මාලිංගට ගෞරවණීය සමුගැනීමක් හිමිකර දෙමින් ශ‍්‍රී ලංකාව විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබයි

ජනපති, කතානායක සහ විපක්ෂ නායක මාලිංගට සුභ පැතීමට ක‍්‍රීඩාංගණයට / මාලිංග ඔස්ටේ‍්‍රලියාවේ පදිංචියට යනවා කියන කතා පල්බොරු/ මාලිංගගේ තැන දසුන් ශානකට

ජනපති මෛත‍්‍රීපාල සිරිසේන, කතානායක කරු ජයසූරිය සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා

ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගෙන යන තම සහෘදයාට ගෞරවණීය සමුගැනීමක් ලබා දෙමින් දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස්කර ලකුණු 91ක පහසු ජයක් වාර්තා කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (26) සමත් විය

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරග මාලාවේ පළමු තරගය ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති තරගයේදී ප‍්‍රථමයෙන් පන්දුව පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ දී කඩුළු 08කට ලකුණු 314ක් රැස් කළ අතර පිළිතුරු ලෙස බංග්ලාදේශයට සියලූ දෙනාම දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 223ක් පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ඉදිරිපෙළ පිතිකරු කුසල් ජනිත් පෙරේරා පන්දු 99කදී ලකුණු 111ක් රැස් කළ අතර තරගයේ වීරයා සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවේය.

තම අවසන් එක්දින තරගයේද සිය වගකීම මැනවින් කණ්ඩායම වෙනුවෙන් ඉටුකළ මාලිංග පන්දුවාර 9.4කදී ලකුණු 38කට ප්‍රතිවාදී කඩුළු 3ක් දවාගත් අතර බංග්ලාදේශ ඉනිමේ අවසන් කඩුල්ල දවාගත්තෙද මාලිංග විසිනි.

දස දහස් සංඛ්‍යාත පේ‍්‍රක්ෂකයින් පිරිසක් ලසිත් මාලිංග සමුගැනීම වෙනුවෙන් ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනයට රැස්ව සිටි අතර ජනපති මෛත‍්‍රීපාල සිරිසේන, කතානායක කරු ජයසූරිය සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද ඒ අතර විය.

මාලිංගගේ රුව රැගත් දැවැන්ත බැනර් ක‍්‍රීඩා පිටිය වඩා ප‍්‍රදර්ශනය කර තිබීම ද විශේෂත්වයකි

මම ඕස්ටේ‍්‍රලියාවේ පදිංචියට යනවා ? ඒ ගැන ලියන අයගෙන්ම අහන්න

තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මාලිංග තමාට උපකාර කළ සියලූ දෙනාට සිය කෘතඥතාව පළ කළේය.

විශේෂයෙන් 2008 දී තමා ආබාධයකට ලක් වූ අවස්ථාවේ ජනපති මහින්ද තම පුද්ගලික වෛද්‍යවරයා වූ එලියන්ත වයිට්ගෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමට ලබා දුන් අවස්ථාව මාලිංග කෘතඥපූර්වකව සිහිපත් කළේය.

මේ සමග ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගැනීමෙන් පසු මාලිංග ඔස්ටේ‍්‍රලියාවේ පදිංචියට යන බවට පළවන වාර්තා ගැන මාධ්‍ය ඔහුගෙන් ප‍්‍රශ්න කළේය.

‘‘මම ඔස්ට්‍රේලියාවට යනවා කියලා කවුද දන්නේ නැහැ කියන්නේ ? මට එහෙම අදහසක් නැනැ. මම ඔස්ට්‍රේලියාවට යනවා කියල ලියන අයගෙන්ම තමයි ඒක අහගන්න වෙන්නේ. මමවත් නොදන්න දේවල්වට උත්තර දෙන්න මම සූදානම් නැහැ’’ යැයි මාලිංග සුපුරුදු උච්ච ස්වරයෙන් පැවසුවේය.

මාලිංගගේ තැන දසුන් ශානකට

මේ අතර බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලියේ අවසන් තරග දෙක සඳහා ලසිත් මාලිංග වෙනුවට දසුන් ශානක නම්කර තිබේ.

දෙවැනි හා තෙවැනි තරග සඳහා ශ්‍රී ලංකා සංචිතය – දිමුත් කරුණාරත්න (නායක) කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, ෂෙහාන් ජයසූරිය, ධනංජයද සිල්වා, වනිඳු හසරංග, අකිල ධනංජය, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, තිසර පෙරේරා, ඉසුරු උදාන, කසුන් රාජිත, දසුන් ශානක.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor