Voice of දියවන්නා SLPP: මේක බරපතළ තත්ත්වයක් නිසා සුළුවෙන් තකන්න නරකයි – මහින්ද රාජපක්ෂ

සටහන – ගජබා නාගහවත්ත

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කමිටුව පසුගිය සෙනසුරාදා ප්‍රසන්නගේ නිවසේ දී රැස්වූයේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු පිණිසය. ප්‍රසන්න නායකත්වය දරන කමිටුවට සිසිර, ඩුලිප්, ලන්සා, සුදර්ශනි, ඉන්දික සමඟ පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ. එහිදී විශේෂයෙන් සාකච්ඡාවට ගැනුණේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙනි.

“ජනාධිපතිවරණය දැන් කට උඩටම ඇවිත් තියෙනවා. හරියටම බැලුවොත් තව මාස තුනක් ඇතුළත ජනාධිපතිවරණය කැඳවන්න මැතිවරණ කොමිසමට සිද්ධ වෙනවා. ඒ නිසා අපි දැන් ඉඳන්ම ඡන්දෙට ලැහැස්ති වෙන්න ඕනේ“ ප්‍රසන්න පැවසිය.

“අපේ අපේක්ෂකයා 11 වැනි දා ප්‍රකාශයට පත් කෙරෙනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂයට තවම අපේක්ෂකයෙක්වත් හොයා ගන්න පුළුවන්කමක් නැහැ. දැන් එක්සත් ජාතික පක්ෂයේ හැමෝම අපේක්ෂකත්වයට පොර අල්ලන්න පටන් අරන්” ඩුලිප් පැවසීය.

“පොහොට්ටුවේ අපේක්ෂකයා විදියට නම් කරන්නේ කාවද කියන එක තමයි දැන් රටම කතා වෙන්නේ. අපේ අපේක්ෂකයා තෝරන බලය මහින්ද මහත්තයට පවරලා තියෙන නිසා අපි එතුමාගේ තීරණය එනකම් සාමාන්‍ය විදියට වැඩ කරගෙන යමු. එතුමා නම් කරන ඕනෙම කෙනෙක් දිනවන්න ගම්පහ අපි සූදානම්” ප්‍රසන්න කීවේය.

“හැබැයි දැන් රටම ඉල්නන්නේ ගෝඨාභය මහත්තයව අපේක්ෂක කරන්න කියලයි. විශේෂයෙන් විධිමත් වැඩපිළිවෙළක් එක්ක රට දියුණු කරන්න ඕනේ නම් ඒ වගේ සෘජු තීරණ ගන්න පුළුවන් කෙනෙක් ඕනේ කියලයි ජනතාව විශ්වාස කරන්නේ“ ලන්සා කීවේය.

ඒ අනුව සියලු දෙනා ඒකමතිකව තීන්දු කළේ මීළඟ ජනාධිපතිවරණයට පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කිරීම සුදුසු බවය. එම තීන්දුව අපේක්ෂකයා නම් කිරීමේ බලය හිමි මහින්ද වෙත දැනුම් දිය යුතු බවත් මෙහිදී තීරණය කෙරිණි.

“ජනතාවගේ කැමැත්ත තියෙන්නේ ගෝඨාභය මහත්තයට වුණත් අපේක්ෂකත්වය නම් කිරීමේ බලය තියෙන්නේ මහින්ද මහත්තයාට. අපේ යෝජනාව එතුමට යවමු. හැබැයි එතුමා ගන්න ඕනේම තින්දුවක් එක්ක අපි කිසිම තර්කයකින් තොරව එකඟයි කියන එකත් දැනුම් දෙන්න ඕනේ“ ප්‍රසන්නගේ අදහසට ද සැවොම අනුමැතිය පළ කළහ.

විපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම පසුගිය සතියේ අඟහරුවාදා පාර්ලිමේන්තුවේ දී රැස් වූයේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. එම සාකච්ඡාවට විශේෂ ආරාධිත දේශකයන් වශයෙන් පාලිත කොහොන සහ මොහාන් සමරනායක පැමිණ සිටියේ ඇමෙරිකාව සමඟ අත්සන් තැබිමට යෝජනා කර තිබෙන සෝෆා, ඇක්සා ගිවිසුම් සම්බන්ධයෙන් මන්ත්‍රිවරුන් දැනුවත් කිරීමටය.

