Voice of Parliament විධායක ජනාධිපති ධූරය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුයි – මුදල් ඇමැති මංගල සමරවීර

වත්මන් ආණ්ඩුව විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කටයුතු නොකළත් අඩුම තරමින් විධායක ජනාධිපති ධූරයේ තටු කැපූ බවත් මෙය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න ඕන කියම මතයේ තමා අදත් සිටින බවත් මුදල් ඇමැති මංගල සමරවීර මහතා කියයි.

සියලු ජනතාවට පිළිගත හැකි දේශපාලන විසඳුමක් අවශ්‍ය බවත් සිංහල, දෙමළ හා මුස්ලිම් ඇතුළු සියලු ජාතීන්ට නිදහසේ ජීවත් වියහැකි රටක් නිර්මාණය කිරීම වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව වී තිබෙන බවත් මුදල් ඇමැති මංගල සමරවීර මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයට එක් වෙමින් මංගල සමරවීර මහතා මේ බව සඳහන් කළේය.

රටේ ජීවත් වන කිසිදු පුරවැසියකුට ඔවුන්ගේ අයිතිවාසිකම් අහිමි කළයුතු නැති බවද බෙදී වෙන්වීම මේ ජාතික ප්‍රශ්නයට විසඳුම නොවන බව පෙන්වා දුන් මුදල් අමාත්‍යවරයා එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අපි සියලු දෙනාම කටයුතු කළයුතු බවද එහිදී අවධාරණය කළේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා, ‘‘

1994 න් පසුව හැම ආණ්ඩුවක්ම මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියා පැමිණ පොරොන්දුව කඩ කළා. මහින්ද රාජපක්ෂ මහතා ද මැතිවරණ ප්‍රකාශයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කිවුවා. නමුත් අවසානයේ කළේ බලතල තවත් තහවුරු කර ගැනීමයි. 2010 දී 18 වැනි සංශෝධනයෙන් විධායක ජනාධිපතිධූරය රජකමක් බවට පත්කර ගැනීමේ මූලික පියවර රාජපක්ෂ මහත්තයා ගත්තා.

නමුත් අපේ ආණ්ඩුව විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කටයුතු නොකළත් අඩුම තරමින් විධායක ජනාධිපති ධූරයේ තටු කැපුවා. මෙය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න ඕන කියම මතයේ මම අදත් ඉන්නවා. අපේ ඊළඟ ජනාධිපතිවරයා මෙහි ඉතිරි කටයුත්තත් කරනවා.

ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුටම ඒක හා සමාන ලෙස සලකන ව්‍යවස්ථාවක් සකස් කරගත යුතු වෙනවා. ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වයථආරක්ෂාව සහ සමෘද්ධිය උදාකර ගැනීම සඳහා මේ තත්ත්වයට විසදුම් සෙවීම අත්‍යවශ්‍ය වෙනවා. මේ රටේ ඒකීයභාවය, ජාතික සමඟිය, සමෘද්ධිය වෙනුවෙන් මේ කටයුත්ත සිදු කළ යුතුයි.

Recommended For You

About the Author: Editor