ඉදිරි ජනපතිවරයා තීරණය කරන්නේ පාක්ෂිකයින් නොව 50 ලක්ෂයක් වන නිර්පාක්ෂිකයින් – ඇමති චම්පික රණවක

අද මේ රටේ තිබෙන ලක්ෂ 160ක ඡන්දයෙන් ලක්ෂ 50ක් නියෝජනය කරන්නේ කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති දැන උගත් පුරවැසියන් විසින් බවත් අනාගත ජනපතිවරයා පිළිබඳ තීරණය ද ඔවුන් විසින්ම ගනු ඇති බවත් ඇමැති චම්පික රණවක මහතා පැවසීය.

මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ ගාල්ල කොටුවේ, ගෝල් දි ගොල් ශාලාවේ පැවැති ජාතික මග ගාල්ල සමුළුවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, 

මේ රටේ ජනාධිපතිවරණයක්  ඕනේ නම්, ඒ ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෝ  ඕනෙනම් ඒ සඳහා මේ සාමාන්‍ය පෙළ, උසස් පෙළවත් සමත් නැති පවුලේ සාමාජිකයෝ හතරපස් දෙනෙක් එකතු කරගෙන ඡන්දයක් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒ ගොල්ලො මේ රටේ දැන උගත් සමාජයට කරන බලගතු අවමානයක් අපහාසයක්.

අද මේ රටට මොකද්ද  ඕනේ. මේ රටට අවශ්‍ය අද අපේ ජාතික ආරක්‍ෂාව තහවුරු කරන වැඩපිළිවෙලක්. ඒ වගේම සමාජ සාමය, මේ රට හදන්න, රට රකින්න විතරක් නෙමෙයි රට නිවන්න පුළුවන් සමාජ දේශපාලන බලවේගයක්. ඒ වගේම අපේ ණය බර තුරන් කරලා අපේ රට ණය නැති රටක් බවට පරිවර්තනය කරන්න පුළුවන් ආර්ථික කි‍්‍රයාදාමයක්. ඒ වගේම රටේ ජනතාවට යුක්තිය සාධාරණය ඉටුවන නිපුණතාවයට, කුසලතාවයට මුල්තැන දෙන  රටේ යුක්තිය සාධාරණය, නීතිය ඉටුවන අවංකත්වය රජයන සමාජයක්. වාද විවාදවලට, මතවාදවලට පැටලෙන්නේ නැතිව රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන ඉදිරියට ගෙනයන් පුළුවන්  ප‍්‍රායෝගික වාදයක්. ගහකොළ, මහපොළව සතා සිව්පාවත් රැක ගත්ත පරිසරයත් එක්ක එකට යන තිරසර සංවර්ධනයක්.

ඒකට මොකද කෙරෙන්න  ඕනේ. මේකට මේ රටේ අද ඉන්නවා, මේ මැතිවරණයේ ඉන්න ලොකුම බලවේගය එක්සත් ජාතික පක්ෂයවත්, පොහොට්ටුවේ පොදුජන පෙරමුණවත්, ජනතා විමුක්ති පෙරමුණවත්, හෙළ උරුමයවත් වෙන පක්ෂ නෙමෙයි අද මේ රටේ තිබෙන ලොකුම බලවේගය. අද මේ රටේ තිබෙන ලක්ෂ 160 ක ඡන්දයෙන් ලක්ෂ 50 ක් ම ඉන්නේ මොනම පක්ෂයකටවත් බැඳිච්ච නැති නොබැඳි දැන උගත් මිනිසුන් ටිකක් තමයි මේ රටේ. ඒ දැන උගත් මිනිස්සු තමයි අනාගත ජයග‍්‍රාහකයා තීරණය කරන්නේ. ඒ නිසා එක එක පක්ෂවලට අපේක්ෂකයෝ ඉදිරිපත් කළාට ඒ අය ජය ගන්නේ නැහැ. මේ දැන උගත් ලක්ෂ 50 මොකද කරන්නේ කියන එක ගැන අද රටට අත්‍යාවශ්‍යයි. ඒ නිසා ඒ ලක්ෂ 50 ට රටට අවශ්‍ය වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒවා කරන්නේ කවුද කියන එකත් රටට දැන ගන්න අවශ්‍යයි.

එදා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියලව, මේ ගාල්ලේ අමරසිරි දොඩංගොඩ මහත්මයලව එක්සත් ජාතික පක්ෂයේ වසර 12ක පාලනය ඉවර කරලා පාලන බලයට ගෙනාවේ අන්න ඒ නොබැඳි මැදිහත් බලවේගය. ඒ වගේම චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණියව බලයෙන් පහ කරන්න 2002-2003 රනිල් වික‍්‍රමසිංහ මහත්මයාව කරලියට ගෙනාවෙත් ඒ බලවේගය. 2015දී කිසිම ප‍්‍රශ්නයක් නැතිව ජය ලබනවයි කියල හිතපු මහින්ද රාජපක්ෂ මහත්මයාව ඒ සිංහාසයෙන් ඇදලා දැම්මේ ඒ සමාජ බලවේගය විසින්.

ඒ වගේම අනාගතයේ ඒ දේශපාලනය තීරණය කරන්නෙත් ඒ ඒ පක්ෂවල කට්ටිය නෙමෙයි, මෙන්න මේ සමාජ බලවේගය විසිනුයි.ඒ නිසා මම නැවත අවධාරණය කරනවා ලක්ෂ 50 ක් කිසිම පක්ෂයකට නැහැ. කිසිම පක්ෂයකට, කිසිම සුළු ජාතික කණ්ඩායමකට එවැනි බලයක් නැහැ. එම බලය තිබෙන්නේ මේ නිදහස් නොබැඳි ජනතා බලවේගයටයි. ඒ ජනතා බලවේගය ප‍්‍රතිපත්තියක් මත, වැඩපිළිවෙලක් මත, විශ්වසනීය නායක පරපුරක් මත දේශපාලන හමුදාවක් බවට පරිවර්ථනය විය යුතුයි.

පළමුව ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිර්මාණය කරන්න පුළුවන් පුළුල් සංධානයක් ඇති කර ගත යුතුයි.  දෙවනුව ඒ පුළුල් සංධානයට ඉහළින් කි‍්‍රයාත්මක වන මේ රටේ ණය බර ගෙවන්න පුළුවන්, මේ රට ආර්ථිකමය, සමාජමය වශයෙන් පරිවර්ථනය කරන්න පුළුවන්, මේ රටේ පරිසරය ආරක්ෂා කරන, ආගමික සදාචාරය, මනුෂ්‍ය සදාචාරය, මිනිස් නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වගේම මිනිසුන්ගේ සතුට ඉදිරියට ගෙනයන්න පුළුවන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ යුතුයි.

ඒ වැඩපිළිවෙල පමණක් ප‍්‍රමාණවත් නැහැ. කවුද ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන නායකයෝ කැල, කවුද ඒ සාමුහිකත්වය, නායක කට්ටලය කියලා දැන ගන්න මේ රටේ ජනතාවට අවශ්‍යයි. මෙන්න මේ කරුණු 03 සම්පාදනය උනාට පසුව, ඉෂ්ටප‍්‍රාප්තියට පත්උනාට පසුව අපේක්ෂකයා නිකම්ම ඉදිරිපත් වෙයි.

ඒ නිසා ගොනාට කලින් කරත්තේ දාලා හරියන්නේ නැහැ. අපි පළමුව මේ රටේ තිබෙන ගැටළු විසඳාගන්න සමත් පුළුල් දේශපාලන සන්ධානය, ඒ මගින් ඉදිරිපත් කරන්න යන බලගතු දේශපාලන, ආර්ථික, සමාජ වැඩපිළිවෙල, එම වැඩපිළිවෙල උර තබාගෙන, කර තබාගෙන මේ රට ඇතුළේ කි‍්‍රයාත්මක කරන්න බලාපොරොත්තු වන ඒ දැවැන්ත නායකත්ව මඩුල්ල, විශේෂයෙන්ම තරුණ පිරිස්වලින් එය සමන්විත විය යුතුයි. එය තීරණය උනාට පසුව කවුද අපේක්‍ෂකයා කියන එක ඒ මත තීරණය කර ගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය කරන දේශපාලන වැඩසටහනට, සාකච්ඡාවට ඔබත් දායක විය යුතුයි.

මේක අසවලූන්ට, නායකයින්ට කරන්න දීලා අපි බලන් ඉඳලා හරියන්නේ නැහැ. අපි සියළු දෙනාගේම දායකත්වයෙන් එම පළල් වැඩපිළිවෙල, ඒ පළල් නායකත්ව මඩුල්ල, ඒ පළල් දේශපාලන ගමන අපි ඉදිරියට යන්න  ඕනේ. එහෙම නොවුණහොත් මේ රටට අනාගතයක් නැතිව ගිහිල්ලා තව අවුරුදු 10 කින් මේ රට උගත්, අවංක, සදාචාර සම්පන්න, පරහිතකාමී, පරිසරයට ලැදි මිනිසුන් නැති කාන්තාරයක් බවට පරිවර්ථනය විය හැකි යැයි පැවසීය.

Recommended For You

About the Author: Editor