදෙස් මේ විස්කෝතුවෙන් හැඩවැඩ වූයේ වෙනත් විධියකටය. ග්‍රාමීය ජන වෙදකම පවත්වාගෙන ගිය, අද කාලයේ හැටියට ‘කට්ටඩියන්’ සේ හැඳින්විය හැකි සුද්දන් විසින් ඉඟුරු විස්කෝතු පිළියෙළ කර ඇත්තේ ඉනා බෙහෙතක් වශයෙනි. එහිදී සිත්ගත් තරුණයාගේ නමට කැපකළ ඉඟුරු විස්කෝතු කීපයක් අදාළ තරුණියට දෙන්නේ කුමන මායමක් හෝ දමා සිහින කුමරාට එය කවන්නටය. කවා ගත්තොත් කටයුතු එතැනින් අහවර බව කියවේ. තමාට වශීවී පසුපස එන ගැටවරයාව කළමනාකරණය කරගැනීම එතැන් සිට ඇයට භාරය.

ජින්ජර් බ්‍රෙඩ් මෑන් යනුවෙන් සුරංගනා කතා පවා බිහිවී ඇත්තේ මෙවැනි පසුබිමක් තුලයි. වයස්ගත යුවලක්, මිනිස් රූපයක හැඩයට නිමවා උදුනට දැමූ විස්කෝතුවකට පන ලැබී, උදුනෙන් බැස කැලයට දිවූ බවත්, අවසානයේ නරියෙකුට ගොදුරු වීමත් පොඩිත්තන් ඇස් උඩ ඉන්දාගෙන අසන රස කතාවකි. මෙරටදී පවා ‘ඉඟුරු පාන් ළමයා’ හෝ ‘ඉඟුරු පාන් මල්ලී’ යනුවෙන් ප්‍රකාශයට පත්වූ මෙම කතාව දරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය විය.

“ඉඟුරු කියන්නේ වටිනා බෙහෙතක්. ලෝකය පුරා මෙහි ගුණාගුණ විමසලා තියෙනවා. අපේ රටේත් අතීතයේ සිටම මෙය ආහාරයක් සේම බෙහෙතක් ලෙසත් භාවිතා උනා. ඖෂධීය ගුණය සනාථ කරගැනීම සඳහා අපි කැනඩාවේදී පර්යේෂණ ගණනාවක් කෙරුවා. ප්‍රතිපල හුඟක් සාර්ථකයි.”

ඉඟුරු වරුණ පවසන්නට කතාබහට එක්වූ, වයඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ආචාර්ය ප්‍රසන්න ගුණතිලක මීට වසර කීපයකට පෙරාතුව තම ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ගොස් සිටියේ කැනඩාවේ ඩල්හවුසි විශ්ව විද්‍යාලයටයි.

මෙම කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන එහි සිටි ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු කෘෂිකර්ම පීඨය තුලදී ඔහුට මුණගැසෙන්නේ මේ අතරතුරය. ඔහු මහාචාර්ය වසන්ත රූපසිංහය. පර්යේෂණයන්ට අඩිතාලම දැමෙන්නේ මේ දෙදෙනාගේ සුසංයෝගයෙනි. එසමයෙහි උතුරු ඇමරිකානු ප්‍රදේශයෙන් ඉඟුරු වලට ඇති ඉල්ලුම වැඩිවෙමින් තිබුනේ ප්‍රධාන වශයෙන්ම ආහාරයක් ලෙස නොව බෙහෙතට පාවිච්චි කරන්නටය. ඒ නිසා පර්යේෂණයන්ට අවශ්‍ය අනුග්‍රාහක දායකත්වය ඉහලින්ම ඔවුන් වෙත ලැබුණි.

