Weekend Special: හිල් කූඩෙන් වතුර ඇදීමක් වූ ‘වසවිස නියාමනය’

ගොවියාගේ සහය නැති නිසා සියල්ල අපතේ

රජයේ ආරක්ෂක පවුර උපරිමයෙන් ශක්තිමත්/නිර්දේශයක් දෙන්නට වසර දෙකකට වඩා ගතවෙන පර්යේෂණ/ගොවියා ආචාරශීලී නම්, වසවිස බෝග වලින් වෙළඳපොල නිදහස්/ වෙන රටවල දස අවුරුද්දක් ක්‍රියාශීලී  පලිබෝධනාශක, මෙරටදී දෑවුරුද්දෙන් ඉවරයි

සනත් එම්. බණ්ඩාර B.Sc.(Botany), M.Sc. (Systematic Botany) UPLB​Assistant Director of Agriculture National Agriculture Information and Communication Centre Gannoruwa, Peradeniya

උදේ පාන්දරින්ම ඈත එපිට ගම්දනවු වල සිට මහනුවර නගරයට පැමිණෙන ජනතාව, පාර අයිනේ තැනක ඉටිකොලයක් එලාගෙන ඇඳිරි වැටෙන තුරු බලා සිටිනා කාලය යලි උදාවෙමින් තිබේ. දැල්වෙන කොප්පරා පන්දම් එළියේ අනුහසින් අවට අඳුර මැකීයත්දී, මහමග ඉදිරියට එන පෙරමුණේ රාලත්, ඉන්පසුව එන ගජනායක නිලමේත්, දකින සැදැහැවතුන්ගේ ගත රැඳි විඩාව ආගිය අතක් නැත්තා සේය. ඇසල පෙරහැර මංගල්ලය වෙනුවෙන් මහනුවර පුරවරය යලිත් වරක් පිබිදෙමින් සිටී. සිංහල රජ කාලයේදී රජුට සමීපව සිටි නිලධාරී පෙලැන්තිය හැඳින්වූයේ නිලමේවරුන් වශයෙන්ය.

අද දවසේ රජතුමා නැතත් නිලමේවරුන් නම් සිටිති. ඇතැම් අය පෙරහැරේද ගමන් කරති. දියවඩන, බස්නායක , ගජනායක වැනි නිලමේවරුන් ගැන අප අසා තිබුනත්, අද වනවිට වැඩිපුර භාවිතයේ නොමැති නිලමේ තනතුරු ගණනාවක්ද, එදා තිබුණු බව සඳහන්ය. ඔවුහු සියල්ලෝම රජගෙදර රාජකාරි හා සම්බන්ධව සිටියෝය.

මේ අතරින් රජතුමාගේ ආරක්ෂාව හා බැඳුනු ප්‍රධාන නිලමේ තනතුරක් හැඳින්වූයේ ‘බත්වඩන’ නිලමේ වශයෙනි. රජු මරා දැමීමට හැකි පහසුම ක්‍රමයක් වන්නේ කෑම වේලට වස දැමීම මගින් බැවින් රාජකීය මුළුතැන්ගෙය වනාහී ආරක්ෂක රැකවරණයන් ප්‍රබලව යොදා තිබුණු තැනකි. එය භාරව තිබුනේ බත්වඩන නිලමේටය. ඉතා කලාතුරකින්, විශ්වාසවන්තකම නිසාම රජු විසින් තමා මහත්සේ ඇලුම් කරන බිසවකට තම ආහාරපාන ගැන බලාකියා ගැනීමට පවරූ අවස්ථාද නැත්තේම නැත. එහෙත් කෙතරම් හිතවත්කම් පෑවද සමහර බිසෝවරුන්ගේ නම ගෑවුණු, රජුට එරෙහිව මෙහෙයවූ කුමන්ත්‍රණද, සිංහල රාජාවලි ඉතිහාසයේ තිබෙනා බැවින්,  බොහෝ අවස්ථාවල රජතුමාගේ විශ්වාසය රැඳී තිබුනේ, දේවකාරියක් සේ රාජකාරිය කල බත්වඩන නිලමේ වෙතයි. හිතාමතාම ද්වේශ සහගතව කෙනෙකුට වස දුන්නොත් මිස, නොදැනුවත්වම තම ආහාරයත් සමග වසවිස කැවේවියයි සැකයක් පැරැන්නන් අතර තිබුනේ නැත. නොසෝදා අමුවෙන්ම ගිලදැමීමට වුවත් ඔවුන්ගේ ආහාරය ආරක්‍ෂිතය.

