නිලමෝර්ගේ සතිඅග දේශපාලන විමසුම: අලින්ට අදින්න වුණ ‘2005-2015 කුණු හබ්’

මේ තත්ත්වය තුළ අපට පහසුවෙන් පෙනී යන්නේ 2005 – 2015 දශක පාලනය විසින් උරුම කරුම ලෙස තබා ගිය හිමාලය තරම් සංකීර්ණ කුණු කඳුවලට වත්මන් ආණ්ඩුවට නිර්ලෝභීව මෙන්ම මැසිවිල්ලකින් තොරව කර ගැසීමට සිදුව ඇති බවයි. මේ කුණු කඳු සුද්ධ කිරීම නිසා සහ ඒවාට කරදීම නිසා ලැබෙන පින් ඉදිරි ජනාධිපතිවරණයේදී ඵලදුන්නොත් …. ඔව් ආණ්ඩුව ගොඩ.

‘ඔක්කොම කුණු බේරුවල බොක්කට’ කියලා බොහොම පැරණි කතාවක් අපි අතරේ තියෙනවා. ඒත් කාලයත් සමග නවීකරණය වුණ නිසාදෝ දැන් ‘ලංකාව කුණු හබ් එක්ක වෙලා’ කියලා ජනතා විමුක්ති පෙරමුණ පසුගිය දා කිව්වා. ඒ කොළඹ වරායට කුණු කන්ටේනර් පෙට්ටි සිය ගණනක් ආනයනය කළ බව කියන සිදුවීමට ප‍්‍රතිචාර දක්වමින්.

කොහොම වුණත් මේ කුණු කතාවත් දේශපාලන කරළියේ වගේම සාමාන්‍ය ජනතාව අතරත් බරපතළ මාතෘතාවක් වුණා. ඒ සමග සුපුරුදු චෝදනාව ආණ්ඩුවට එල්ල වුණා. ඒත් බළලා මල්ලෙන් එළියට පැන්නේ දින කිහිපයකට පස්සේ. ඒ අනුව ලංකාව කුණු හබ් එකක් කරන්න නිල අනුමැතිය දුන්නේ පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය යටතේ බව ලිඛිත සාක්ෂි ඇතිවම සනාථ වුණා. ඒ සමග රාජපක්ෂ මාධ්‍ය සහ හිතෛෂීන් සුපුරුදු පරිදි ‘ගලේ පැහැරූ බළලාගේ ’තත්ත්වය පත් වුණා. ඊට පස්සේ අපිට ඇහුණේ ‘කිතුලට නැග්ග මිනිහාගේ කතා’ වාගේ කතා ටිකක්.
මුලින්ම සඳහන් කළ ‘ඔක්කොම කුණු බේරුවල බොක්කට’ කියන කතාව යුගයට ගැළපෙන ආකාරයට සංස්කරණය කළ යුතු බවට යෝනාවක් මේ ලියුම්කරු ද සහභාගී වූ කුඩා දේශපාලන සංවාදයකදී ඉදිරිපත් වුණා.

‘‘රාජපක්ෂ පාලනයේ ඔක්කොම කුණු යහපාලන ආණ්ඩුවට’’ කියලා කතාව සංශෝධනය කළ යුතු බවයි එහිදී යෝජනා වුණේ. යම් යම් සංශෝධන අදහස් තිබුණත් මේ ගැන දිගින් දිගටම ගිය සංවාදය අවසන් වුණේ මේ කතාව ගැන ජනතාව දැනුවත් කළ යුතුය යන අවසන් එකඟතාවයෙන්.

තිත්ත නමුත් ඇත්ත කතාව

2005 ජනපතිවරණයෙන් ජයග‍්‍රහණය කළ මහින්ද රාජපක්ෂ මහතා භාර ගත්තේ නොනිල වශයෙන් බෙදුණු රටක් කියන එක හෘද සාක්ෂියක් ඇති අපි හැමෝම පොදුවේ පිළිගන්නා කරුණක්. බෙදුම්වාදී සටනේ තීරණාත්මක ජයග‍්‍රාහී කණුව අසලටම පැමිණ සිටි කොටි සංවිධානය වසර හතරක් තුළ තීරණාත්මක පරාජය කරමින්, ඇත්තටම සමූල ඝාතනය කරමින් රාජපක්ෂ පාලනය තැබූ සලකුණ ඉතිහාසයෙන් මකා දමන්න කිසිවෙකුට හැකියාවක් නැහැ. ඒක පක්ෂ – විපක්ෂ මේ සියලූ දෙනාම පොදුවේ පිළිගන්නා කරුණක්.