ඉඟුරු තුල ක්‍රියාකාරී සංයෝග රාශියක් තිබේ. ඉන් ප්‍රධාන වන්නේ ෆීනෝලික සංයෝගයක් වන ‘ජින්ජරෝල්’ ය. අමු ඉඟුරු වලට ආවේනික සුවඳ හා රසය ලබාදීමට හේතුවෙන ජින්ජරෝල්, තාපය හමුවේදී ෂොගෝල් නමැති තවත් ෆීනොලික සංයෝගයක් බවට පත්වේ. එය වනාහී ජින්ජරෝල්හි විජලන අවස්ථාව සේ සැලකිය හැකිය. වෙනත් ඇතැම් ඖෂධයන් මෙන් තාපය හමුවේ විනාශ නොවී ෂොගෝල් හැටියට හෝ තම මෙහෙවර ඉටුකරන්නට මෙම සංයෝගයන්ට හැකියාව තිබේ. එය එසේනම් ඉඟුරු තේ කෝප්පය දුම් දැම්මාට එහි ගුණයේ අඩුවක් වන්නේ නැත. බීම අතරතුර ඉඟුරු කැබලි ටික හපා ගිලින්නේ නම්, තවත් ගුණදායක වනු ඇතැයි ආචාර්ය ප්‍රසන්න පවසන්නේ, ඒ හරහා ඉතිරිවූ ෂොගෝල් මෙන්ම තන්තු යම් ප්‍රමාණයක්ද ශරීර ගතවෙන බැවිනි.

පර්යේෂණය සඳහාද යොදාගෙන ඇත්තේ එක්තරා විශේෂිත මීයන් වර්ගයක්ය. උන් ඉපදී ටික දිනක් යනවිට ස්වාභාවිකවම දේහ රුධිර පීඩනය ක්‍රමයෙන් ඉහල නැගීම මෙම විශේෂත්වයයි. රුධිර පීඩනය පාලනය කිරීමේ බෙහෙත් වර්ග අත්හදා බැලීම සඳහා මේ සතුන් උපයෝගී කරගනී. එකෙකුගේ බර ග්‍රෑම් 200-250 ක් අතර ප්‍රමාණයේ වූ මීයන් 60 දෙනෙක් යොදා ගනිමින් ඔවුන් තම එක් පර්යේෂණයක් සැලසුම් කර තිබේ.

“අපි කැනඩාවේ තියෙන පලතුරු යුෂ ජාති, ඇපල් යුෂ ආදිය එකතුකරලා විශේෂ බීමක් හැදුවා. ඒකට ඉඟුරු ඉස්ම කලින් තීරණය කරගත් ප්‍රමාණයකුත් එකතු කළා. මේ බීම තමයි මීයන්ට දුන්නේ. දින 40ක් පමණ දිගටම දුන්න. සති දෙකක් පමණ යනකොට වැඩිවෙමින් තිබුන රුධිර පීඩනය පහල බැස්සා. ඒ වගේමයි අහිතකර කොලෙස්ටරෝල් (LDL). මිනිස්සුන්ට මේකත් ලොකු ප්‍රශ්නයක්නේ. දින 40 අවසානයේදී මීයන්ගේ රුධිරයේ LDL ප්‍රතිශතයත් අඩුවෙලා.”

 පැරණි සමාජය මහසෝනාට රීරියකාට කෙතරම් බයද, අද ජීවත් වන්නවුන් අහිතකර කොලෙස්ටරෝල් වලට ඊටත් වඩා බයවී සිටී. LDL රුධිරවාහිනී තුල වැඩි වැඩියෙන් සංසරණය වෙමින් කලක් පවතින විට, ඒවා රුධිර නල බිත්තියේ ඇතුලතින් තැන්පත් වෙමින් හෘදරෝග ඇතිකරන බව බොහෝ දෙනා දන්නා කාරණයකි. මෙම තැන්පත්වීමට හේතුව රුධිරය තුලදී අහිතකර කොලෙස්ටරෝල්, මුක්ත ඛණ්ඩ මගින් ඔක්සිකරණයට භාජනය වීමයි. දේශීය පලාකොල වලින් මෙම මුක්ත ඛණ්ඩ වනසා දැමීමට සමත් ෆීනෝලික සංයෝග නොහොත් ප්‍රතිඔක්සිකාරකයන් මුදාහරින ආකාරය පෙර ලිපියකදී පෙන්වාදෙන ලද බැවින් ඒ ගැන නැවත කිවයුතු නැත.

