මල්වර වීම, ගැබ් ගැනීම සහ ප්‍රසූතිය: ආහාර සහ සෞඛ්‍ය ගැන ‘දැන සිටිය යුතු’ කරුණු

“මස් කන්න එපා කිල්ලට අහුවෙයි

“ඇඹුල් කෙසෙල් කාලා සෙම හදා ගන්න ද හදන්නේ?”

“බඩදරු අම්මලා බිත්තර කඩන්න හොඳ නැහැ”

ඉහත දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව තුළ ආහාර සම්බන්ධයෙන් පවතින විවිධ විශ්වාස අතරින් කීපයකි. ඒ අතරින් මල්වර, ගර්භණී සහ ප්‍රසූතියෙන් පසු කාන්තාවන් ගත යුතු සහ නොගත යුතු යයි සම්මත ආහාර සම්බන්ධයෙන් පවතින විශ්වාසයන්ට වැඩි ඉඩක් හිමි වීම ද විශේෂත්වයකි. එවැනි විශ්වාස සිංහල, දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් අතර පොදුවේ දැකිය හැක.

ඉහත සඳහන් ආකාරයේ විශ්වාස සඳහා වෛද්‍ය විද්‍යාත්මක පදනමක් තිබේ ද?, එවැනි විශ්වාස කාන්තාවන්ගේ සෞඛ්‍යයට සහ පෝෂණයට බලපාන්නේ කෙසේ ද? යන්න පිළිබඳ බීබීසී සිංහල සේවය කළ විමසුමක් ආශ්‍රයෙන් මේ ලිපිය සැකසේ.

“ශීත – උෂ්ණ” ආහාර

ආහාරයක “ශීත හෝ උෂ්ණ” බව ඒ ඒ පුද්ගලයා අනුව තීරණය වන බව පවසන ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන “ශීත හෝ උෂ්ණ” වශයෙන් “ආහාර ලේබල් කළ නොහැකි බව” පෙන්වා දෙයි.

“මේවා ආසාත්මිකතා. උෂ්ණ ආහාර ගත් විට සමේ පලු දැමීම, කැසීම, හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැකියි. ශීත ආහාර ගත් විට කිවිසුම් යාම, සොටු දියර ගැලීම වැනි තත්ත්වයන් හට ගන්නවා.”

දරුවන්ට කුඩා කල සිට ම ආහාර හඳුන්වා දුන් විට ආසාත්මිකතා ඇති වන ආහාර හඳුනා ගැනීමට හැකි වන බව කී වෛද්‍යවරිය “එවිට ලොකු මහත් වන විට එවැනි ආකාරයේ ආහාර ගැනීමෙන් වැළකී සිටිය හැකියි,” යනුවෙන් සඳහන් කළාය.

දරු ප්‍රසූතිය: “දරුවා අඬන්න ඕනි කිරි එරෙන්න”

දරු ප්‍රසූතියෙන් පසු මව්වරුන් කළ යුතු දෑ සහ නොකළ යුතු දෑ පිළිබඳව ද සමාජයේ විවිධ විශ්වාස පවතී.

දරුවෙකු මෙලොව එළිය දුටු පසු ඇය හෝ ඔහු වෙතින් බොහෝවිට නොසන්සුන්කාරී හැසිරීමක් දැකිය හැකි ය.

දරුවන් වෙතින් එවැනි හැසිරීමක් පිළිබිඹු වන්නේ “කිරි මදිවීම” නිසා යයි සමාජයේ විශ්වාසයක් පවතින බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන පවසයි.

දරුවට කිරි උරන්න දුන් විට තමයි මවකට කිරි එරෙන්නේ. උරන්න උරන්න කිරි එරෙනවා. අඬන්න ඕන කිරි එරෙන්න කියලා අපේ විශ්වාසයක් තියෙනවනේ. ඒක සම්පුර්ණයෙන් ම වැරදියිශාන්ති ගුණවර්ධන, ප්‍රජා වෛද්‍ය විශේෂඥ

“දරුවෙක් ඉපදෙන්න පෙර ගර්භාෂය තුළ පාවෙමින් සිටින්නේ. ඉපදෙනකොට උෂ්ණත්වයේ වෙනස් වීමක් සිදු වෙනවා. එවැනි තත්ත්වයක් තුළ දරුවා නොසන්සුන් විය හැකියි. අඬන්න පුළුවන්. කිරි මදි වෙලා තමයි මේ අඬන්නේ කියලා එතකොට හිතනවා, නමුත් ඒක එහෙම නෙවෙයි,” යනුවෙන් විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන සඳහන් කළා ය.

“දරුවට කිරි උරන්න දුන් විට තමයි මවකට කිරි එරෙන්නේ. උරන්න උරන්න කිරි එරෙනවා. අඬන්න ඕන කිරි එරෙන්න කියලා අපේ විශ්වාසයක් තියෙනවනේ. ඒක සම්පූර්ණයෙන් ම වැරදියි.”

දරුවෙකු කිරි උරණ අවස්ථාවේ තණ පුඩු හරහා ස්නායු උත්තේජනය වී තවත් කිරි නිෂ්පාදනය කළ යුතුයයි මොළයට පණිවිඩයක් ලැබෙන බව ඇය පෙන්වා දෙයි.

එසේ ම ප්‍රෝටීන් බහුල හාල්මැස්සන් සහ විටමින් බහුල කොළ වර්ග කිරි දෙන මව්වරුන්ට ලබා දීම සම්බන්ධයෙන් ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල පවතින විශ්වාස පිළිබඳ වෛද්‍යවරිය විස්තර කළා ය.

“මව්වරුන්ට කැල්සියම් සහ ප්‍රෝටීන් බහුල හාල්මැස්සන් ලබා දීම ඇතැම් විට ප්‍රමාද කරනවා. මොකද ඔවුන් හිතනවා කිරි සමග හාල්මැස්සන්ගේ කටුත් එයි කියලා. ඒ වගේ ම ගම්බද වගේ හිතනවා මේ කොළ දුන්නහම බඩ ඇතුළේ ඇලෙයි කියලා,”

“ආමාශයයි ගර්භාෂයයි කියන්නේ දෙකක්. ඒ නිසා මවකගේ විටමින්, ඛනිජ අවශ්‍යතා සම්පුර්ණ කර ගන්න, මළබද්ධය වළකා ගන්න මේ ආහාර සහ පලතුරු අවශ්‍ය කෙරෙනවා.”

ඉස්සන්, කකුළුවන්, තක්කාලි වැනි ආහාර අනුභව කිරීමෙන් කැසීම සහ පලු දැමීම වැනි ආසාත්මිකතා ඇති වන මව්වරුන් එවැනි ආහාර ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මව්වරුන්ට ඇති වන එවැනි තත්ත්වයන් දරුවන්ගේ සෞඛ්‍යයට ද බලපෑ හැකි බව කියා සිටී.

ගර්භණී අවස්ථාව

ගර්භණී මව්වරුන් සහ ආහාර සම්බන්ධයෙන් අප සමාජයේ විවිධ විශ්වාස පවතී. ගැබිණි මව්වරුන් බිත්තර නොකැඩිය යුතු බව ඉන් එකකි.

මස් සහ මාළු ආහාරයට ගැනීම සඳහා ආර්ථිකමය ශක්තියක් නොමැති ගැබිණි මව්වරුන් සඳහා බිත්තර ඉතාමත් පෝෂදායි ප්‍රෝටීන් ප්‍රභවයක් බව විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන සඳහන් කරයි.

බිත්තර ආහාරයට ගැනීම ඉතාමත් වැදගත්. මොකද බිත්තර කියන්නේ අවශ්‍ය කරන ප්‍රෝටීන්, විටමින් ඒ, සමහර ඛණිජ වර්ග ලබා ගැනීමේ ප්‍රභවයක්

“බිත්තර ආහාරයට ගැනීම ඉතාමත් වැදගත්. මොකද බිත්තර කියන්නේ අවශ්‍ය කරන ප්‍රෝටීන්, විටමින් ඒ, සමහර ඛණිජ වර්ග ලබා ගැනීමේ ප්‍රභවයක්.”

