News of the day: NGO කුමන්ත‍්‍රණයකින් ලංකාවේ යුරෝපීය තේ වෙළෙඳපොළ බිඳ වැටෙයි

ඉරාන වෙළෙඳ පොළත් අහිමි තත්ත්වයක් තුළ තේ ආර්ථිකය ඈවර වන ලකුණු

ඉදිරියේදි වතු කම්කරුවන්ගේ වැටුප් ගෙවිමටද නොහැකි වීමේ අවධානමක්

රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ තේ අලෙවිය සඳහා යුරෝපිය රටවලින් නිකුත් කර තිබු ජාත්‍යන්තර ප්‍රමිති සහතික ගණනාවක් අවලංගු කිරීම නිසා යුරෝපිය රටවල ශ්‍රී ලංකාවේ තේ අලෙවිය සඳහා පවතින ඉල්ලුම විශාල ලෙස පහළ වැටි ඇති බව වාර්තා වේ.

පසුගිය දා උඩරට තේ වතු සමාගම්වල විධායක නිලධාරීහූ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව හෙළි කළහ.

ඔවුන් සාක්ෂි සහිතව සඳහන් කරන ආකාරයට, අසල්වාසි තේ අපනයනය කරන රටක් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එක කර ගනිමින් දියත් කළ කුමන්ත්‍රණයක් මේ සඳහා ප‍්‍රධාන හේතුව වී ඇත.

ශ‍්‍රී ලංකාවේ උඩරට තේ වතුවල සේවය කරන වතු කම්කරුවන්ගේ සමාජ – ආර්ථික තත්ත්වය ඉහළ නැංවිමට සහ වතු කම්කරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවිමට අදාළ සමාගම් කටයුතු නොකරන බවට ප්‍රචාරයක් මාධ්‍ය මගින් සහ සමාජ මාධ්‍ය ජාල මගින් යුරෝපා රටවල ප්‍රසිද්ධියට පත් කර ඇති බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව සඳහා නිකුත් කර තිබු අදාළ ජාත්‍යන්තර ප්‍රමිති සහතික කිහිපයක් අදාළ රටවල් විසින් තාවකාලිකව අත්හිටුවා ඇති බවත් තේ සමාගම්වල විධායක නිලධාරීහූ පෙන්වා දෙති.

අදාළ ප්‍රමිති සහතික තේ පැකට්වල සඳහන් නොකිරීම නිසා ශ්‍රී ලංකාවේ තේ මිලදි ගන්නා යුරෝපීය පාරිභෝගිකයින් එම තේ මිලදී ගැනීම ප‍්‍රතික්ෂේප කර ඇති බව ද ඔවුහු සඳහන් කරති.

මේ සමග තම සමාගම් මුහුණ දෙන තවත් ප‍්‍රශ්නයක් වෙත ද ඔවුහු බලධාරීන්ගේ අවධානය යොමු කරති. ඒ ඉරානයට එරෙහිව පනවා ඇති ඇමෙරිකානු සම්බාධක හේතුවෙන් උද්ගත වී ඇති අහිතකර තත්ත්වයයි.

ඇමරිකාව විසින් ඉරානයට ආර්ථික සම්බාධක පැනවිම මත ඉරානයට ශ්‍රී ලංකාවේ තේ අපනයනය නොකිරීම නිසා උඩරට සහ පහතරට නිෂ්පාදිත තේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමේදී සැම වෙන්දේසියකම සියයට 30ක තේ ප්‍රමාණයක් අලෙවි නොවීම හේතුවෙන් එම තේ තොග තේ කර්මාන්තශාලාවල ගබඩා කර තිබෙන බවත් එම වතු සමාගම්වල විධායක නිලධාරීහූ සඳහන් කරති.

මෙම අර්බුදකාරී තත්ත්වය මත ශ්‍රී ලංකාවේ තේ කිලෝවක් සඳහා දැනට රුපියල් 400 සිට 500ක මුදලක් වෙන්දේසියෙන් ලැබෙන බව කියන මෙම නිලධාරීන් එම මුදල තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සඳහා වැය වන පිරිවැයට වඩා අඩු බව ද සඳහන් කරති.

මෙනිසා තේ වතු සමාගම් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවත් පවත්නා තත්ත්වය මත මේ වනවිට තේ වතු සමාගම් දැඩි මුල්‍ය අර්බුදයක් හමුවේ පවත්වාගෙන යන නිසා ඉදිරියේදි වතු කම්කරුවන්ගේ වැටුප් ගෙවිමටද නොහැකි වීමේ අවධානමක් මතු වී ඇති බව ද වතු සමාගම්වල විධායක නිලධාරීහූ වැඩිදුරටත් සඳහන් කරති.

Recommended For You

About the Author: Editor