මෙම විද්වත් දෙපල විසින් ඉඟුරු ග්‍රෑම් 25 ක් වතුර මිලිලීටර් 100 ක දියකර සාදාගත් ද්‍රාවණයක් සමග LDL මිශ්‍රකර, පරීක්‍ෂණ නල තුලදී පවා මෙම ඔක්සිකරණය සිදුවෙන ආකාරය කෘතිමවත් පිරික්සා තිබේ. ප්‍රතිපලය ආශ්වාද ජනකය. LDL ඔක්සිකරණය 40% කින් පමණ අඩුවී ඇත. මීට හේතුවද ජින්ජරෝල් ය. එයද කලින් සඳහන් කල ආකාරයේ ෆීනෝලික සංයෝගයක් බැවින් LDL ඔක්සිකරණයට බාධා පැමිනුවා විය හැකිය. ව්‍යාංජනයට එකතුකළ ඉඟුරු කැබැල්ලෙන්, සාරවිටත් සමග හැපෙන ඉඟුරු පියල්ලෙන්, ඇඟට නොදැනීම ශරීර ගතවෙන ජින්ජරෝල් හෝ ෂොගෝල් විසින් අනාදිමත් කාලයක සිට ලොකු වැඩක් කර ඇතිබව නම් දැන් ඉතින් පැහැදිලිය.

තමා කියවා අධ්‍යනය කල පයේෂණ වාර්තා කීපයක්ද ආචාර්ය ප්‍රසන්න විසින් ඉදිරිපත් කරනු ලැබුවේ ඉඟුරු සැර තවත් වැඩි කරන්නටය.

“දියවැඩියාව ගැන මේ රටේ අයට අමුතුවෙන් කියලදෙන්න ඕනෙ නෑනේ. මෙය ගෝලීය වසංගතයක්. ජීවීන්ගේ රුධිරගත සීනි පාලනය කරන්න ඉන්සියුලින් කියන හෝමෝනය ඇඟේ නිපදවෙනවා. දියවැඩියාව හැදෙන්නේ හෝමෝනය නිපදවීම අඩාල වෙනකොට. රසායන ද්‍රව්‍යයක් යොදල මීයන්ගේ ඉන්සියුලින් නිපදවෙන සෛල විනාශ කලවිට උන් දියවැඩියා සහිත සතුන්. ඉන්පසු දේහ බර කිලෝවකට මිලිග්‍රෑම් 500 තරමට වෙන්න ඒ සතුන්ට ඉඟුරු ඉස්ම ලබා දුන් පර්යේෂකයින් දැකල තියෙනවා මීයන්ගෙන් 68% දෙනෙකුගේ රුධිරගත සීනි මට්ටම පහල බහින බව. එහෙනම් ඇතැම් සාම්ප්‍රදායික වෙදකම් වල දියවැඩියාවට බෙහෙතක් හැටියට ඉඟුරු භාවිතාකිරීම අපට විද්‍යාත්මකව සාධාරණීකරණය කරන්නට පුළුවන්.”

