වෛද්‍ය සාෆිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම අගෝස්තු 06 දාට කල් යයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඞ් සාෆි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන අගෝස්තු 6 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) තීන්දු කළේය.

පෙත්සම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම කල් අවශ්‍ය බවට නීතිපතිවරයා කළ දැනුම් දීම සැලකිල්ලට ගනිමින් පෙත්සම සලකා බැලීම මෙදිනට කල් තැබිණි

පැමිණිලිකරු තම මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් පවසා ඇත්තේ කිසිඳු හේතුවක් නොදක්වා පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් එනිසා තමන් වහාම මුදා හරින ලෙසයි.

බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් යුත් ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (23) පෙත්සම කැඳවනු ලැබිණි.

කුරුණෑගල නුවර පාරේ, අංක 1/6 දරණ ස්ථානයේ පදිංචි වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඞ් සාෆි මහතා ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කුරුණෑගල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්ප ලාල්, කුරුණෑගල පොලිස් ස්ථානාධිපති, කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ෂානි අබේසේකර, ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ සහ නීතීපති නම් කරනු ලැබ සිටිති.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයට දන්වා සිටියේ මෙහි වගඋත්තරකරුවන්ට නොතීසි නිසි පරිදි ලැබී නොමැති බැවින් නැවත වගඋත්තරකරුවන් වෙත නොතීසි යැවීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් නියම කරන ලෙසයි.

මෙහිදී පෙත්සම්කාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා මේ වනවිට රැඳවුම් නියෝග අවසන්කොට අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන බවයි.

ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 6 වනදා කැඳවන මෙන් නියම කළ ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් වෙත යළි නොතීසි දන්වා යවන ලෙසද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.

Recommended For You

About the Author: Editor