ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කෙණහිලිකම් මැද ලොව හොඳම එක්දින පන්දු යවන්නා ‘නුවන් කුලසේකර’ සමුගනී

ICC ශ්‍රේණිගත කිරීම් අනුව වසර කිහිපයක් ලොව අංක 1 එක්දින පන්දු යවන්නා ලෙස පෙරමුණ ගෙන සිටි ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙකු වූ නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම නිවේදනය කළා.

නුවන් කුලසේකර අද කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේදී පැවති මාධ්‍ය හමුවේදී

මෙහිදී ඇති විශේෂත්වය වන්නේ බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ ප‍්‍රථම තරගයෙන් (26) එක්දින පිටියෙන් සමුගන්නා ලසිත් මාලිංග නුවන් සමග එක්ව තරග කොට සමුගැනීමට සූදානම්ව සිටීමයි. එහෙත් මේ වන විට මාලිංගගේ එම බලාපොරොත්තුව බිඳ වැටී තිබෙනවා.

මේ සියලූ කතා ගැන නුවන් අද මාධ්‍ය හමුවේ කරුණු අනාවරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සහභාගි වන අවසන් එක්දින ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කළ ද එය ප්‍රතික්ෂේප වූ බව වේග පන්දු යවන්නෙකු වූ නුවන් කුලසේකර අද කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවා.

මෙහිදී නුවන් වැඩි දුරටත් කියා සිටියේ තමන් පිළිබඳව ලසිත් මාලිංග ක්‍රිකට් ආයතනයට සිහි කැඳවීමක් කිරීම සම්බන්ධයෙන් ඔහුට ස්තුතිවන්ත වන බවත් ක්‍රීඩකයෙක් තවත් ක්‍රීඩකයෙකු ගැන කතා කරන එක ඉතා හොඳ දෙයක් බවයි. ලසිත් එවැනි දෙයක් කළ ප‍්‍රථම අවස්ථාව මෙය නොවන බව ද නුවන් සඳහන් කළා.

මෙහිදී නුවන් තමා ගැනත් තමා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අවතීර්ණ වූ ආකාරය ගැනත් විශේෂයෙන් සඳහන් කළා.

කුලසේකර මුදියන්සේලාගේ දිනේෂ් නුවන් කුලසේකර 1982 ජූලි මස 22 වන දා ගම්පහදී උපත ලද නුවන් ප‍්‍රාථමික අධ්‍යාපනය ගම්පහ රන්පොකුණුගම විද්‍යාලයෙන් ද සාමාන්‍ය පෙළ දක්වා කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබූ අතර උසස් පෙළ සඳහා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට ගියා. ඔහු එහිදී ලෙදර් පන්දු ක‍්‍රීඩා කරමින් ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම දක්වා පැමිණ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය වේග පන්දු යවන්නෙකු ලෙස වසර 14ක් පමණ ක්‍රීඩා කළා.

නුවන් පාසල් දිවියෙන් පසුව කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට එක්ව ක්‍රීඩා කළ අතර ඉන්දියාවේ චෙන්නායි සුපර් කිංග්ස්, එංගලන්තයේ සසෙක්ස් ආදී කණ්ඩායම් ද නියෝජනය කරමින් දක්ෂතා දැක්වූවා.

එක්දින පිටිය ජයගත් අයුරු

නුවන් කුලසේකර 2003 වසරේ නොවැම්බර් 18 වන දා එංගලන්තය සමග පැවති එක්දින තරගයට ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණි අතර ඔහු තමන් සහභාගි වූ එම පළමු තරගයේදීම පන්දු වාර 9ක් යවමින් ලකුණු 19ක් පමණක් ලබා දී කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුණා.

තවත් වසර 06ක ඇවෑමෙන්, 2009 වසර වන විට නුවන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානය දක්වා පැමිණියා.

නුවන් තම පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි වූයේ 2005 වසරේදී නවසීලන්තයට එරෙහිවයි. 2014 වසරේදී සිය අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි වූ නුවන් ටෙස්ට් තරග 21කට ක්‍රීඩා කර තිබෙන අතර 2008 වසරේදී සිය පළමු පන්දු වාර 20 තරගයට සහභාගි වූ ඔහු 2017 වසර වන තෙක් එම තරග 58කට ක්‍රීඩා කළා.

දක්ෂතා

2003 වසරේ සිට 2017 වසර දක්වා වසර 14ක් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටි නුවන් එක්දින තරග 184කදී කඩුළු 199ක් බිඳ හෙළා තිබෙන අතර පිතිකරුවෙකු ලෙස ද දක්ෂතා දක්වමින් එක්දින ක්‍රිකට් තරගවලදී අර්ධ ශතක 4ක් ද වාර්තා කිරීමට සමත් වුණා.

එක්දින තරගවලදී නුවන්ගේ හොඳ ම පන්දු යැවීම සටහන් වන්නේ ලකුණු 22කට කඩුලු 5ක් ලෙස වන අතර ටෙස්ට් ක්‍රිකට් තරග 21කදී කඩුළු 48ක් බිඳ හෙළා ඇති අතර පන්දු වාර 20 තරග 58කදී කඩුළු 66ක් බිඳ දමා තිබෙනවා.

2016 සැප්තැම්බර් මස කඩවතදී සිදු වූ මාරක රිය අනතුරක් හේතුවෙන් නුවන් කුලසේකර සමාජය තුළ දැඩි කතාබහට ලක් වුණා.

Recommended For You

About the Author: Editor