හතු පිපෙන්නා සේ මතුවන රූකඩ ජනාධිපති අපේක්ෂකයින්ට රැවටෙන්නට එපා – ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ

මැල්කම් රංජිත් හිමිපාණන් ගේ ප‍්‍රකාශ ඉලක්ක කරගනිමින් වත්මන් රාජ්‍ය නායකයින් සිදුකරන ප‍්‍රකාශ ජනතාව අතර දැඩි පිළිකුලට ලක් වෙලා

සමාජයේ දැඩි කතාබහට ලක් වෙමින් හතු පිපෙන්නා සේ නැගී එන ප‍්‍රධාන දේශපාලන පක්ෂවලින් බැහැර ජනාධිපති අපේක්ෂකයන් සම්බන්ධයෙන් නිසි අවබෝධයෙන් කටයුතු කරන්නැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවගෙන් ඉල්ලා සිටී.

බටහිර බලවේග NGO නඩ සහ දෙමළ ඩයස්පෝරාව ඇතුළු ප‍්‍රධාන පෙළේ තානාපති කාර්යාල මගින් මොවුන් මෙහෙය වන බව දැනටමත් අනාවරණය වී ඇතැයි අද පෙරවරුවේ කොළඹ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

විවිධ දේශපාලන පක්ෂවල රූකඩයන් ලෙස සමාජයේ හාස්‍යයට ලක්වෙන මෙම චරිත වල මූලික අරමුණ වන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා එක්රොක් වන ජයගා‍්‍රහි ඡන්ද බෙදීමකට ලක් කිරීම බවට ඇය චෝදනා කරයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ බෙදීමකට ලක් කිරීම සඳහා උත්සාහ ගන්නා සතුරු බලවේග මේ වන විටත් ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් බරපතළ අර්බුද රැසකට ගොදුරු වී තිබේ. ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට නොහැකි ව බරපතළ බෙදීමකට ලක් ව තිබෙන එක්සත් ජාතික පක්ෂයට ඉදිරි ජනාධිපතිවරණයේ දී අනිවාර්යෙන්ම පොදු අපේක්ෂකයෙකුගේ සරණ යාමට සිදුවන බව පෙනී යයි.

පවතින අර්බුදකාරී තත්වය තුළ ජයග‍්‍රාහී ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ උපක‍්‍රමික ව පරාජය කිරීම සඳහා මෙවන් කාඞ්බෝඞ් රූකඩ අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට සතුරු බලවේග උත්සාහ කරමින් සිටින අතර ඒ පිළිබඳව දිවයින පුරා ඡන්ද දායකයින් දැනුවත් කිරීමට තීරණය කර ඇතැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ හිටපු අමාත්‍ය රෝහණ කුමාර දිසානායක මහතා සඳහන් කළේ කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ගේ ප‍්‍රකාශ ඉලක්ක කරගනිමින් වත්මන් රාජ්‍ය නායකයින් සිදුකරන ප‍්‍රකාශ ජනතාව අතර දැඩි පිළිකුලට බඳුන් වී ඇති බවයි.

මෙරට රාජ්‍ය නායකයින් මේ අවස්ථාවේදී සිදු කළ යුතු වන්නේ තමන්ට කොන්ද පණ ඇති බව හෝ තමන් බය නැති බව හෝ ප‍්‍රසිද්ධ කිරීම නොව පසුගිය වසර හතර හමාරක කාලය තුළ තමන් අතින් සිදු වූ වැරදි සම්බන්ධයෙන් ජාතියේ නාමයෙන් කොන්ද නවා ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් සමාව ගැනීම බව ඒ මහතා පෙන්වා දෙයි.

වත්මන් රජය බලයට පත්වන අවස්ථාවේදී ජනතාවට ලබාදුන් පොරොන්දු අද වන විට වන විට සිහිනයක් බවට පත්ව ඇති අතර රට අරාජික කොට රටේ ස්වාධීනත්වය ස්වෛරීත්වය විනාශ කිරීමට එම රජයේ නායකයින් හේතුවක් වී තිබේ.

මිලේනියම් කෝපරේෂන්,ඇක්සා, සෝෆා ගිවිසුම් හරහා අද ලංකාව ඇමරිකාවේ කොලනියක් බවට පත්කිරීමට වත්මන් රජය කටයුතු කිරීම කණගාටුවට කරුණකි.

එහි ම තවත් ප‍්‍රතිඵලයක් ලෙස රටේ අධිකරණයේ ප‍්‍රධානින් එක්සත් ජාතීන්ගේ සන්විධානයේ නියෝජිතන් හමුවීමට සූදානම් කිරීම සමාජයේ බරපතළ ගැටලූවක් මතු කිරීමට හේතුවක් වී ඇත.

පසුගිය වසර හතර හමාරක කාලය තුළ වත්මන් රජය ධනාත්මකව ජයග‍්‍රහණය කළ කිසිදු කාරණයක් පෙන්වා දිය නොහැකි බව අවධාරණය කරන රෝහණ කුමාර දිසානායක මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී රට වෙනුවෙන් පැහැදිලි තීරණයක් ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Recommended For You

About the Author: Editor