ශ‍්‍රී ලංකා – බංග්ලාදේශ අවසන් තරගය නුවන් කුලසේකර නමින්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර ලබන 31 දා කොළඹ ආර්. ප්‍රේමදාස ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගය ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර වෙනුවෙන් නම්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

නුවන් කුලසේකර තම සමුගැනීම නිවේදනය කළ දා පැවැති මාධ්‍ය හමුවේදී

ඒ අනුව තෙවැනි එක්දින තරගය නැරඹීම සඳහා නුවන් කුලසේකරට ආරාධනා කරන බවත් ඔහුට ගෞරවය පුදකිරීම වෙනුවෙන් උත්සවයක් සංවිධානය කර ඇති බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

2003 වසරේදී එංගලන්තයට එරෙහිව එක්දින වරම් හිමිකරගත් කුලසේකර 2014 වසරේදී විස්සයි 20 ලෝක කුසලානය ජයගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ප්‍රධානතම පන්දු යවන්නෙක් විය.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2011දී එක්දින ලෝක අනුශූරතාව හිමිකරගත් අවස්ථාවේද නුවන් කුලසේකර එම කණ්ඩායමද නියෝජනය කළ අතර 2009 වසරේ මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ලෝකයේ අංක එකේ වේග පන්දු යවන්නා ලෙසද කුලසේකර පත්ව සිටියේය.

නුවන් කුලසේකර එක්දින පිටියෙන් විශ‍්‍රාම යාමට පෙර තමාට තරගයක් ලබා දෙන මෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටියත් එය ප‍්‍රතික්ෂේප විය. පසුගිය දා තම සමුගැනීම නිවේදනය කිරීම වෙනුවෙන් නුවන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡුාවේදී ද මේ ගැන අදහස් පළ විය.

ඒ සමග ලසිත් මාලිංග ද තම සමුගැනීම නුවන් සමග එකට කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටිය ද එය ද ප‍්‍රතික්ෂේප විය.

විවිධ පාර්ශ්වයන් වෙතින් මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට එල්ල වූ විවේචන හේතුවෙන් මෙවැනි තීන්දුවක් ගන්න ඇති බව ක‍්‍රිඩා විචාරකයින්ගේ අදහසයි.

එහෙත් නුවන් කුලසේකර වැනි අති දක්ෂයෙක්ට ගෞරවණීය සමුගැනීමට ලබා දීමට ක‍්‍රිකට් පරිපාලනය අපොහොසත්වීම පිළිබඳ දැඩි විවේචනයක් එල්ලව පවතී.

Recommended For You

About the Author: Editor