“අමෙරිකාව මේ ගිවිසුම් හරහා අපේ රට යටත් කර ගන්න උත්සහ කරන්නේ භූගෝලීය වශයෙන් ගත්තම අපේ රටේ තියෙන වැදගත්කම නිසයි. ඉදිරියේ දි ලෝක බලවතුන් අතර යුද්ධයක් හට ගත්තොත් ලංකාව පිහිටා තිබෙන ආකාරයත් එක්ක ඉතාමත් භුමියක් බවට පත්වෙනවා. ඒ වාසිය ගන්න තමයි පස්සා දොරෙන් ගිවිසුම් අත්සන් කරගෙන එන්න හදන්නේ“ මොහාන් පැහැදිලි කළේය.

“මේ වගේ ගිවිසුමක් අත්සන් කරන්න ඉස්සර ඕනෑම රටක් දෙපාරක් නෙමෙයි සිය පාරක් කල්පනා කරන්න ඕනේ. මොකද මේවාගේ තියෙන සැඟවුණු අරමුණු වටහා නොගෙන එක පාරටම අත්සන් කළොත් විඳවන්න වෙන්නේ මුළු රටටම. ඒකත් අපි අවබෝධ කරගන්න ඕනේ“කොහොන කීවේය

මන්ත්‍රිවරුන් පවා එතෙක් නොදැන සිටි කරුණු රාශියක් මෙහිදී පැහැදිලිව ඉදිරිපත් කෙරුණු අතර පැහැදිලි කිරීම් අවසානයේ දී ප්‍රශ්න විමසීමට ද අවස්ථාව ලබා දී තිබුණි. සුසන්ත, ෂෙහාන්, චන්දිම ප්‍රශ්න අසමින් අපහැදැලි කරුණු වඩාත් පැහැදිලි කරගන්නා ආකාරය ද දක්නට ලැබුණි.

“මේක බරපතළ තත්ත්වයක්. මේක සුළුවෙන් තකන්න නරකයි. අපි හැමෝම මේ කාරණා ගැන අවබෝධයක් ලබාගන්න ඕනේ. එතකොට තමයි ජනතාව ඉස්සරහට ගිහින් මේවා පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ. මේ අය නම් ගිවිසුම් ගහලා යයි. පස්සේ එන අයට තමයි ඒවායේ විපාක විඳින්න වෙන්නේ“ මහින්ද පැවසීය.

අනතුරුව මන්ත්‍රිවරුන්ගේ අවධානය යොමු කෙරුණේ එංගලන්තයෙන් කුණු කන්ටේනර් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි. කුණු කන්ටේනර් ආනයනය කිරීමේ සිද්ධියේ වගකීමත් මහින්ද පාර්ශවය වෙත පැටවීමට ආණ්ඩුව ගන්නා උත්සහය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගේ විරෝධය මෙහිදී පළ කෙරිණි.

“ආණ්ඩුවට දැන් කෝකටත් තෛලය වෙලා තියෙන්නේ විපක්ෂය. ආණ්ඩුවම කුණු ගෙන්නලා ඒ වගකීමත් අපේ පිට පටවන්නයි යන්නේ“ ප්‍රසන්න පැවසීය.

“ආණ්ඩුවට වෙන විකල්පයක් නැහැනේ. හැම පැත්තෙන්ම ආණ්ඩුවට තියෙන්නේ විරෝධයක්. පාස්කු ප්‍රහාරය ගත්තත්, ආරක්ෂාව බිඳ වැටිම ගත්තත්, ආර්ථිකය විනාශ වෙච්ච එක ගත්තත් හැමෝම ඇඟිල්ල දිගු කරන්නේ ආණ්ඩුව දිහාවට. ඒ නිසා ආණ්ඩුව සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ ජාමේ බේරගන්න. ඒ හින්දා හැම කුණු ගොඩක්ම මගේ ඇඟේ ගහන්යි එයාලා හදන්නේ. තමන්ට තියෙන ජනතා විරෝධය අපේ පැත්තට දාන්න ආණ්ඩුව කරන බොළඳ වැඩවලට ජනතාව දැන් රැවටෙන්නේ නැහැ. මිනිස්සු දැන් බලාගෙන ඉන්නේ ආණ්ඩුව ගෙදර යවන්න අවස්ථාවක් එනකම්. අපිට පුළුවන් ඉක්මණින් ඒ අවස්ථාව මිනිස්සුන්ට අරගෙන දෙන්න ඕනේ“ මහින්ද පැවසීය.