තම පවුලේ හෝ අසල්වාසීන් ගේ ප්‍රයෝජනය උදෙසා ගොවිතැන් කල මිනිසාගේ ‘යැපුම් කෘෂිකර්මාන්තය’ පිටස්තරයෙකුගේ කුස පිරවීම සඳහා කෙරෙන ‘වාණිජ කෘෂි ව්‍යාපාරයක්’ වූ  තැන සිට රජවාසල පමණක්  නොව,  මහජනතාවගේ යහපත උදෙසා හන්දියක් හන්දියක් ගානේ වුවත් බත්වඩන නිලමෙලා සිටිය යුතු තරමට ආහාරයට වසවිස මුසුවීම සිදුඋනේය. ලොව කොතැනකවත් දකින්නට නැති අමුතුම වර්ගීකරණක් හරහා ‘වසවිස නැති’ වශයෙන් ආහාරයේ කොටසක් බෙදී වෙන්වූ අතර, එම ලේබලය නොමැති ඉතිරි කොටස දෙස විෂ අන්තර්ගත වේදැයි යන සැකමුසු හැඟීමෙන් යුතුව බලන්නට ජනතාව පුරුදු වී සිටී.  

 මෙවන් වාතාවරණයක් යටතේ මහජනතාව වෙතට එන ගොවි නිෂ්පාදනයන්හි සුරක්ෂිතතාවය ගැනවගකීමට බැඳීසිටින  රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනක් සිටිනා පුංචි කාර්යාලක් මහනුවර පැත්තේම තිබේ. හරියටම කියනවානම් ඒ ගැටඹේ පන්සලේ මල් හඳුන්කූරු සුවඳ දැනෙන මානයේය. රජවාසල තරමට බිල්ඩිම ලොකුවට නොතිබුනත් මෙහි වැඩ වසන්නේද ‘බත්වඩන’ නිලමෙලා කීප දෙනෙක් යයි කීවාට වැරදි නැත. මන්දයත් ඔවුන් පූර්ණකාලීනව කටයුතු කරන්නේ රටවැසියාගේ බත්පතට එකතුවෙන වසවිස පිටු දැකීමටයි. එසේ වුවත් මෙම කාර්යාලයේ ඇති නාමපුවරුව දෙස පමණක් බලන පිරිසක්, ඇතුලේ කෙරෙන දෑ විමසන්නේ නැතිවම ඔවුනට දෝෂාරෝපණය කරන්නේ මෙම ආයතනය වනාහී වසවිස මෙරටට ගෙනෙනා කොම්පැනිකාරයින්ට ලයිසන් දෙන තැනක් යයි සිතමින්ය. ඒ මත මෙහි ප්‍රධානියා ඇතුළු නිලධාරීන් විවිධ අවස්ථාවලදී සමාජ විවේචනයන්ට හසුවේ. අනෙක් පැත්තෙන් නිදහසක්ද නැත.

අලුත් පළිබෝධනාශකයක් මෙරටට ගෙනැවිත් වෙළඳාම පිණිස අනුමැතිය ගන්නට වසර දෙකකට වඩා කාලය ගතවෙන විට, හදිස්සිය සමනය කරගත නොහැකිවූ ව්‍යාපාරිකයින්ද, මුහුණට නොබැන්නත් අඩු තරමින් කනස්සල්ලවත් මේ නිලදරුවන් හමුවේ මුදාහරින්නේය. පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය යනුවෙන් නාම පුවරුවේ තිබුනාට මේ වනාහී රට තුලට ගෙනෙන ඕනෑම දහජරාවක් ලියාපදිංචි කර අලෙවියට අවසර දෙන ආයතනයක් නම් නොවේ. කෑමට නොගන්නා ලී කැබැල්ලක ආලේප කරන තීන්ත තට්ටුවේ පවා තිබිය හා නොතිබිය යුතු සංඝටකයන් පිලිබඳ ගැඹුරින් හදාරමින් නියාමනය කරන ආයතනයකි.

වසවිස නියාමනය සඳහා සිටින ඉහලම බලධාරී කණ්ඩායම හැඳින්වෙන්නේ ‘පලිබෝධනාශක තාක්ෂණ උපදේශන කමිටුව’ (PeTAC) වශයෙන්ය. කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ සභාපතිත්වයෙන් පිහිටුවා ඇති මෙම කමිටුවට කෘෂිකර්ම ඇමතිවරයා විසින් පත්කරන ලද විද්වතුන් 5 දෙනෙක්ද අන්තර්ගතය. මේ යටතේ උප කමිටුද ඇත. එක උප කමිටුවක් කෘෂි පලිබෝධනාශක වෙනුවෙන්ය. එහි ප්‍රධානියාද කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයාම වන අතර කෘෂි ක්ෂේත්‍රයේ ඇති ආයතන වන පොල්, තේ වැනි පර්යේෂණායතන වල ප්‍රධානීන්ද එම උප කමිටුව තුල සිටී. කාර්මික පලිබෝධනාශක සහ ගෘහාශ්‍රිත පලිබෝධනාශක යන ඒවා වෙනුවෙන්ද PeTAC යටතේම උප කමිටු පිහිටුවා තිබේ. මෙම ලිපියට ප්‍රධාන වශයෙන් අදාළ වෙන්නේ කෘෂි පලිබෝධනාශක උප කමිටුව නිසා, අප වැඩිපුර කතාකරන්නේ ඒ ගැනය.

රාජකාරිය කරදරයක් නොවූවත්, කාර්යාලය වෙතට එන අමුත්තන් හමුවීමනම් ඇයට කරදරයක් වූවා සේ පෙනේ. අමුත්තන්ගේ අවශ්‍යතා ඉටුකිරීමට ඇය ඇතැම් විට වසර ගණනින් කල් ගන්නීය. හදිස්සිකාරයින්ට වුවත් ඇය වෙතින් කිසිදු සහනයක් නැත. “කල නොහැකි පොරොන්දු නොදෙන්න. දුන් පොරොන්දු ඉටු කරන්න. එය මහත්මා ගතියකි”.

ඇමරිකාවේ නිදහස් අරගලයේ නියමුවා හා පළමු ජනාධිපතිවරයා වූ ජෝර්ජ් වොෂින්ටන් පැවසූ වැකියක් සිහි තබාගෙන කටයුතු කරන බවක් පෙනෙන තරමට ඇය අමුත්තන්ගේ හදිස්සිය උපේක්ෂාවෙන් ඉවසන්නීය.

සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ උපෙන්ද්‍රා අබේසිංහ

“පළිබෝධනාශකයක් අලුතෙන් රටට ගෙනැවිත් එය වෙළඳපොලට නිකුත්කරන තත්වයට අවසරය ගන්න අවුරුදු දෙකක්වත් අඩුමගානේ ගතවෙනවා. ඇතැම් ව්‍යාපාරිකයින්ට මේ බව තේරෙන්නේ නෑ. ඒ අය සැරෙන් සැරේ කතාකරලා අහනවා. නැත්නම් හමුවෙන්න එනවා.”

තවත් කරදරකාරී අමුත්තෙකු බවට පත්නොවී ඇයගෙන් කරුණු විමසීමට වෙලාවක් වෙන්කරගැනීමට හැකිවීමද මා ලැබූ භාග්‍යයකි.

පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය සුමිත් ජයකොඩි මහතාගේ අධීක්ෂණය යටතේ එම කාර්යාලයේ සේවයේ නියුතු සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ උපෙන්ද්‍රා අබේසිංහ මහත්මිය මහජන සුවතාවය රැකගැනීම උදෙසා මෙම ආයතනය විසින් තිරය පිටුපස සිට කරනා මෙහෙවර හෙළිකිරීමට සූදානමින් සිටී. ඇය පවසන ආකාරයට රට තුලට ගෙන්වන පළිබෝධනාශකයක් මුලින්ම ඇයගේ කාර්යාලයට ලැබුන පසු මූලික සොයාබැලීමකින් පසු ඉහත සඳහන් කල උප කමිටුව වෙතට පමුණුවනු ලබයි. අදාළ ආනයනකරු විසින් මුලදීම මෙම සංයෝගයේ ‘අලගිය මුලගිය’ තැන පැහැදිලිව විස්තර කෙරෙන ‘ද්‍රව්‍ය ආරක්ෂණ දත්ත පත්‍රිකාවක්’ සමගම එය ඉදිරිපත්කිරීම අනිවාර්ය අවශ්‍යතාවයකි. මූලිකව ඇය විසින් සොයා බලන්නේ එහි අන්තර්ගත කරුණුවල වලංගුභාවයයි. ආනයනකරු මුහුණදෙන පළමු කඩඉම එයයි. අනතුරුව මෙම රසායන ද්‍රව්‍යය කෘෂිකර්ම පර්යේෂණායතනයක් වෙතට යොමු කරන්නේ එහි ‘ජෛව සපලතාවය’ පිළිබඳව වාර්තාවක් ලබාගැනීමටය. මේ සඳහා අදාළ ආයතනයේ නිලධාරීන් විසින් ක්ෂේත්‍ර පර්යේෂණයක් කලයුතුය.