ඒත් රාජපක්ෂ පාලනයේ සහෘදයන් පවා පිළිගන්නා පොදු අදහසක් වන්නේ කොටි සංවිධානය / බෙදුම්වාදය පරාජය කිරීමෙන් පසු නිර්මාණය වූ නව දේශපාලන අවකාශය රාජපක්ෂ පාලනය විසින් පුරවා දැම්මේ පොදු ජනතාව බලාපොරොත්තු වූ ආකාරයේ යහපත් දේ වලින් නොවන බවයි. ඒ අනුව 2009 මැයි 19 වැනිදා සිට රාජ්‍ය පාලනය තුළ දේහගත වූ එම වෛරසය 2915 ජනවාරි 08 වැනිදා වන විට රාජපක්ෂ පාලනය වනසා දමන තත්ත්වට පත් වූ බව නොරහසක්.

මෙහි ඇති විශේෂත්වය වන්නේ 2015 ජනවාරි 08 වැනිදා යහපාලනක් අපේක්ෂා කළ මෙරට පුරවැසියන් විසින් රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැම්මත් දශකයකට ආසන්න කාලයක් පුරා කුණු කන්දල් බවට පත් වූ තවත් බොහෝ දේ ඉවත් කිරීම තබා ඒ ගැන හාංකවිසියක්වත් බොහෝ දෙනෙක් නොදැන සිටීමයි. එසේ නැතිනම් දැනුවත්ව සිටියත් එය එතරම් ගණන් නොගැනීමයි.

අදත් වත්මන් ආණ්ඩුවට අඳින්න සිදුවෙලා තිබෙන්නේ, රාජපක්ෂ පාලනයේ උරුම – කරම බවට පත් මේ කුණු කන්දල් නිසා බව නොදන්නේ දේශපාලන අන්ධයින් හෝ අවස්ථාවාදීන් පමණයි. එනිසා ‘‘රාජපක්ෂ පාලනයේ සේරම කුණු මේ ආණ්ඩුවට’’ කියන කතාව තිත්ත නමුත් අත්ත කතාවක් බව අපිට පිළිගැනීමට සිදු වෙනවා.

2005-15 කණු කන්දල්

පසුගිය දා කොළඹ වරායට ගෙන ආ කුණු කන්ටේනර් පෙට්ටි සිය ගණනනේ සිට පාස්කු ඉරිදා මුළු රටම මළ ගෙයක් කළ, වසර 4ක් පුරා ආණ්ඩුව කළ කී සියල්ල ආපසු හැරවූ පාස්කු ප‍්‍රහාර දක්වා සියල්ල 2005-2015 පාලනයේ උරුම – කරුම බවයි පෙනී යන්නේ.

මෙහිදී ප‍්‍රථමයෙන්ම සිහිපත් වෙන්නේ යහපාලන ආණ්ඩුව බලයට පත් වූ 2015 අවුරුදේ සිංහල අලූත් අවුරුද්ද දාම මුහුණ දුන් අභාග්‍ය සම්පන්න වගේම අපකීර්තිමත් සිදුවීමයි. ඒ මීතොටමුල්ල කුණු කන්ද නාය යාමයි. අහිංසක මිනිස් ජීවිත 30කට අධික සංඛ්‍යාවක් බිළිගත් මීතොටමුල්ල කුණු කන්ද විසින් නිර්මාණය කළ ‘කුණු අර්බුදය’ අදත් වත්මන් ආණ්ඩුව පීඩාවටත් ජනතාව අතර අසහනයටත් පත් කරන රාජපක්ෂ පාලනයේ උරුම – කරුමයක් වශයෙන් සඳහන් කළ හැකියි.