“ආණ්ඩුව කුණු ගෙන්විම ගැන කියන කතා එකක්වත් ඇත්ත නෙමෙයි. 2013 ගැහුවයි කියන ගැසට් එකෙයි කුණු ගෙන්වීමෙයි සම්බන්ධයක් නැහැ. ඒකෙන් කුණු ගෙන්වන්න ඉඩ දීලත් නැහැ. ගෙන්වන කන්ටේනර් පරීක්ෂා කිරීමේ බලය තියෙන්නේ රේගුවට. ඒ අය හරියට පරීක්ෂා කරා නම් පළමු වතාවෙම කුණු ගෙන්වන එක නතර කරන්න තිබුණා“ බන්දුල කීවේය.

“ඕවා ඉතින් ජේ. වි. පී එකේ වැඩනේ. සතියකට සැරයක් විතර ඉතින් රාජපක්ෂලාට බනින මාතෘකාවක් හදලා ආණ්ඩුව ගොඩදාන එකනේ ඒ අයගේ කොන්ත්‍රාත්තුව වෙලා තියෙන්නේ. හාමුගේ කොන්ත්‍රාත් නොකළොත් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ කියලා අනුරලා දන්නවා. ඒ හින්දා ඉතින් මේ වගේ මඩ පාරවල් සැරෙන් සැරේ එළියට එනවා“ ප්‍රසන්න කීවේ සිනාසෙමිනි.

මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රසන්න, පවිත්‍රා, ෂෙහාන්, සොයිසා, ලන්සා ඇතුළු පිරිසක් පාර්ලිමේන්තු ලොබියේ කතාබහ කරමින් සිටියේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙනි. ජනාධිපතිවරණය ඇතුළු කාරණා එහිදී මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවට ලක්විය.

“එක්සත් ජාතික පක්ෂයට පුදුම අමාරුවක්නේ තියෙන්නේ අපේ අපේක්ෂකයා ගැන. යු. ඇන්. පී මන්ත්‍රිවරු හැමෝම පස්සෙන් ඇවිත් ඇවිත් අහනවා කවුද අපේක්ෂකයා, ගෝට ද කියලා. මම හැමෝටම කිව්වා ටිකක් ඉවසලා ඉන්න. 11 වැනිදට බලාගන්න පුළුවන් කියලා“ ප්‍රසන්න පැවසුවේ සිනාසෙමිනි.

“එයාලට අපේක්ෂකයෙක් තෝර ගන්න බැරිව ඉන්න ගමන් අනෙක් අයගේ අපේක්ෂකයන් හොයන්න යන එක තරම් විහිලුවක් තවත් නැහැ. රනිල්, සජිත්, කරු තුන්දෙනාම අපේක්ෂකත්වය බලාගෙන ඉන්න අතරේ පක්ෂයත් තුනට බෙදිලා. හැබැයි ඒ ගැන වගේ වගක් නැතුව පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන හොය හොයා ඉන්නවා“ පවිත්‍රා කීවාය.

“මම දැක්කා සමහරු කියනවා ගෝඨාභය මහත්තයට ඇමෙරිකානු පුරවැසිභාවය අයින් කරගන්න බැහැ කියලා. තවත් සමහරු කියනවා පුරවැසිභාවය අයින් කරපු ලිස්ට් එකේ ගෝඨාගේ නම නැහැ කියලා. හැබැයි ඔය එළියට ඇවිත් තියෙන ලිස්ට් එකේ තියෙන්නේ මාර්තු 31ට ඉස්සර ඇප්ලයි කරපු අයගේ නම්. මම දන්න විදියට නම් එතුමා ඇප්ලයි කළෙත් මාර්තු 31න් පස්සේ“ ප්‍රසන්න කීවේය.

“ඒකනේ කියන්නේ. මෙයාලා බයේ ඉන්නේ ගෝඨාභය මහත්තයා ඡන්දෙට එයි කියලා. මේ අයට දැන් තියෙන්නේ ගෝඨා බයක්“ ලන්සා පැවසීය.

“එක්සත් ජාතික පක්ෂය ඡන්දෙ පටන් ගන්නත් ඉස්සරම පැරදිලා ඉවරයි. සජිත්, කරු, රනිල් තුන්දෙනාම එකපාර ඉල්ලුවත් පරද්දන්න පුළුවන් ශක්තියක් පොහොට්ටුවට තියෙනවා“ ෂෙහාන් කීවේය.

“11 වැනිදට අපේ අපේක්ෂකයා එළියට දාපුවම ඔය කොයි අපේක්ෂකයටත් සිද්ධ වෙන්නේ පැනලා දුවන්නයි. මේ පාර දිනන අපේක්ෂකයා එන්නේ පොහොට්ටුවෙන්“ ප්‍රසන්න පැවසීය.