ටෙට්‍රාසයික්ලීන් තරමක් ප්‍රබල ප්‍රතිජීවකයකි. බැක්ටීරියා ආසාදනයක් වූ තැනදී, එතනට උචිත නම් වෛද්‍යවරු මෙම ප්‍රතිජීවකය නිර්දේශ කෙරුවත්, ඇතැම්විට හිතකර ප්‍රතිපල ලැබෙන්නේ නැත. ඊට හේතුව වන්නේ බැක්ටීරියා ප්‍රභේදය ටෙට්‍රාසයික්ලීන් වලට ප්‍රතිරෝධීවෙමින්, විනාශ නොවී දිගටම පැවතීමයි. එක්තරා චීන පර්යේෂකයින් පිරිසක් 2010 වසරේදී ඉඟුරුවල ඇති ක්‍රියාකාරී ජින්ජරෝල් සංඝටකයන් වෙන්කරගෙන කල මූලික පරීක්ෂණයකින් සනාථවී ඇත්තේ ටෙට්‍රාසයික්ලීන් වලින් මරන්නට නොහැකිවූ ඇතැම් බැක්ටීරියා නැසීමේ හැකියාවද ඉඟුරු සංයෝග වලට ඇති බවයි. මෑත කාලයේදී අපිරිසිදු හා අවිධිමත් ආහාර පරිහරණයන් හා සම්බන්ධව නිතර අසන්නට ලැබෙන සැල්මොනෙල්ලා හා ඊ කෝලයි යන බැක්ටීරියාද, ඉඟුරු යුෂ හමුවේ විනාශවන බවට තහවුරු වූ පර්යේෂණ වාර්තාද විරල නැත. මේ සනාථ වන්නේ අපගේ වැඩිහිටියන් සුළු උදරාබාධයකටත් ඩිස්පෙන්සරියට දුවන්නේ නැතිව, ඉඟුරු ඉස්ම ටිකකින් එය සමනය කරගත් සාම්ප්‍රදායික ක්‍රමවේදයේ තාත්වික බව නොවේද ?

බැක්ටීරියා නසන්නට ඉඟුරු සතු ශක්තිය ගැන කියන විට එහි ඇති ප්‍රතිප්‍රදාහ ගතිගුණය ගැනද සඳහනක් නොකෙරෙන්නේ නම් විශාල අඩුවකි. මිනිස් සිරුර තුල ඉතා ප්‍රබල මට්ටමෙන් ආරක්ෂක යාන්ත්‍රණයක් ක්‍රියාත්මකවේ. සිරුරට අහිතකර ක්ෂුද්‍රජීවියෙක් හෝ බාහිර ද්‍රව්‍යයක් අතුලුවූවායයි හෝ අඩු තරමින් ශරීරය හා අනවශ්‍ය හානිකර යමක් ස්පර්ශවූවායයි ‘බුද්ධි අංශයන්’ වෙත තේරුම් ගිය වහාම යවනු ලබන අනතුරු හැඟවීම් මත කඳවුරු කීපයක් ඔස්සේ ආරක්ෂණ යාන්ත්‍රණයන් සිරුර තුල ක්‍රියාත්මක වෙන්නට පටන් ගනී. මේදිනවල සුලභව අසන්නට ලැබෙන ආකාරයෙන්, පණිවිඩය නොසලකා හැරිබව හැඟවෙන පසු චෝදනා වැනි දෑ මෙම ශරීර කූඩුව ඇතුලේ නැත. නඩු හෝ උසාවිද නැත. පළමුව සිදුවන්නේ බාහිර සතුරා හා සටනට සුදුසු භට පිරිස් බලය සංඛ්‍යාත්මකව වැඩි කිරීමයි. රුධිරයේ තිබෙන ‘සුදු රුධිරානු’ නමැති සෛල වර්ග කීපයක් මේ අනුව වැඩිවෙන්නට පටන් ගනී. ඇතැම් විට බැක්ටීරියාවන් වැනි සතුරන් ගිල දමමින් පවා ඔවුහු සටන් කරති.

යුද්ධයක් දිගුකාලීනව පැවතීමේදී යුද පෙරමුණේ සිදුවන හානියට අමතර හානියක් සමස්ත සමාජය තුලද සිදුවන්නා සේ, දේහය තුල, යම් ස්ථානයක ඇරඹුණු මේ සටන කලක් තිස්සේ ඇදී යන්නේ නම් ඒ අසල තිබෙන නිරෝගී දේහ පටක වලටද හානි පැමිණීම ‘ප්‍රදාහ’ තත්වයක් යයි හැඳින්විය හැකිය. වේදනාව, තාපය, රතුවීම, ඉදිමීම, ක්‍රියාව අඩපණවීම යනාදිය මෙසේ සිදුවෙන ප්‍රදාහයන්ට උදාහරණ කීපයකි. නොසලකා හැරියහොත් අවසන් ප්‍රතිපලය ඇදුම, ආත්‍රයිටීස්, නිදන්ගත ආමාශයික තුවාල, තවත් එහාට යන්නේ නම් පිළිකා ආදී බරපතල තත්වයකින් කෙලවරවීම විය හැකිය. මේ නිසා නූතන විද්‍යාව මගින් ‘ප්‍රතිප්‍රදාහ’ බෙහෙත් වර්ග නිපදවා තිබේ. අපගේ පැරැන්නන් ඉඟුරු යුෂය සතු ප්‍රතිප්‍රදාහ ගතිගුණය දැනගෙන සිටියේ මේ හැමටම කලින්ය.  පාරම්පරික වෙදකමේ පරිනතභාවයට මෙය තවත් හොඳ සාක්ෂියකි.