පර්යේෂනායතනයක බෝගයක් පවතින්නේ ඉතාම ප්‍රශස්ත තත්වයක් යටතේ වුවත්, බාහිර ගොවිබිමකදී එවන් පරිපූර්ණ වගාවක් බලාපොරොත්තු විය නොහැකිවේ. ඒ නිසා පලිබෝධකයෙක් සිටිනවානම් ඌ මැරෙනවාද නැතිද යන්න මේ දෙතැනදීම සොයා බැලිය යුතුය. වල් නාශකයක් වුවද කලයුතු දෑ එසේමය. සපලතාවය සොයා බලනවා කියන්නේ මෙවන් ක්‍රියා මාර්ගයකටයි. විද්වතුන්ගේ අධීක්ෂණය යටතේ පර්යේෂනායතනයක සෙවනේ එක් වගා කන්නයක් තුලත්, ගොවිබිමකදී නම්, යල මහ වශයෙන් වගා කන්න දෙකකදීත් සපලතාවය විවරණය කෙරෙන නිසා, කටයුතු නිමකිරීමට අවම වශයෙන් වසර එකහමාරක්වත් ගතවන බව උපෙන්ද්‍රා මහත්මිය පවසයි.

කාර්යාලයට පැමිණෙන හදිස්සිකාරයින් දමනය කරන්නට ඇයට සිදුවන්නේ මේ කාල වකවානුව තුළදීය. කෘමීන්, දළඹුවන්, බැක්ටීරියා, දිලීර ආදිය වගාවකට එන්නේ කලින් දැනුම්දී වීසා අනුමතකරවාගෙන නොවේ. ‘සේනා දළඹුවා’ රටට එන බව ‘දිවයින’ පත්තරෙන් අනාවැකි නොකීවානම්, විද්වතුන් දියත් කල පෙර සූදානම වුවත්, ඒ තරමට ශක්තිමත් වන්නේ නැත. එසේම යම් පලිබෝධකයෙක්, බෙහෙතේ සපලතාවය සොයන පර්යේෂණ කාලය තුලදී වගාවට නොපැමිණෙන සිටීමටද ඕනෑතරම් ඉඩ තිබේ. එවැනි විටකදී සපලතා වාර්තාව එළිදැක්වීම තවත් කල්යයි. අම්බලම කැඩුනත් ගව්ව කෙටිවෙන්නේ නැත. ඊළඟ අම්බලම හමුවෙනතෙක් පයින්ම යා යුතුය. තවත් කන්නයක් කල්මැරිය යුතුවීම අනිවාර්යයය. දැන් දැන් අමුත්තන්ට උපෙන්ද්‍රා හමුවීමට ඇති ඕනෑකම නොහොත් හදිස්සිය තවත් වැඩිවුවත් ඇය නිසොල්මන්ය. බල්ලන් බුරද්දී ගැල ඉදිරියටම යන්නාසේ, මුළු සමාජයම සුවපත් කරවන වසවිස නියාමනයක් උදෙසා ඇය මනා සංයමයකින් යුතුව තම රාජකාරිය හසුරුවන්නීය.