විපක්ෂනායක මහින්ද පසුගියදා අගහරුවාදා පාර්ලිමේන්තුවේදී විශේෂ හෙලිදරව්වක් කලේය. ඒ විදේශ කටයුතු අමත්‍යංශයේ වැඩ බලන ලේකම් අහමඩ්. ඒ. ජාවෙඩ් අධිකරණ බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ ලේකම් වරයාට යැවූ ලිපියක් ගැනය. එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙකුට නඩු කිහිපයක තොරතුරු ලබා දෙන ලෙස එමගින් ඉල්ලා තිබිනි.

” 2011 රොෂේන් චානක නඩුව, වැලිකඩ බන්ධනාගාර සිද්ධිය, රතුපස්වල සිද්ධිය ඇතුළු තවත් සිදුවීම් කිහිපයක තොරතුරු තමයි මේ විදේශ නියෝජිතයාට දෙන්න කියලා තියෙන්නේ. මේක බරපතල තත්වයක් ”  . මහින්ද කිවේය.

පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයෙන් පසුව පිටතට යාම සදහා මන්ත්‍රී පිවිසුමට පැමිණි මහින්දට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක හමුවිය. මහින්ද සමග පැමිණි විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් මදක් ඈතට වි  අනුර හා මහින්ද කෙටි වේලාවක් කථා බහ කරමින් සිටියහ. ඒ අතර තුළ එතනින් යාමට ආවේ අධිකර ඇමති තලතාය.

තලතා ඒ දෙසට එනු දුටු විපක්ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ ” සර් අර විදේශ කටයුතු අමාත්‍යංශය විදේශ නියෝජිතයෙකුට නඩු තොරතුරු දෙන්න කියලා දීපු ලියුම ගැන කථා කරනකොට මෙතුමිය සභාවේ හිටියේ නෑ.. මග ඇරලවත් ගියාද දන්නේ නෑ.. ” යැයි කිවේය.

ඒ චොදනාවනම් භයානකයි. අනුර කුමාර කීවේ තලතා දෙස බලමිනි. 

” අනේ මම එහෙම දෙයක් දැක්කෙත් නෑ. දන්නේත් නෑ තලතා කීවේය.”

” මම ඒ ලියුම් දෙක සභා ගත කළා. මහින්ද තලතා ට කීවේය.”

 ” හරි සර්  මම ඒගැන බලන්නම්.” කියූ. තලතා කඩිනමින් ඒ ස්ථානයෙන් පිටව ගියාය.

මිනුවන්ගොඩ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය පසුගිය බදාදා ආරම්භ කෙරුණේ ප්‍රසන්නගේ ප්‍රධානත්වයෙනි. මෙරට දේශපාලන පක්ෂයක නීතිඥ සංගමයක් ආසනයක් මුල්කොට ගනිමින් ආරම්භ කරන ලද්දේ ප්‍රථම වතාවටය. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නීතිඥ සංගමයේ සභාපති සරල කරුණාරත්න, සරණ කරුණාරත්න ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

උත්සවයෙන් පසුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න ගණනාවකට පිළිතුරු දීමට ප්‍රසන්නට සිදුවිය. ඒ ප්‍රශ්න සැමඑකක්ම පාහේ ගෝඨාභය ඉලක්කරගනිමින් ඇසූ ඒවා වීම සුවිශේෂී කරුණකි.  එක් මාධ්‍යවේදියකු ඇසුවේ පෙරදා ගෝඨාභය රාජපක්ෂ ලංකාවට පැමිණීම සම්බන්ධයෙනි.

“ගෝඨාභය මහත්තයා හොර පාරෙන් ලංකාවට ආවේ මොකද? මාධ්‍යවේදියා ඇසුවේය.

“එතුමා ගියේ ප්‍රතිකාර ලබන්න. වෛද්‍යවරුන්ගේ උපදෙස් මත තමයි එතුමට කටයුතු කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ වගේ පියවරක් අනුගමනය කරන්න ඇති“ ප්‍රසන්න පිළිතුරු දුන්නේය.

“එතකොට මොකද දැඩි ආරක්ෂාවක් යටතේ ගෝඨාභය මහත්තයා ගුවන්තොටුපොළෙන් අරගෙන ගියේ? ඔහු යළිත් ඇසුවේය.

“එතුමට ජීවිත තර්ජන තිබෙන බව අපි කවුරුත් දන්න කාරණයක්. විදෙස් බුද්ධි අංශ පවා ඒ ගැන අනතුරු ඇඟවීම් කරලා තියෙනවා. ඒ නිසා දැඩි ආරක්ෂාවක් දෙන්න වෙලා තියෙනවා“ ප්‍රසන්න පැවසීය.

ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් අනතුරුව නීතිඥවරුන් හට ප්‍රසන්න කීවේ “ජනාධිපතිවරණයට දැන් අත ළඟට ඇවිත් තියෙන්නේ. අපේ අපේක්ෂකයා 11 වැනි දා එළිදක්වනවා. මහින්ද මහත්තයාගේ තීන්දුව තමයි අන්තිම තීන්දුව. ඒක පිළිගන්න හැමෝම බැඳිලා ඉන්නවා“ කියාය.

ඩලස්, උදය, ප්‍රසන්න, රොෂාන්, කාංචන යන මන්ත්‍රීවරුන් පසුගිය බ්‍රහස්පතින්දා කතානායකවරයා නිල කාමරයේ දී මුණැගැසුණේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටය. ඒ මෛත්‍රිපාල ජනාධිපතිවරයාගේ සොහොයුරා වන ඩඩ්ලිට විරුද්ධවය.

“ජනාධිපතිවරයාගේ සොහොයුරා වන ඩඩ්ලි සිරිසේන කියන ව්‍යාපාරිකයා රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාට තර්ජන එල්ල කරමින් යනවා. ඒවා ඉතාමත් බරපතළ තර්ජන. ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදී මේ වගේ තර්ජන එල්ල කරන එක ගැන ඔබතුමා සොයා බලන්න ඕනේ“ ඩලස් පැවසීය.

“ඩඩ්ලි විවිධ ස්ථානවල මගේ නම සඳහන් කරමින් තර්ජන කරනවා. එයාලට තියෙන එකම ගැටලුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකු වන මගේ දේශපාලන කටයුතු ඉවසන්න බැරිකමකයි. එයාලට දිස්ත්‍රික්කයේ තියෙන එකම තර්ජනය මමයි. ඒ නිසා තමයි මේ වගේ හැසිරෙන්නේ. ජනාධිපතිවරණය කිට්ටු කරලා කුඩු හරි ආයුධ හරි නඩුවකට පටලවලා මාව හිරේ යවන්නයි ඒ අය උත්සහ කරන්නේ රොෂාන් පැහැදිලි කළේය.

“රොෂාන්ව විතරක් නෙවෙයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් හුග දෙනෙකුට මේ තර්ජනය තියෙනවා. ආණ්ඩුව මැතිවරණය කිට්ටුවෙද්දී අපේ අය බුරුතු පිටින් හිරේ දාලා ගේමක් ගහන්නයි” ප්‍රසන්න කීවේය

ඒ අනුව කතානායකවරයා ප්‍රකාශ කළේ කරුණු කාරණා සම්බන්ධයෙන් සොයා බල අවශ්‍ය පියවර ගන්නා බවයි.

ප්‍රසන්න ඊළඟ පැමිණිල්ල ඉදිරිපත් කළේ ලසන්ත අලගියවන්නට එරෙහිව. රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා වන ලසන්ත සිය තනතුර උපයෝගී කරගනිමින් බස්නාහිර පළාතේ සංවර්ධන ව්‍යාපාතිවලට අනවශ්‍ය බලපෑම් කරන බව ප්‍රසන්න කථානායකවරයාට කීවේය.

“ලසන්න මන්ත්‍රිවරයා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් ඉන්නවා. දැන් බස්නාහිර පළාත් සභාව විසුරුවා හැරලා තියෙන නිසා මන්ත්‍රීවරුන් සභාව නියෝජනය කරන්නේ නැහැ. නමුත් මේ වසරට සංවර්ධන ව්‍යාපෘතිවලට මුදල් වෙන් කරලා තිබෙනවා. ලසන්ත තමන්ගේ තනතුරු භාවිත කරමින් ජනාධිපතිවරයා සහ ආණ්ඩුකාරයා හරහා තමන්ට අවශ්‍ය ව්‍යාපෘතිවලට මුදල් වෙන් කරගන්න උත්සහ කරනවා. සමහර ව්‍යාපෘති අවලංගු කරලා අලුත් ව්‍යාපෘති ආරම්භ කරන්න හදනවා. මේක තනතුර අවභාවිත කිරීමක්“ ප්‍රසන්න කීවේය. මන්ත්‍රීවරුන් ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් ද අවශ්‍ය පියවර ගන්නා බව කථානායකවරයා කීවේය.

Recommended For You

About the Author: Editor