“ඉඟුරු වල තිබෙන ඇතැම් සංයෝගත්, නවීන විද්‍යාවෙන් නිපදවා ඇති ප්‍රතිප්‍රදාහ ඖෂධත් අතර සමානතා තිබෙනවා. ඒ මගින් සනාථ වෙනවා අපේ පාරම්පරික වෙදකමේදී බෙහෙතක් වශයෙන් ඉඟුරු යොදාගැනීමේ පිළිවෙත. සතුන් යොදාගෙන ලොවපුරා කර තිබෙන පර්යේෂණ වලිනුත් මේ බව පැහැදිලි වෙනවා. ආත්‍රයිටීස් එක උදාහරණයක්. ඉන්දීය පර්යේෂකයින් පිරිසක් මෙය වාර්තා කර තිබෙනවා. ඔවුන් භාවිතා කර තිබෙන්නේ ඉඟුරු හා කහ ඉස්ම. ඉඟුරු පර්යේෂණයේදී ආත්‍රයිටීස් සාදවන ලද මීයන්ට දේහ බර කිලෝවකට මිලිග්‍රෑම් 200 ක් වෙන්න දිනපතා ඉඟුරු දීල තියෙනවා. ආත්‍රයිටීස් තත්වය අඩුවෙලා.”

ආචාර්ය ප්‍රසන්න තම විස්තරය එසේ නිමා කරද්දී මා මුණගැසුනේ කලක් ඉඟුරු වැව්වත් පසුව එය අතහැර දැමූ ගොවි මහතෙකි. ඔහු කලකිරීමෙන් වාගේය. හෙතෙම නියෝජනය කෙරුවේ මැල්සිරිපුර ප්‍රදේශයයි. එය වනාහී කලක් යහමින් ඉඟුරු වගාකළ ප්‍රදේශයකි.අපගේ වාර්ෂික ඉඟුරු  අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 18000 ක් පමණය. 2007 වසරෙන් පටන්ගෙන ක්‍රියාත්මක වූ අපි වවමු රට නගමු වැඩසටහන යටතේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඉඟුරු ගොවියා නගා සිටුවීම සඳහා කිලෝවකට රුපියල් 60 බැගින් හෙක්ටයාරයකට කිලෝ 1200 ක් දක්වා බීජ සහනාධාරයක් ලබාදීම නිසා ගොවීහු ඉඟුරු වගාවට සමීපවූහ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල්සිරිපුර ප්‍රදේශයේත්, ගම්පහ දිස්ත්‍රික්කයේත් වැඩි වැඩියෙන් ‘ඉඟුරු වතු’ බිහිවිය. 2015 පමණ වනවිට දේශීය වාර්ෂික ඉඟුරු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 17500 තරමේ අගයකට පැමිණි අතර අප ඉඟුරු වලින් ස්වයංපෝෂිත යයි කියන්නට උගුර පෑදුවා පමණි. සහනාධාර වැඩපිළිවෙල නතර විය. මැල්සිරිපුරෙන් ඇසුනේ එවැනි නෝක්කාඩුවක්ය.