කල්ගත වී හෝ නිසි සපලතා ප්‍රතිපල වාර්තාව උප කමිටුව වෙතට ලැබී, එහි අනුමැතිය ලැබුනේ නම්, උපේන්ද්‍රාගේ කාර්යාලය විසින් ව්‍යාපාරිකයාගෙන් තවත් ලියුම් මිටියක් හා ලිපිගොනු ගාස්තුවක්ද ඉල්ලා සිටී. එක බෙහෙතකට මෙම ගාස්තුව රුපියල් 75000 කි. ලිපිගොනුවේ බරට මෙම ගාස්තුව මදි බවක්ද සිතෙන තරම්ය. ඉල්ලා සිටින වාර්තා තොගය හමුවේ ආනයනය අධෛර්යමත්ව මේ මිනිසුන් ආපසු හැරී නොයන්නේ මන්දැයි යනුවෙන් මටනම් ඇතිවූයේ පෞද්ගලික ගැටලුවකි. ඒ තරමටම බරපතල ලෙස විස්තර ඉල්ලා සිටී. එකින් එක ඒවා විස්තර කළහොත් ලිපියේ අරමුණු කල පණිවිඩය සොයාගත නොහැකි තැනක සැඟවී යා හැකි නිසා වැඩි විස්තර ඉදිරිපත් නොකරමි. කීපයක්වත් කියනවානම්, නිෂ්පාදනයේ අන්තර්ගතයන්ගේ රසායනික වාර්තා, නිෂ්පාදන සමාගමේ තතු, වෙනත් රටවල භාවිතයේදී සිදුව ඇති දෑ සහ අත්දැකීම් පමණක් නොව ශරීර ගතවීමේදී හෝ ඇඟේ ගෑවීමේදී සිදුවියහැකි අනතුරු ස්වභාවයත් ඊට කලයුතු ප්‍රතිකාරත් යනාදී වශයෙන් තොරතුරු රාශියක් මේ යටතේ ඉදිරිපත් කල යුතුය. දමාගසා නොයන්නේ මන්දැයි මා පෙරදී විමසුවේ ලියුම් මිටියේ (Dossier) ඇති මේ බරපතල කම නිසාය.

“දැන් ඉතුරුවෙලා තිබෙන්නේ අපගේ විද්‍යාගාර පරීක්ෂණ. ඉදිරිපත් කර තිබෙන තොරතුරු, සංයෝගයට ගැලපෙනවාද කියල බලන්න විද්‍යාගාර පරීක්ෂණ ශ්‍රේණියක් කරනවා. සියලු වාර්තා සලකා බලමින් අවසාන ඇගයීම සිදුකරන්නේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින්. ඔහුගේ නිදේශය සහිතව ඉදිරිපත් කලවිට අනුමැතිය ලැබෙනවා PeTAC වෙතින්. මේ බව අපි සමාගමට දන්වනවා. වස දියර බඳුනේ ලේබලයද අපෙන් අනුමත කරවාගත යුතුයි. ඒ වගේම අවසානයේ නිෂ්පාදනයේ ලියාපදිංචිය සඳහා රුපියල් 25000 කුත් අය කරනවා.”

උපේන්ද්‍රා මහත්මිය දිගු සුසුමක් හෙලා කතාවට විරාමයක් තබයි. වෝල්ට් 33000 ක විදුලි බලයක් රැගෙනයන රැහැන් යටින් අප නිරතුරුවම ගමන් බිමන් යන්නෙමු. කරනවෑමියා විසින් අපගේ හිසමත තබා පිරිමදින්නේ සුළු විදුලි කාන්දුවකින් වුවත් වෝල්ට් 220 ක සාත්තුවක් ඉහමොළ රත්වෙන්නට ලබාදිය හැකි මෙවලමකි. ජීවිත අවදානම හැමතැනමය.

තාක්ෂනය වැළඳ ගන්නා තරමටම අවදානමද අප සමීපයට පැමිණ තිබේ. යන්තමින් හෝ හිත හදාගත හැක්කේ ආරක්ෂක උපක්‍රම අනුගමනය කරනවායයි සිතමින් පමණය. ලොවපුරා වැඩිපුරම පලිබෝධනාශක නිපදවන්නේ දියුණු යයි සම්මත ජාතීන් විසිනි. එහෙත් වැඩිපුරම ඒවා භාවිතා කරන්නේ නොදියුණු හෝ දියුණුවෙමින් පවතින රටවලයි. මේ පරිහරණය බහුලව සිදුවන්නේ ඝර්ම කලාපික දේශගුණයක් සහිත ප්‍රදේශවලය. ඒ නිසා ‘ඔවුන් හදනවා, අපි ගහනවා’ කියා සටන්පාඨ කියූවද, මේවා කාගේවත් කුමන්ත්‍රණ නොවේ. අප ජීවත්වන පළාතේ පවතින හිරුඑළිය, තෙතමනය, උෂ්ණත්වය ආදී පාරිසරක සාධක, ජීවී පැවැත්මට හිතකර නිසා, මිනිසා පමණක් නොව සකල ලෝක සත්වයෝම එහි පහස විඳගන්නා අතර, එවන් පරිසරයන් තුලදී පහසුවෙන් තම වර්ගයා බෝකර ගනිති. යුරෝපයට නැති පලිබෝධ කරදර අපට ඇත්තේ ඒ නිසාය.

