Sri Lanka Vs Bangladesh: අපි මීට පෙරත් ලංකාවේදී සාර්ථක වෙලා තිබෙනවා – වැඩ බලන නායක, ටමීම් ඉක්බාල්

එක්දින තරග තුනක් සඳහා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට ශ‍්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඒ අනුව ලබන 26 වැනි ශ‍්‍රී ලංකා – බංග්ලාදේශ ප‍්‍රථම එක්දින තරගය (දිවා රාත‍්‍රී) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනයේදී ආරම්භ වනු ඇති.

පසුගිය ලෝක කුසලානයේදී වැඩි අවධානයක් දිනා ගත් බංග්ලාදේශ කණ්ඩායමේ ප‍්‍රබල පිතිකරුවන් කිහිප දෙනෙක්ම ශ‍්‍රී ලංකා සංචාරයට එක් නොවීම විශේෂත්වයක්.

නිත්‍ය නායක මෂ්රෆී මොර්ටාසා, ජ්‍යෙෂ්ඨ තුන්ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්, මොහොමඩ් සයිෆූඩීන් සහ ලිටොන් ඩාස් ආබාධ නිසා හෝ පෞද්ගලික හේතු නිසා සංචාරයට එක්වන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිතුත් කළ බංග්ලාදේශ ක‍්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ විවේක ගැනීම් සහ පෞද්ගලික හේතු මත ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් සංචාරයට එක්නොවූ බවයි.

මෙවර බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ (වැඩ බලන නායක) ටමීම් ඉක්බාල්ටයි. එක්දින පිටියේ දී ඉක්බාල් බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවන පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ. ශ‍්‍රී ලංකා සංචාරය සඳහා වන සංචිතයේ නායකත්වයට මෂ්රෆි මොර්ටාසා නම්කර තිබුණත් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර පැවැති පුහුණු සැසියකදී මොර්ටාසා ආබාධයකට ලක්වීමෙන් මේ තරගාවලියෙන් ඉවත්වීමට සිදු වුණා.

ශ‍්‍රී ලංකා සංචාරය පිළිබඳ අදහස් දක්වන ටමීම් ඉක්බාල් මෙසේ පවසනවා.

ටමීම් ඉක්බාල්

‘‘අපිට මේ සංචාරය ඉතා අභියෝගාත්මක වේවි. ශ්‍රී ලංකා කණ්ඩායම කියන්නේ තම රටේදී ඉතා ශක්තිමත් කණ්ඩායමක්. නමුත් මීට පෙර අපි මෙහිදී ඉතා සාර්ථකව මෙහි ක්‍රීඩා කර තිබෙන නිසා මෙවර එසේ දස්කම් නොදැක්වීමට කිසිදු හේතුවක් තිබෙන්නට නොහැකියි. අපේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයින් කිහිප දෙනෙක් මේ සංචාරයට සහභාගී වන්නේ නැහැ. එය අපිට ලොකු අඩුවක් වුණත් අපිට එය නොතකා ක‍්‍රීඩා කළ හැකියි’’

පසුගිය ලෝක කුසලාන තරගමාලාවේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමෙන් පසුව බංග්ලාදේශ කණ්ඩායම මෙම සංචාරයට සහභාගි වන්නේ දැඩි විශ්වාසයෙන් යුතු බවයි ටමීම් ඉක්බාල් පවසන්නේ.

ඒ අනුව නවක සහ අත්දැකීම් අඩු ක්‍රීඩකයන් සමග ලබන 26 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින තරගාවලියේදී අභියෝග රැසකට මුහුණදීමට තම කණ්ඩායමට සිදුවනු ඇතැයි ටමීම් ඉක්බාල් කියනවා.

Recommended For You

About the Author: Editor