දේශීය කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නවීකරණයක් ඇති කිරීමට ක්‍රියා කරනවා – අගමැති රනිල් වික‍්‍රමසිංහ

පසුඅස්වනු හානි අවම කර ගැනීමට රටේ විවිධ ප‍්‍රදේශවල ශීතාගාර පහසුකම් ඇති කරනවා – කෘෂිකර්ම ඇමැති පී. හැරිසන්

නව තාක්‍ෂණය යොදා ගනිමින් කෘෂි නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, නාස්තිය අවම කිරීමටත්, ආදායම් වැඩි කර ගැනීමටත් හැකි බැවින් ඒ ක්‍රමවේදය පදනම් කර ගනිමින් දේශීය කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නවීකරණයක් ඇති කිරීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ අද (24) නාච්චදූව එළවළු සහ පළතුරු සැකසුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

නවීන තාක්‍ෂණය කෘෂි ක්ෂේත්‍රයට දායාද කරමින් ශීතාගාර හා සැකසුම් මධ්‍යස්ථාන දඹුල්ලේ සහ වැලිමඩ ඉදිකිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව ද, එවැනි ශීතාගාර ඇති කිරීම සඳහා පෞද්ගලික අංශය දිරිගැන්වීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

රුපියල් ලක්‍ෂ 300 ක මුදලක් වැය කරමින් මෙම එළවලූ සහ පළතුරු සැකසුම් මධ්‍යස්ථානය ඉදිකර ඇති අතර මෙහි දෙවැනි අදියර යටතේ අධි ශීතාගාර, විජලන යන්ත්‍ර හා සැකසුම් උපකරණ ආදී පහසුකම් සැලසීමට පියවර ගන්නා බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත මෙම එළවලූ සහ පළතුරු සැකසුම් මධ්‍යස්ථානය ඉදිකර තිබේ.

දේශීය කෘෂි නිෂ්පාදනවලට වැඩි මිලක් ලබා ගැනීමට නම් දේශීය වෙළෙඳපොළ පමණක් නොව අපනයන වෙළෙඳපොළ ද ඉලක්ක කර ගත යුතු බව මෙහිදී පෙන්වා දුන් ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා, ඒ සඳහා රජය මේ වන විට විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පියවර ගෙන තිබෙන බව ද පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා, වර්තමානයේ නිෂ්පාදනය වන මෙරට එළවළු හා පළතුරුවලින් 40% ක් ප්‍රවාහනයේ දී හා කල් තබා ගැනීමේ පහසුකම් නොමැති වීම හේතුවෙන් අපතේ යන බව පෙන්වා දුන් අතර එය වළක්වා ගැනීම සඳහා රටේ විවිධ ප්‍රදේශයන්හි ශීතාගාර ඉදිකරමින් පහසුකම් සලසාදීමට රජය කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.

අනුරාධපුර ප්‍රදේශයට ශීතාගාර සහ අනෙකුත් පහසුකම් සලසා දීම ඉතා අගය කළ යුතු බවත්, මෙමගින් මෙම ප්‍රදේශයේ ගොවි ජනතාවට විශාල සහනයක් සැලසෙන බවත් කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය මෙහිදී පැවසුවාය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ යන මහත්වරු සහ රාජ්‍ය නිලධාරීහු ඇතුලූ විශාල පිරිසක් එක්ව සිටියහ.

Recommended For You

About the Author: Editor