ගොවිතැන් නොකරන විශාල පිරිසක් බත්කටක් ඉල්ලා මුව විවර කරගෙන සිටිනා බැවින්, ජනගහන වර්ධනයට ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනයක් කල යුතු නිසා, අස්වැන්න පාදක කරගත් මටසිලුටු බෝග මාදිලි බිහිකිරීමටද අපට සිදුවී තිබේ. වීදි දරුවා මෙන් නොව, වලව්වේ උපන් බේබි පින්නකට අහුඋනත් ඉක්මනට හෙම්බිරිස්සාව හැදෙන පරිද්දෙන්, මිනිසා විසින් යම් අරමුණක් උදෙසා නිපදවූ මෙම බෝග, පරිසර තත්වයන්ට බෙහෙවින් සංවේදීය. එපමණක් නොව මාංසලය. වතුර ගතියෙන් වැඩිය.

පලිබෝධකයෙක් ලඟින් ගියත් ඇති තරම්ය. ඒ නිසා මෙතැනදීත් අපට අවදානම සමග ජීවත්වීමට සිදුවී තිබේ. පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය මගින් මෙවැනි දැඩි පාලනයක් යටතේ, වසර දෙක තුනක් කල් අරගෙන, දැලිපිහිය ගොවියා අතට දෙන්නේ හතර අතේ වනා, අවට සිටින්නවුන්ද කපා, තමනුත් කපාගෙන පරිසරයත් වනසන්නට නොවේ. එහෙත් ගොවියා විසින් දැලිපිහිය අතටගත් වඳුරාගේ භූමිකාවට පනදෙන්නේ නම්, රෙජිස්ට්‍රාර් හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට කරන්නට දෙයක් නැත. හැමවිටම ඔවුන්ගේ පළමු උපදේශය වන්නේ සාම්ප්‍රදායික පලිබෝධනාශක ක්‍රම ඈඳාගත් ඒකාබද්ධ පලිබෝධනාශක ක්‍රමවේදයන්ට යොමුවෙන ලෙසත්, බැරිමනම් පමණක් නිර්දේශ කර ඇති වසදියර නියම මාත්‍රාවෙන් යොදන ලෙසත්ය. කී දෙනෙක් මෙය අනුමනය කරනවාද? ඇතැම් හිතුවක්කාර ගොවියන් වසදියර බෝතලය මිලයට ගෙන මල්ලට දමාගන්නේ බිත්තර වී ගෝනිය කර මත තිබියදීමය. වසදියර නියාමනය කරන්නන්ට ඇඟිල්ල දිගුකිරීමට පෙර මේ යතාර්ථය මැදිහත් සිතින් විමසා බැලීම වටී.

“මෙතරම් කාලයක් අරගෙන, පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයට විශාල මුදලක් වියදම් කරලා අපි යමක් නිර්දේශ කෙරුවයි කියමුකෝ. වෙන රටවල නම් වසර 10 ක් විතර ඒ සංයෝගය පාවිච්චි කරනවා. ඒත් මෙහෙ අවුරුදු දෙක තුන වෙනකොට ගොවීන් පැමිණිලි කරනවා ඒ බෙහෙත වැඩ කරන්නේ නෑ කියල. එතකොට සමාගම් මොකද කරන්නේ, තව සැර එකක් ගෙනල්ල අනුමැතිය ඉල්ලනවා. අවසන් ප්‍රතිපලය තමයි අපේ ගොවිබිම් වසවිසෙන් පිරීම. රටේ සල්ලි, අපේ ශ්‍රමය සේරෝම අපතේ ගිහිල්ලා”