මෙහි විශේෂත්වය වන්නේ ‘කොළඹ නගර ලස්සන කිරීම’ වෙනුවෙන් පමණක් ලකුණු සියල්ලම ඉල්ලන ගෝඨාභය රාජපක්ෂ යුගයෙදී මීතොටමුල්ල කුණු කන්දක් බවට පත්වීම සහ යහපාලන ආණ්ඩුව බලයට පත්ව මාස තුන හතරක් වැනි කෙටි කාලයකින් එය ඛේදවාචකයක් දක්වා ගමන් කිරීමයි. කුණු කන්ද විසින් නිර්මාණය කළ අපවදා සහ ගැටලූ කන්දට ආණ්ඩුවට මුහුණ දීමට සිදුවීමයි.

මීතොටමුල්ල කණු කන්ද වගේම වත්මන් ආණ්ඩුවට කර ගැසීමට සිදු වූ තවත් කුණු කන්දයක් ලෙස අද බොහෝ දෙනකුට අමතක, නමුත් යහපාලනයට ඉහඳ තැබීමට අවස්ථාවාදීන්ට අවස්ථාවක් නිර්මාණය කළ ‘සයිටම් අර්බුදය’ සැලකිය හැකියි.

ඉතා පැහැදිලිවම මහින්ද රාජපක්ෂ පාලනය තිඹිරිගෙය කරගෙන බිහි වූ ‘මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය’ නොහොත් ‘සයිටම්’ ආයතනය විසින් නිර්මාණය කළ අර්බුදයෙන් ළදරු යහපාලන ආණ්ඩුව කොතරම් බැටකෑවාද යන්න අද බොහෝ දෙනකුට අමතකව ගිහින් ඇති බවයි පෙනී යන්නේ. වත්මන් ආණ්ඩුව විසින් දැඩි බලපෑම් හා අසීරුතා මැද සයිටම් අර්බුදය නිසි පරිදි කළමනාකරණය කර ගත් නමුත් ආරම්භයේදීම ජනතාව ප‍්‍රකෝප කිරීමටත්, සෞඛ්‍ය සේවාව ඇතුළු පොදු සේවා බිඳ වැටීම මගින් යළි යළිත් ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ නොමනාපය වර්ධනය වීමටත් රාජපක්ෂ පාලනයේ උරුම – කරුම බවට පත් සයිටම් අර්බුදය හේතු වූ බව නොරහසක්.

ණය කන්ද නිසා ගෙවන අපලය

2005-2015 පාලනය විසින් උරුම කරදුන් මීතොටමුල්ල, සයිටම් පුංචි ලිලිපුට්ටන් කරන අති දැවැන්තයා, ගලිවර් වන්නේ ‘ණය කන්ඳ’ බව අපි කවුරුත් අවිවාදයෙන් පිළිගන්නා කරුණක්. අවිධිමත් මූල්‍ය කළමනාකරණය, ¥ෂණය සහ අකාර්ෂයක්මභාවය ද කේන්ද්‍ර කරගෙන නිර්මාණය වූ හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, මිහින් ලංකා, හම්බන්තොට නගර සංවර්ධනය ආදී සුදු අලීන් බිහිකිරීම වෙනුවෙන් 2005-2015 යුගයේදී ජාත්‍යන්තර වාණිජ බංකුවලින් අධික පොළියට ගත් ණය කන්දේ සම්පූර්ණ බර දැරීමට සිදු වුණේ වත්මන් ආණ්ඩුවටයි. ඒ නිසාම ආරම්භයේ සිය අපේක්ෂිත සංවර්ධන හා සුභසාධන කාර්යයන් ඉටුකර ගැනීමේ තියුණු අභියෝගයකට ආණ්ඩුවට මේ ණය කන්ද නිසා මුහුණ දීමට සිදු වුණා.

මෙහි ඇති අභියෝගාත්මක සහ ඇතැම් විට හාස්‍යජනක කරුණ වන්නේ රාජපක්ෂ පාලනය විසින් ලබාගත් අති බහුතරයක් වාණිජ ණයවල පළමු වාරිකය පවා ගෙවා දැමීමට යහපාලන ආණ්ඩුවට සිදුවීඹයි.
මේ ණය කන්ද ගෙවා දැමීමේ අභියෝගය කරට ගත් ආණ්ඩුවට සිදු වුණේ තවත් වටයකින් 2005-15 උරුමකරුවන්ගේ අවලාද සහ බොරු ප‍්‍රචාරයන්ට මුහුණ දීමටයි. ඒ ණය ගැනීම්වලට සැබෑ හේතු වසං කරමින් ඊට සපුරා ව්‍යාජ කතාවක් ඔවුන් විසින් ජනතා ගත කිරීමයි. එහිදී ද රාජපක්ෂ කුණු කන්දට කර ගසනවාට අමතරව ‘‘රට උකස් කරනවා’’ යන ඊනියා ප‍්‍රවාදයට මුහුණ දෙමින් ජනතාවගේ දෝෂ දර්ශනයට ලක්වීමට ආණ්ඩුවට සිදු වුණා.