ගැබිණි මවක් මන්දපෝෂණයෙන් හෝ නීරක්තියෙන් පෙළෙන්නේ නම් එය උපදින දරුවාගේ සෞඛ්‍යයට ද බලපානු ඇති බව වෛද්‍යවරිය පෙන්වා දෙයි.

මල්වර වීම

“නැකත එනකන් දවස් ගානක් නාවන්නේ නැහැ. ඒක හරි ම නරක දෙයක්,

ගැහැණු දරුවන් වැඩිවියට පත් වීම (මල්වර වීම) සහ එවැනි දරුවන්ට ලබා දිය යුතු ආහාර සම්බන්ධයෙන් ද සමාජයේ විවිධ විශ්වාස පවතී.

වැඩිවියට පත් වූ ගැහැණු දරුවන්ට මස් මාංශ සහ තෙල් සහිත ආහාර ලබා නොදීම ඉන් එකකි.

“බොහෝ විට එවැනි අවස්ථාවක දරුවන්ට ආහාරයට දෙන්නේ ලුණුමිරිස්, පතෝල වගේ පෝෂණ ගුණය අඩු දෙයක්. මොකද පසු කාලීනව කොන්දේ අමාරු, ගර්භාශයේ යම් යම් තත්ත්වයන් ඇති විය හැකි බවට විවිධ මතිමතාන්තර තිබෙනවා. ඒ වගේ ම නැකත එනකන් දවස් ගානක් නාවන්නේ නැහැ. ඒක හරි ම නරක දෙයක්.”

සිරිත්විරිත් පිළිපැද්දට කමක් නැහැ නමුත් දරුවාගේ පිරිසිදුකම සහ පෝෂණය ගැන හිතන්න ඕන

“සිරිත්විරිත් පිළිපැද්දට කමක් නැහැ. නමුත් දරුවාගේ පිරිසිදුකම සහ පෝෂණය ගැන හිතන්න ඕන. ඒ වගේ ම මාළු කෑල්ලක්, කොළ, ඇට, බිත්තර වගේ හොඳ ආහාර දෙන්න ඕන. මොකද පළමු වරට රුධිරය වහනය වන අවස්ථාවේ ශරීරය තියෙන්නේ යම්කිසි පීඩාකාරී අවස්ථාවක. දහනය වන දේවල් වැඩියි. ඒ නිසා ප්‍රෝටීන් සහිත ආහාර, එළවළු, පලතුරු දරුවාගේ ආහාරයට එකතු කළ යුතුයි,” විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන පවසයි.

“උදාහරණයක් වශයෙන් දමිළ සමාජය එය දැනගත් විගස කරන්නේ තල තෙල්, බිත්තර එකතු කරලා හොඳ ශක්තිජනක ආහාර වේලක් ලබා දෙන එක, ඒක ඉතාමත් හොඳ දෙයක්.”

කෙසේ නමුත් එවැනි සෞඛ්‍යයට හිතකර ක්‍රමවේද ශ්‍රී ලංකාවේ සමස්ත සමාජය තුළ ම ප්‍රචලිත වෙමින් පවතින බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරිය පෙන්වා දෙයි.

හිතකර ක්‍රමවේද

මාංශපේශී වර්ධනය සහ හිමොග්ලොබින් ප්‍රතිශතය ඉහළ නැංවීම සඳහා මල්වර වූ දරුවෙකුට සත්ව ආහාර ලබා දීම වැදගත් බව කී වෛද්‍යවරිය, ශ්‍රී ලංකාවේ සෑම දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු ම නීරක්තියෙන් පෙළෙන බව සඳහන් කළා ය.

කෙසේ නමුත්, කාන්තා පෝෂණය සහ ආහාර සම්බන්ධයෙන් පවතින දුර්මත සමාජයෙන් දුරු වෙමින් පවතින බව ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.

මල්වර වූ දැරියන්, ගැබිණි මව්වරුන් සහ දරුවන් ප්‍රසූත කළ මව්වරුන්ගේ පෝෂණයට බලපාන ඉහත කී කරුණු පිළිබඳ පවුලේ සෙසු සාමාජිකයන් ද දැනුවත් වී සිටිමේ වැදගත්කම ද විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කළා ය.

Full test copied by bbc sandesaya 2018 ඔක්තෝබර් 19

Recommended For You

About the Author: Editor