2015 න් පස්සේ සහනාධාර වැඩසටහන නැවතුනා. පිට රටින් ඇති තරමට ඉඟුරු ගෙනාව. ඉන්දියාවේ ඉඳල අල, ළූණු එහෙම ගේන කන්ටේනර් ඇතුලේ දාගෙන හොරෙනුත් ඉඟුරු ගෙනාව කියල අපිට ආරංචි උනා. මේ නිසා අපේ නිෂ්පාදන වලට මිලක් ලැබුනේ නෑ. හුඟක් ඉඟුරු ගොවියෝ ගොවිතැනෙන් ඈත් උනා”

 පොඩි වලාකුලකට හිරු සඳු දෙකම සැඟවිය හැකියයි කීවේ ෂේක්ස්පියර් ය. කවුරුන් විසින් ගත්තාදැයි අප නොදන්නා, ඒ ගැන දැන් ඉතින් විපරම් කිරීමේ අවශ්‍යතාවයක්ද නොවනා, ස්වයංපෝෂණ සීමාවට ඔන්න මෙන්න තිබියදී සහනාධාරය නවතා දැමීම වනාහී පොඩි වලාකුලක් වැනි දෙයක් වුවත්, ගොවි මහතා කියනා පරිදි සිදුව ඇති හානිය නම් රටේ බෝග නිෂ්පාදනය පැත්තෙන් බලන කල නොසලකා හැරිය හැකි නොවේ. මේ වනවිට ලෝබ නැතිව රුපියල් මිලියන 260 කට අධික වියදමක් වාර්ෂිකව දරමින් අප පිටරටින් ඉඟුරු අල ගෙන්වන්නෙමු. 2017 වසරේදී පමණක් අමුඉඟුරු මෙට්‍රික් ටොන් 1732 ක් ආනයනය කර ඇත.   

ඉඟුරු සම්භවය ලබා ඇත්තේ දකුණු ආසියාතික ප්‍රදේශයන්හි බව විශ්වාස කෙරේ. මිනිසා විසින් දිගින් දිගටම හොඳ වර්ග කියා කොටසක් වෙන්කර ගනිමින් තේරීමකට හසුකළ නිසා, මෙම පැරණි බෝගයේ වල් දර්ශ යනුවෙන් ශාක කොටසක් දැන් ඉතිරිව නැත. එනම් ඉඟුරු වල මුතුන්මිත්තෝ සියල්ල මේ වනවිට වඳවී ගොසිනි.

මවුබිමට ඇති උරුමය නිසාදෝ දැනට වැඩිපුරම ඉඟුරු වවන්නේ ඉන්දියාවයි. ඒ ලෝක නිෂ්පාදනය වූ මෙට්‍රික් ටොන් මිලියන 3.3 (2016 වාර්තා අනුව) ප්‍රමාණයෙන් 34% ක පමණ කොටසකි. නිෂ්පාදනය අතින් මීළඟට ඉදිරියෙන් ඉන්නේ නයිජීරියාව, චීනය, නේපාලය ආදී රටවල්ය. ඉඟුරු වැවෙන පසක්, දේශගුණයක්, අතුරු බෝගයක් ලෙස ඉඟුරු වවන්නට ඇතිතරම් පොල්වතුත්, ඇති ශ්‍රී ලංකාව නම් මේ අහල මානයකවත් නැත. ස්වීඩනයේ පිහිටි IKEA නමැති ලීබඩු සමාගම විසින් නොර්වේ රටේ ඔස්ලෝ අගනුවරදී ලොව ලොකුම ‘ජින්ජර් බ්‍රෙඩ්’ එක 2009 නොවැම්බර් 9 වෙනිදා සෑදූ බව ගිනස් වාර්තා සඳහන් කරයි. එහි බර කිලෝග්‍රෑම් 651 කි. ලෝකයේ ‘ලොකුම’ ‘හොඳම’ ආදී පට්ටම් ලබාගැනීමේ පිපාසිත බලධාරීන් මෙම වාර්තාව බිඳිමුයි කියා සිතමින්වත්, දේශීය ඉඟුරු නිෂ්පාදනය ප්‍රවර්ධනයට යලි අත ගසන්නේ නම්, මැල්සිරිපුර ‘ඉඟුරු (පාන්) මල්ලී’ගේ සෝචනීය කතාවේ අවසානය, ඉදිරියේදී වෙනත් විධියකින් ලිවීමට අපට හැකිවෙනවා ඇත.

Recommended For You

About the Author: Editor