සුදු අලි බලා කියා ගැනීම

මේ ණය කන්ද විසින් බිහි කළ සුදු අලි නිසි කළමනාකරණයට ලක් කිරීම, මහා භාණ්ඩාගාරයට බරක් නොවී ආර්ථිකමය ව්‍යවසායන් බවට පත් කිරීම වත්මන් ආණ්ඩුව ඊළඟට මුහුණ දුන් අභියෝගයයි. විශේෂයෙන් වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක් ණය වශයෙන් ගෙවීමට ඇති, කිසිදු ආකාරයක ඵලදායි ආර්ථික කටයුත්තක් නොවූ හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොළ නිසි කළමනාකරණයට පත් කිරීමට ආණ්ඩුව ගත් ප‍්‍රයත්නය හමුවේ යළි 2005-15 උරුමකරුවන් නැගී සිිටියේ ආණ්ඩුවට එරෙහිව තවත් අති සංවේදී ප‍්‍රහාරයක් එල්ල කරමින්. ‘‘අපි හැදුව ජාතික සම්පත් විකුණාගෙන කනවා’’ යැයි කියමින් සාම්ප‍්‍රදායික ප‍්‍රවාදය කරළියට ගෙන මේ කල්ලිය ආණ්ඩුවේ ප‍්‍රයත්නය බිඳ දැමීමට ගත හැකි සෑම වෑයමක්ම ගත්තා.

අද ජනතාවගෙන් අති බහුතරයකට අමතකව ගියත් හම්බන්තොට / මත්තලත් සැලකිය හැකිවන්නේ 2005-2015 පාලනය විසින් උරුම කළ කුණු කන්දයක් වශයෙන් මයි.

සෝෆාවේ හිමිකරුවන් සොයා ගැනීම

එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සමගත්. ඇමෙරිකාව, ඉන්දියාව වැනි බලවත් රාජ්‍ය සමගත් මූලෝපායික වශයෙන් සහ රාජ්‍ය තාන්ත‍්‍රික වශයෙන් අතිෂය වැදගත් ගිවිසුම්වලට යාමට වත්මන් රජය ගන්නා පියවර 2005-15 උරුමකරුවන් විසින් දකින්නේ ‘රට පවාදීමක්’ විදිහටයි. ඒ සමග ඔවුන් සුපුරුදු ‘‘දේශද්‍රෝහී’’ ලේබලය ද ආණ්ඩුව මත ඇලවීමට පටුබට වන්නේ නැහැ.

එහෙත් පුදුමයට නොව හාස්‍යයට කරුණ වන්නේ අද ආණ්ඩුවට ජාත්‍යන්තර වශයෙන් මුහුණ දීමට ඇති බොහෝ ව්‍යාකුලතා මෙන්ම අපහසුතා ද නිර්මාණය වූ තිඹිරි ගෙය බවට පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය පත්ව තිබීමයි. මේ සඳහා දැක්විය හැකි ප‍්‍රකට හා වඩාත් වැදගත් උදාහරණය වන්නේ මීට සති කිහිපයකට පෙර විපක්ෂයේ ප‍්‍රමුඛ සටන් පාඨය වූ ‘සෝෆා’ ගිවිසුමයි.

