මුස්ලිම් ඡන්ද නැතිව ජනපති වෙන කතා බොරු – එම්.ඒ.එල්.එම් හිස්බුල්ලා

හිස්බුල්ලාගේ ප‍්‍රකාශය අතිෂය සාවද්‍ය සහ අතිෂයයෝක්තියක් 2005, 2010 යන වර්ෂවල ජනපතිවරණයට ඉදිරිපත් වූ රනිල් වික‍්‍රමසිංහ සහ සරත් ෆොන්සේකාට මුස්ලිම් ඡන්ද අති බහුතරය ලැබුණත් ඔවුන්ට ජනපතිවරණය ජයග‍්‍රහණය කළ නොහැකි වුණා

මුස්ලිම් ඡන්ද නොමැතිව ඉදිරි ජනාධිපතිවරණය දිනන්න පුළුවන් කියල ඇතැමුන් පවසන නමුත් මුස්ලිම් ජනතාවගේ ඡන්ද නැතිව කිසිවෙකුට ජනාධිපති පුටුවේ වාඩි වෙන්න නොහැකි යැයි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා අවධාරණය කරයි.

කාත්තාන්කුඩි දාරුස්සලාම් ප්‍රදේශයේ රජයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමේ උත්සවයක දී හිටපු ආණ්ඩුකාරවරයා මේ බව අවධාරණය කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිස්බුල්ලා මහතා, ‘‘ජේ.ආර්. ජයවර්ධනගේ සිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දක්වා පත්වූ මෙරට ජනාධිපතිවරුන් සියලූ දෙනාම බලයට පත්වුණේ මුස්ලිම් ප්‍රජාවගේ සහාය නිසයි. වත්මන් මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක වූ දා පටන් ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන කියන මේ ජනාධිපතිවරුන් සිව් දෙනාම බලයට පත්වුනේ මුස්ලිම් ඡන්ද නිසයි.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මුස්ලිම් ජනතාව ඡන්දය නොදුන්න නම් ඔහුට ජයග්‍රහණය කරන්න වෙන්නෙ නැහැ. ලක්ෂ අටක මුස්ලිම් ජනතාවක් මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන්නා. මුස්ලිම් ඡන්ද නොමැතිව ඉදිරි ජනාධිපතිවරණය දිනන්න පුළුවන් කියල ඇතැමුන් පවසනවා. නමුත් මුස්ලිම් ජනතාවගේ ඡන්ද නැතිව කිසිවෙකුට ජනාධිපති පුටුවේ වාඩි වෙන්න බැහැ’’ යැයිද හිස්බුල්ලා මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දේශපාලන විශ්ලේෂකයින් කිහිප දෙනකුම ප‍්‍රකාශ කළේ හිස්බුල්ලාගේ ප‍්‍රකාශය අතිෂය සාවද්‍ය සහ අතිෂයයෝක්තියක් බවයි. උදාහරණ වශයෙන් 2005, 2010 යන වර්ෂවල ජනපතිවරණයට ඉදිරිපත් වූ රනිල් වික‍්‍රමසිංහ සහ සරත් ෆොන්සේකාට මුස්ලිම් ඡන්ද අති බහුතරය ලැබුණත් ඔවුන්ට ජනපතිවරණය ජයග‍්‍රහණය කළ නොහැකි වූ බව ඔවුහු පෙන්වා දුන්හ.

ඉදිරි ජනපතිවරණයේදී මුස්ලිම් ඡන්ද සාම්ප‍්‍රදායික පක්ෂ පාලනයෙන් මිදී ස්වාධීන වනු ඇතැයි සඳහන් කළ ඔවුහු හිස්බුල්ලාගේ හිස්කතා වත්මන් මුස්ලිම් ජනතාව ප‍්‍රතික්ෂේප කරනු ඇතැයි ද සඳහන් කළහ.

Recommended For You

About the Author: Editor