උපේන්ද්‍රා මහත්මිය මේ පවසන්නේ තිත්ත ඇත්තයි. හිසරදයට පැරසිටමෝල් පෙති දෙකක් පමණක් ගිලදමා නීතිය අකුරටම රකින ගොවියා, වැඩි සැපට නිදියන්නට ඇඳ ඉස්මත්තේ මදුරු කොයිල් තුන හතරක් පත්තු කරගන්නේ නැති ගොවියා, මේස හැන්දක් දැමිය යුතුයයි නිර්දේශිත වස දියරය කුඹුරට ඉසින්නේ, හැඳි දෙකක් හෝ තුනක්වත් ටැංකියට දමලාය. ඒ වැඩි හොඳටය. වැඩිපුර සතුන් මරන්නටය. මේ හරහා සතුන්ගේ ප්‍රතිරෝධීතාවය ගොඩ නැගී වැඩි සාන්ද්‍රනයකට වුවත් ඔරොත්තුදීමේ ශක්තිය නිර්මාණය වන බව ගොවියාට කියා දෙන්නට ජගතෙක් සමාජය තුල නොමැතිවීම බරපතල ඛේදවාචකයකි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සද්දෙට කෑ ගසා මේ බව කියූවත්, සාමුහික හඬක් සමාජයෙන් නැගෙන්නේ නැත්නම් ඒ හඬ ගොවියාගේ ඇඟට දැනෙන්නේද නැත. පසුගිය දිනෙක මා හට දැනගන්නට ලැබුනේ එක්තරා ගොවිමහතෙකුගේ දියර ඉසිනයේ තිබූ නොසලය වසර 20 ක් පැරණි බවයි. ඉතින් මේ හරහා නියම තැනට, නියම සාන්ද්‍රණයට වස දියර නිකුත්වෙවිද? පාසැලෙන් නික්මුණු වහාම ත්‍රීවීල් පැදීමේ හැකියාව ලබන්නා සේ, ටැංකියක් කරේ එල්ලාගත් පමණින් මේ ගැටවරයින්ට වසබෙහෙත් ඉසීමේ හැකියාවත් ලැබෙනවාද? මේවා පුහුණු කරන්නේ කවුරුන්ද, කුමන ආයතනයකින්ද? එවැන්නක් මෙරට තිබෙනවාද? වෙනත් රටවල මෙන් දියර ඉසින්නන් ලියාපදිංචි කිරීමක් හෝ ලයිසන් දීමක් සිදුවෙනවාද? වසවිස නැති ආහාරයක් ගැන දේශනා කරන්නවුන්, පරිසරයට, රටට ඇලුම් කරන්නවුන් එකට රොද බඳිමින්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ගාල්වී, හිල්කූඩෙන් වතුර අදිමින් සිටින නිලදරුවන්ගේ මෙහෙවර පලදායී කිරීමට පියවර ගත යුතුබව අප අවධාරණය කරන්නෙමු.

පළිබෝධනාශකයක් අවශ්‍යමනම් පමණක් භාවිතා කරන්නටත්, නියම මාත්‍රාව හා සුදුසු ඉසීමේ උපාංග යොදවා ගන්නටත්, වසදියර ඉසීමෙන් පසු නියම කාලය පසුවෙනතුරු අස්වැන්න නොගන්නටත් ගොවිජනතාව තුල හික්මීමක් ඇතිකරන්නට උනන්දුවක් ඇතිකළ හැකි සංවිධානයක් බිහිවීම රටේ හදිසි අවශ්‍යතාවයක්ව පවතී. වසවිස කතාව ඉස්සරහට දමාගෙන ගමනක් යනවා වෙනුවට, වරද ඇත්තේ දැලිපිහියේ මුවහතේ නොව, එය භාවිතාකරන්නාගේ ආචාරශීලී බව තුලයයි මෙම සංවිධානය මගින් ජනතාව දැනුවත් කල යුතුව ඇත. එසේ නොමැත්තේ නම්, කිසිදු තාක්ෂණික මෙවෙලමක උපකාරයක් නැතිව, ගොවිබිමේදීම වසවිස ඇති ආහාර යයි කොටසක් හඳුනාගන්නා ලොව එකම රට වශයෙන් ශ්‍රී ලංකාව වාර්තාවක් තබනු ඇත.. 

Recommended For You

About the Author: Editor