ඇමෙරිකාවේ භූදේශපාලනික වුවමනා එපාකම් අනුව පසුගිය පාලන සමයේ (1995 පොදුපෙරමුණ සමයේ ආරම්භ වී) මහින්ද රාජපක්ෂ යුගයේ ගෝඨාභය රාජපක්ෂගේ පූර්ණ ආශිර්වාදයෙන් සුජාභාවය ලැබූ ‘සෝෆා’ ගිවිසුම 2005-15 උරුමකරුවන් විසින් සම්පූර්ණයෙන්ම ව්‍යාජ අර්ථකථනයකට ලක් කළ ප‍්‍රවාදයක් වශයෙන් සැලකිය හැකියි. පසුගිය කාලයේ ඔවුන් දැඩිව පරිශ‍්‍රමය දැරුවේ සෝෆා ගිවිසුම වත්මන් පාලනය විසින් ඇතිකර ගත් ගිවිසුමක් බව ජනතාව හමුවේ අවධාරණය කිරීමටයි. එහෙත් මෙකී ගිවිසුමේ සුලමුල / පැටිකිරිය ආණ්ඩුව විසින් නිවැරදිව හෙළිදරව් කිරීම සමග ඔවුන්ට සෝෆා විරෝධය හකුලා ගැනීමට සිදු වුණත් එමගින් ආණ්ඩුවට ඇති වූ හානිය පහසුවෙන් බැහැර කළ නොහැකියි.

පාස්කු ඉරිදා මුල් කොතැනද ?

ඉස්ලාම් අන්තවාදීන් විසින් පාස්කු ඉරිදා සිදු කළ මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාව සැලකිය හැකි වන්නේ වත්මන් ආණ්ඩුවට එරෙහිව එල්ල කළ මාරාන්තික ප‍්‍රහාරයක් වශයෙනුයි. එම ප‍්‍රහාර මාලාව සමග ආරක්ෂ, ආර්ථික හා සමාජයීය යන ප‍්‍රධාන ක්ෂේත‍්‍ර තුළ ඇති වූ කම්පනය හා බිඳ වැටීම තවත් කාලයක් යන තෙක් සක‍්‍රීයව පවතිනු ඇති බවයි බොහෝ දෙනෙක් කියන්නේ.

ඒ සමග මෙම ප‍්‍රහාරය වත්මන් ආණ්ඩුවට එරෙහි මාරාන්තික ප‍්‍රහාරයක් බවට පත් කර ගැනීමට විපක්ෂ කල්ලි දක්වන උනන්දුව ගැන දකින විට පැහැදිලිව පෙනී යන්නේ ‘මේ ආණ්ඩුව ගෙවන්නේ 2005-15 උරුම – කරම නේද ?’ යන්නයි.

මේ වන විට අනාවරණය වී ඇති පැහැදිලි සාක්ෂි අනුව පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා සිදු වූ පාස්කු ඉරිදා ප‍්‍රහාරය හුදු ක්ෂණික හෝ කෙටි කාලීන සැලසුමක් නොව දශකයක් හෝ ඊට වඩා පැරණි බීජයක වර්ධනීය අවස්ථාව බව පෙනී යනවා.

මෙහිදී පෙනී යන්නේ 2005-15 යුගය තුළ පෝෂණය කළ සහ නඩත්තු කළ (පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ මොළකරු වන සහරාන්ට බුද්ධි අංශ මගින් වැටුප් ගෙවා ඇති බව නිල වශයෙන් සනාථ වී තිබෙනවා) සිංහල බෞද්ධ අන්තවාදය සහ මුස්ලිම් අන්තවාදය එකිනෙකට වෙනස් මාර්ග දෙකකින් කරළිය තුළට පිවිසි අවස්ථාවක් ලෙසයි පාස්කු ඉරිදා ප‍්‍රහාරය සැලකිය යුතු වන්නේ.

එහිදී ඇති සුවිශේෂත්වය වන්නේ පසුගිය 2005-15 පාලන සමයේදී උපාය මාර්ගික අවශ්‍යතා සඳහා නිර්මාණය කරමින් නඩත්තු කළ ඉස්ලාම් අන්තවාදී කල්ලි අනපේක්ෂිත ලෙස ජනඝාතක ප‍්‍රහාරයකට යාම සහ ඊට පසුව ඒ හා සමානව නිර්මාණය කරමින් පෝෂණය කළ බෞද්ධ අන්තවාදී කල්ලි පශ්චාත් පාස්කු ඉරිදා ප‍්‍රහාර සමග සිවුර පොරවා ගත් සහරාන්ගේ වේෂයෙන්ම කරළියට පිවිසීමයි.

