350,000කට කුළුඳුල් ඡන්දය අහිමි කිරීමේ කුමන්ත‍්‍රණයක් – ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ

2019 වසරේ ලියාපදිංචි ඡුන්ද නාම ලේඛනය වෙනුවට 2018 වසරේ ලියාපදිංචි ඡුන්ද නාම ලේඛණය ඉදිරි මැතිවරණ සඳහා උපයෝගි කරගැනීම නිසා තුන් ලක්ෂ විසි හත් දහසක් තරුණයින්ගේ ඡන්ද ඔවුනට අහිමි වීමේ අවදානමක් මතු වන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙන්වා දෙයි.

මෙම කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙළ ආණ්ඩුවේ ප‍්‍රධාන අනුග‍්‍රහය සහිතව සිදු කෙරෙන ක‍්‍රියාදාමයක් බව අද (22) පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා අනාවරණය කළේය.

තරුණ තරුණියන් විශාල පිරිසක් වත්මන් රජය කෙරෙහි දැඩි කළකිරීමෙන් සිටින බවත් 2015 ආණ්ඩුව පත් වන අවස්ථාවේ දී ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීම එයට හේතුව බව වත්මන් රජය හඳුනාගෙන තිබෙන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එම නිසා තරුණ ඡන්ද වැඩි ප‍්‍රමාණයක් විරුද්ධ බලවේගයන් කෙරෙහි ආකර්ෂණය වෙමින් පවතින බැවින් ආණ්ඩුව මෙම දැවැන්ත කුමන්ත‍්‍රණය හරහා 327,000ක් වන තරුණ තරුණියන්ගේ ඡුන්ද අවලංගු ඡුන්ද බවට පත් කිරීමට උත්සාහ දරමින් සිටී.

මෙය එම තරුණ තරුණියන්ගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් වන බැවින් වහාම 2019 වසරේ දී සකස්කළ ඡුන්ද නවතම ඡුන්ද නාම ලේඛණය අනුව ඉදිරි මැතිවරණ පවත්වන්නැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටින බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන 26 වැනිදා පිළිගත් දේශපාලන පක්ෂ දහයක් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවයි.

ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කිරීම සහ එක්ව ජයග‍්‍රහණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව තිබේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ වලට අමතරව දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන ලියාපදිංචි දේශපාලන පක්ෂ 18ක් මේ වන විට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමේ සාකච්ඡුා පවත්වා ඇති අතර ඉතිරි දේශපාලන පක්ෂ ඉදිරියේදී එම අවබෝධතා ගිවිසුම හා එක්වනු ඇති බවද ඒ මහතා විශ්වාසය පළ කරයි.

අගෝස්තු මස 11 වැනිදා ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේ පොදුජන පෙරමුණු සම්මේලනයෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එදින නම් කරන ජනාධිපති අපේක්ෂකයා ඇතුළු පක්ෂ නායකයින් අගෝස්තු 18 වැනි දා දක්වා මහනාහිමිවරුන්, කාදිනල් හිමිපාණන් සහ මුස්ලිම්, හින්දු ආගමික නායකයින්ගේ ආශීර්වාද ලබාගැනීමට නියමිතය.
අගෝස්තු 24 වැනි දා වැනිදා සිට සැප්තැම්බර් 4 වැනිදා දක්වා පොදුජන පෙරමුණේ සියළු සංවිධාන ඒකරාශී කොට සෘජුව මැතිවරණ ව්‍යාපාරයට අවතීර්ණ වීමටත් මැතිවරණ ඉතිහාසයේ කිසිදු දිනෙක දක්නට නොලැබුණු ආකාරයේ මැතිවරණ මෙහෙයුමක නිරතවීමටත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරමින් සිටින බවද ඒ මහතා අවධාරණය කළේය.

අපි‍්‍රයෙල් 21 පාස්කු ප‍්‍රහාරයට ගොදුරු වු කටුවාලිටිය දේවස්ථානය ආසිරිගන්වමින් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් රජය සංවේදීව සවන්දිය යුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
එම ප‍්‍රකාශයෙන් වත්මන් රජයේ නොහැකියාව ලෝකයටම අනාවරණය වන අතර ප‍්‍රහාරයට ගොදුරුවූවන් සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක් ගෙන නොමැති බවද හෙතෙම අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පක්ෂ කිහිපයක් අතර ඉදිරියේදි අත්සන් තැබීමට නියමිත පෙරමුණ, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට කිසිදු අබියෝගයක් නොවන බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor