Top News of the day: පාස්කු ප්‍රහාරයට පෙර ආරක්ෂක කවුන්සිලයේ කිසිඳු රැස්වීමකට මාව කැඳවා නෑ – M.R ලතිෆ්

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ්

දවසකට කලින් හෝ මට තොරතුරු දුන්නා නම් මේ දේ වෙන්නේ නෑ

මේ ප්‍රහාරය ගැන ප්‍රබල පුද්ගලයන් දැනගෙන හිටියා

කොළඹ සිටින විශේෂ කාර්ය බළකා සෙළුන් 2245 දෙනාගෙන් සියයට 99ක් තුන් දෙනෙක් රකිනවා

මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාස්කු ප්‍රහාරය අතර යම් සම්බන්ධයක් ගැන තොරතුරු නෑ

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරියා ලෙස පාස්කු ප්‍රහාරයට පෙර ආරක්ෂක කවුන්සිලයේ කිසිදු රැස්වීමකට තමා නොකැඳවූ බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් මහතා අද (25) පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පැවසීය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස් වූ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් මහතා අද කාරක සභාව ඉදිරියේ සාක්ෂි ලබා දුන්නේය.

මෙහිදී වැඩි දුරටත් සාක්ෂි දෙමින් ලතීෆ් මහතා කියා සිටියේ අප්‍රේල් මස 21 වන දින එල්ල කෙරුණු මරාගෙන මැරෙන ප්‍රහාරයට අදාළ තොරතුරු ඊට පෙර දින හෝ තමන්ට දැනුම් දීමක් කළා නම් එම ප්‍රහාරය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකිව තිබූ බවයි.

මෙහිදී ලතීෆ් මහතා මෙසේද ප‍්‍රකාශ කළේය.

‘‘රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකාය ප්‍රබල ආයතනයක් කියලා සැලකුවා නම් අපිව කවුන්සිල් එකට කැඳවන්න තිබුණා. අපව ආරක්ෂක කවුන්සිලයට ඇතුළත් කළ යුතුව තිබුණා’’

අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා : ඔබ තුමාට ප්‍රහාරය සම්බන්ධයෙන් යම් නියෝගයක් ලැබුණා නම් මොකද කරන්නේ ?

ලතීෆ් මහතා : අනිවාර්යයෙන් ම අපට හුඟක් දේවල් කරන්න තිබුණා. බෝම්බකරුවන් හය දෙනා ගැන විස්තර අපට දුන්නා නම් ඔවුන්ගේ ත්‍රස්ත ක්‍රියා වළක්වන්න තිබුණා. ඔවුන් පසුපස හඹා යන බව ඔවුන් දැනගත්තා නම් ඒ ගොල්ලෝ ප්‍රහාර එල්ල කරන්න සැලසුම් කරන්නේ නැහැ’’

එම අදාළ තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් නොකළේ කුමක් නිසාදැයි කාරක සභාව විසින් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ,

‘‘මේ ප්‍රහාරය ගැන ප්‍රබල පුද්ගලයන් දැනගෙන හිටියා. හැබැයි මට කිසි ම දැනුම් දීමක් කළේ නැහැ. එහෙම කළේ නැත්තේ ඇයි කියලා මට හිතා ගන්න බැහැ. එහෙම දැනුවත් කළා නම් හෝටල්, පල්ලි වෙනුවෙන් ආරක්ෂක සැලසුමක් වහා ම ක්‍රියාත්මක කරන්න තිබුණා. සෝදිසි කිරීම් කරන්න තිබුණා. සිද්ධිය වුණාට පස්සේ තොරතුරු ගලාගෙන ආවා. විසි වෙනිදා ලැබුණ තොරතුරුවත් මට කිව්වේ නැහැ. මට තියෙන ප්‍රශ්නය තමයි ඇයි ඒවා මට කළින් නොකිව්වේ කියන එක. ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයට මම ආරක්ෂාව දැම්මා. හේතුව තමයි ලියුමේ ඒ ගැන විශේෂයෙන් සඳහන් කරලා තිබුණා. පල්ලි ගැන සඳහන් කරල තිබුණේ ‘‘ඉම්පෝටන්ට් චර්චස්’’ කියලා. නිශ්චිතව ලියලා තිබුණේ නැහැ’’

මෙහිදී තවත් සුවිශේෂ කරුණක් ද ලතීෆ් මහතා විසින් හෙළි කළේය. ඒ විශේෂ කාර්ය බළකාය පිළිබඳවය.

කොළඹ සිටින විශේෂ කාර්ය බළකා සාමාජිකයින් 3137 දෙනාගෙන් 2245 දෙනෙකු ම යොදවා ඇත්තේ ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් බව ලතීෆ් මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් පොරොත්තු රාජකාරිවල යෙදී සිටින හෙයින් අවශ්‍යතාවකදී ඔවුන් සේවයේ යෙදවිය හැකි බව ලතීෆ් මහතා සඳහන් කළේය.

අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා : ප්‍රභූ ආරක්ෂකයන් ලෙස ක්‍රියා කරන විශේෂ කාර්ය බළකා සාමාජිකයන් 2245 දෙනාගෙන් සියයට 99ක් පුද්ගලයින් තුන් දෙනෙකුගේ ආරක්ෂාවට යොදවා තිබෙනවා නේද ?

ලතීෆ් මහතා : ඔව්.

අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා : දියුණු රටවල නම් නායකයන් ආරක්ෂා කරන්න රටේ තියෙන සියලු සම්පත් යොදවන්නේ නෑ. ඇමෙරිකාවේ පවා මෙතරම් ආරක්ෂාවක් දෙන්නේ නෑ. පිරිහිච්ච රටවල තමයි නායකයෝ ආරක්ෂා කරන්න රටේ තියෙන සියලු සම්පත් යොදවන්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා : මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාස්කු ප්‍රහාරය අතර යම් සම්බන්ධයක් පවතින බවක් පෙනී ගොස් තිබෙනවාද ?

ලතීෆ් මහතා : එහෙම සම්බන්ධයක් ගැන නම් තොරතුරු ලැබිලා නැහැ. ඒත් අප්‍රේල් 23 වෙනි දා ඊබ්‍රාහිම්ලාගේ ‘‘මහවිල ගාඩ්න්ස් ’’වටලෑමේ දී ඔහුගේ සොහොයුරෙක් අත්අඩංගුවට ගත්තා. ඒ හෙරොයින් සහ ඩිජිටල් තරාදියක් එක්ක. ඩිජිටල් තරාදි තියෙන්නේ ජාවාරම්කාරයන් ළඟ. ඒ ඇරෙන්න ඊබ්‍රාහිම්ගේ ඥාති සොහොයුරෙක් අත්අඩංගුවට ගත්තා ‘‘ටෙමඩෝල් ’’පෙති තොගයක් එක්ක. මත්ද්‍රව්‍ය වැටලීම් නිසා ප්‍රහාරයක් ආව බවට වාර්තා වෙලා නෑ’’

Recommended For You

About the Author: Editor