ඒ අනුව සහරාන් කළ කළ විනාශයට සමාන විනාශයක් මේ සිංහල බෞද්ධ අන්තවාදීන් විසින් ද සමස්ත ආර්ථික හා සමාජ දේහයට කළ බව අපි වටහා ගත යුතුයි. විශේෂයෙන් 2015 සිට අසීරුවෙන් හා මහත් සංයමයෙන් නඩත්තු කළ ජාතික – ආගමික සංහිඳියාව පාස්කු ඉරිදා සහ පශ්චාත් පාස්කු ඉරිදා ප‍්‍රහාර සමග යළි පිරිද්දිය නොහැකි ආකාරයට බිඳී ගොස් ඇති බවක් ඕනෑම අයෙකට වටහා ගත හැකියි.

ඒ අනුව දැන හෝ නොදැන 2005-2015 උරුමකරුවන් විසින් නිර්මාණය කරමින් නඩත්තු කළ අන්තවාදී ආගම් වියරුව නැමැති කුණු කන්ද ද වත්මන් ආණ්ඩුවට ඇඳීමට සිදුව තිබෙන බවක් නම් අපි වටහා ගත යුතුයි.

ෂරියා කැම්පස් කාගෙද ?

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදුවන තෙක් කිසිවෙක් කිසිවක් නොකියූ (වෛද්‍ය සාෆි ගැන ද එසේමය) මඩකළපුව ඊනියා ‘ෂරියා විශ්වවිද්‍යාලය’ ද 2013දී ඩලස් අලහප්පෙරුම විසින්ම බිහිකර වත්මන් ආණ්ඩුවට උරුම කර දුන් සයිටම් පන්නයේ කුණු කන්දයක් බව සඳහන් කළ හැකියි.

දීර්ඝ කාලයක් පුරා මහින්ද රාජපක්ෂ පාලනයේ ආවතේවකරුවෙක් වූ නැගෙනහිර පළාත් දේශපාලන ප‍්‍රබලයා වන ආතාවුල්ලා විසින් බිහිකළ බව කියන මඩකළපුව ෂරියා විශ්වවිද්‍යාලය පිළිබඳ ගැටලූවේ සම්පූර්ණ බර අද ආණ්ඩුවට කර ගැනීමට සිදුව ඇති අතර හාස්‍යජනක ලෙස එහි උරුම – කරුමකරුවන් ෂරියා කැම්පස් එකේ මඩ ආණ්ඩුවේ ගෑමට ද තැත් කරනු දැකිය හැකියි.

එනිසා කොතරම් දේශපාලන හා සමාජයීය හානියක් සිදුකර ගෙන වුව ද සයිටම් අර්බුදයට මුහුණ දුන්නා සේ මඩකළපුව ෂරියා විශ්වවිද්‍යාලය විසින් නිර්මාණය කළ ඊනියා අර්බුදයට ද ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන බව පැහැදිලි කරුණක්.

තවත් කුණු කඳු තිබේද ?

පසුගිය දා කොළඹ වරායේදී 2013 දී දුන් අනුමැතිය ප‍්‍රකාරව මෙරටට ආනයනය කළ කුණු කන්ටේනර් අහම්බෙන් හමුවුණා සේ 2005 – 2015 යුගය විසින් නිර්මාණය කළ තවත් බොහෝ කුණු කඳු හමුවීමට නියමිතව තිබෙනවා. ඒ අතර ආර්ථිකමය වශයෙන් මෙන්ම සමාජයීය වශයෙන් ද ප‍්‍රබල බලපෑමක් කළ හැකි අවස්ථා රැුසක් ඇති බවයි මේ ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනෙක්ගේ මතය වන්නේ.

මේ සම්බන්ධයෙන් ආසන්න උදාහරණයක් ලෙස උපාධිධාරීන්ගේ විරැකියා ගැටලූව හැඳින්විය හැකියි.

