අමාත්‍යධූර වැඩිකර ගැනීමට රජය උත්සහයක – ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

ශ‍්‍රීලනිපයේ සියයට 99ක් නියෝජිතයින් ළඟම නෑයා වන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක් වේවි

ජාතික ආණ්ඩුවක් නිර්මාණය කොට ඇමතිධූර සංඛ්‍යාව 48ක් දක්වා සහ නියෝජ්‍ය ඇමතිධූර සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ දමා ගැනීමට ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළ තරයේ ප‍්‍රතික්ෂේප කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.

ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර අමාත්‍යධූර ඉහළ දමා ගැනීම වෙනුවෙන් ලබන 31 වැනිදා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව අද (29) පෙරවරුවේ කොළඹ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණු සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.

19වන ව්‍යවස්ථා සංශෝධනයේ, 46 වන වගන්තියේ, හතරවන උප වගන්තියට අනුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට හෝ එමගින් අමාත්‍යධූර සංඛ්‍යාව ඉහළ දමා ගැනීමට කිසිදු අවස්ථාවක් නොමැත. ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන විශාලතම පක්ෂය සහ අනෙකුත් පක්ෂ අතර සම්මුතියක් ඇතිකර ගැනීම අනිවාර්ය වේ. නමුත් වත්මන් රජයට ඒකරාශී වීමට එවැනි පක්ෂ කිසිවක් නොමැති අතර යම් යම් පක්ෂවල ඇතැම් මන්ත‍්‍රීවරුන් එක් කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් ද නොමැත.

රජයේ මෙම ක‍්‍රියාදාමය ප‍්‍රතික්ෂේප කිරීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වගකීමක් බව පෙන්වා දෙන ඒ මහතා කැබිනට් අමාත්‍යවරුන් 30 දෙනකුට වඩා වැඩිපුර සංඛ්‍යාවක් දිවුරුම් දීම වැළැක්වීමට ජනාධිපතිවරයාට හැකියාව තිබෙන බව පෙන්වා දෙයි.

කැබිනට් අමාත්‍යවරයෙකු නඩත්තු කිරීම සඳහා මාසයකට රජයට රුපියල් ලක්ෂ 85ක මුදලක් දැරීමට සිදු වී ඇති අතර දැනට 28 දෙනෙක් වන කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව තවත් 20 දෙනෙකුගෙන් ඉහළ දැමීම රටට දැරිය නොහැකි වියදමකි. රටේ ආර්ථිකය කඩා වැටී ඇති තත්ත්වයක, දරිද්‍රතාවය ඉහල යමින් ඇති පසුබිමක තවත් අමාත්‍යධූර විස්සක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර විශාල සංඛ්‍යාවක් නඩත්තු කිරීමට සිදුවීම බරපතළ තත්වයකි.

වර්තමානයේ දී ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේ මුවාවෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට වත්මන් රජය උත්සාහ කරන නමුත් රජයට ඇති ඉතාම කෙටි කාල සීමාව තුළ රටට වැදගත් කිසිදු පනතක් හෝ කඩිනමින් සම්මත කර ගැනීම සදාචාරාත්මක නොවේ.
මෙම කාලසීමාව පාර්ලිමේන්තුවේ නොනගත කාලසීමාවක් වශයෙන් හඳුන්වා දිය හැකි බව පෙන්වා දෙන මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා උපක‍්‍රමශීලීව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ දැරීම සහ අමාත්‍ය ධුර සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට උත්සාහ දැරීම තරයේ හෙළාදකින බව අවධාරණය කර සිටියි.

මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය ගෙන එන උත්සාහය හේතුවෙන් ජනාධිපතිවරණය තත්පරයක් හෝ කල් දැමීමට කිසිඳු ඉඩක් ලබා නොදෙන බවයි. ජනාධිපතිවරණය කල් දමා ගැනීමට කුමන හෝ උපක‍්‍රමයක් යෙදුවහොත් ඊට එරෙහිව නීතිමය කටයුතු සිදු කිරීමට පසුබට නොවන බවද ඒ මහතා එහිදී අවධාරණය කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ආණ්ඩුව ගෙදර යැවීම සඳහා ශක්තිමත් කඳවුරක් නිර්මාණය වීම අනිවාර්ය වන අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 99% නියෝජිතයින් ළඟම නෑයා වන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වනු ඇතැයි ඒ මහතා විශ්වාසය පළ කරයි.

Recommended For You

About the Author: Editor