2015 යහපාලන ආණ්ඩුව බලය පත්වන විට සරසවියට පැමිණි විද්‍යාර්ථින් බොහොමයක් තවමත් සරසවියෙන් පිටව නැතත් (වසර 03ක සාමානඨ උපාධිය කළ විද්‍යාර්ථීන් උපාධිය ලබාගෙන ඇත) අද වහා විසඳුම් සොයන ලෙස බල කරන උපාධිධාරීන්ගේ විරැුකියාව පිළිබඳ ප‍්‍රබල ගැටලූවක් සමාජය හමුවේ තිබෙනවා. මේ උපාධිධාරීන්ගෙන් අති බහුතර 2012 – 15 යුගයේ බිහි වූ උපාධිධාරීන් බවයි වාර්තා කියන්නේ.

නිර්මාණශීලීව උසස් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක නොකිරීම, උසස් අධ්‍යාපනය ලැබූ පිරිස් සඳහා රැුකියා වෙළෙඳ පොළක් නිර්මාණය නොවීම ආදි හේතු නිසා දශකයකටත් අධික කාලයක් පුරා නිර්මාණය වූ උපාධිධාරීන්ගේ විරැුකියා ගැටලූවට වත්මන් ආණ්ඩුව මේ වන විට විසඳුම් ලබාදී ඇතත් (16,800ක්් රජයේ සේවය බඳවා ගැනීම) මේ හරහා ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන අපහසුතා නිමක් නැති බවයි පෙනී යන්නේ. විශේෂයෙන් පසුගිය 2015-15 යුගයේ රජයේ පත්වීම් ලද උපාධිධාරීන් නිසි පරිදි සේවයට අන්තර්ග‍්‍රහණය නොකිරීම ආදි ගැටලූ රැුසක් හමුවේ මේ තත්ත්වය තව තවත් සංකීර්ණ විය හැකි බවයි නිරීක්ෂණය කළ හැකි වන්නේ.

සමාජ අසමානතාව හා දුප්පත්ම

වත්මන් ආණ්ඩුවට 2005-15 යුගය විසින් නිර්මාණය කළ සමාජ අසමානතාව සහ දුප්පත්කමට ද කෙටි කාලීනව ඵලදායි විසඳුම් සෙවීමට බල කෙරී තිබෙනවා. විශේෂයෙන් පසුගිය පාලන යුගයේ දුප්පතුන් වෙනුවෙන් ක‍්‍රියාත්මක වූ බොහෝ සුබසාධන ව්‍යාපෘති (සමෘද්ධිය / දිවිනැගුම ආදි) දැඩිව දේශපාලනීකරණය වීම නිසා මෙකී සහන හිමිවිය යුතු පුද්ගලයින් 600,000ක්ට සමෘද්ධිය සහනාධාරය ලබාදී අමතර ආර්ථික බරක් දැරීමට ආණ්ඩුවට සිදු වුණා.

ඒ සමග දිළිඳු ජනතාවගේ නිවාස සහ සනීපාරක්ෂක අවශ්‍යතා වෙනුවෙන් කිසිදු ඵලදායි වැඩපිළිවෙළක් දියත් නොවීම නිසා අද ආණ්ඩුවට මුළුබර යොදා යළි ගම්උදා ව්‍යාපාරය ක‍්‍රියාත්මක කිරීමට සිදුව තිබෙනවා.

ඒ සමග විදුලිබල හා බලශක්ති, නාගරික සංවර්ධන, ප‍්‍රවාහන ආදි ක්ෂේත‍්‍ර තුළ ද පසුගිය 2015-15 යුගයේ ඵලදායී ආයෝජන සිදු නොවීම හේතුවෙන් නිර්මාණය වූ සියලූ ඍණාත්මකතාවලට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ වත්මන් ආණ්ඩුවටයි.

මේ තත්ත්වය තුළ අපට පහසුවෙන් පෙනී යන්නේ 2005 – 2015 දශක පාලනය විසින් උරුම කරුම ලෙස තබා ගිය හිමාලය තරම් සංකීර්ණ කුණු කඳුවලට වත්මන් ආණ්ඩුවට නිර්ලෝභීව මෙන්ම මැසිවිල්ලකින් තොරව කර ගැසීමට සිදුව ඇති බවයි.මේ කුණු කඳු සුද්ධ කිරීම නිසා සහ ඒවාට කරදීම නිසා ලැබෙන පින් ඉදිරි ජනාධිපතිවරණයේදී ඵලදුන්නොත් …. ඔව් ආණ්ඩුව ගොඩ.

Recommended For You

About the Author: Editor