දේශීය ගොවියා ගොවිතැනෙන් ඈත් කිරීමට වෙළෙන්ඳාට කිසිසේත් ඉඩ දෙන්නෑ – කෘෂිකර්ම ඇමැති පී. හැරිසන්

පියලි රහිත ආනයනික සුදු උඳු කිලෝග්‍රෑම් 01ක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩබද්ද රුපියල් 400 දක්වා ඉහළ දැමීමට අවශ්‍ය කටයුතු කරන මෙන් නිලධාරීන්ට  උපදෙස් ලබා දුන්නා

දේශීය ගොවියා ගොවිතැනෙන් දුරස්කීරීමට වෙළෙන්දා සෘජුවම කටයුතු කරන බවත් තමා ඊට කිසිසේත් ඉඩ නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

මාදම්පේ ගොවිජන සේවා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කරමින් ඔහු මේ බව  පැවසීය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, 

“කෘෂිකර්ම අමාත්‍යවරයා විදිහට අප අමාත්‍යාංශය මඟින්  ක්‍රියාත්මක කෙටිකාලීන මෙන්ම දිගුකාලීන වැඩසටහන යටතේ දේශීයව වගා කළහැකි බෝග වර්ග 5කින් ස්වයංපෝෂිත වීම අපගේ ඉලක්කය වී තිබෙනවා. මම කෘෂිකර්ම අමාත්‍යවරයා විදිහට දිවුරුම් දුන්නට පස්සේ මුං,බඩඉරිඟු,සෝයා, උඳුවල ආනයනික බදු වැඩි කළා. ඒ දේශීය ගොවියා රැකගන්න. 

ඒ අනුව එම භෝග අතර දේශීයව වගාකරනු ලබන වියළි කලාපයට ආවේණික උඳුභෝගය සඳහා වැඩසටහන් ගණනාවක් ක්‍රියත්මක වෙමින් පවතිනවා. විශේෂයෙන් අතිරේක ආහාර භෝග සඳහා වැයවන විශාල ආනයනිකමුදල අවම  කර ගැනීම සහ දේශීය ගොවියාට සාධාරණ මිලක් ලබාදීම තුළ මෙම භෝගයන්ගෙන් ස්වයංපෝෂිතවීම මෙහි ප්‍රධාන අරමුණ වෙලා තියෙනවා. මෙම අරමුණ යටතේ මෙම වසර අරම්භය තුළ ආනයනික උඳු කිලෝග්‍රෑම් 01ක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 200 දක්වා ඉහළ දැමීමට මම කටයුතු කරනු ලැබුවත්, මේ වන විට මෙම බදු මුදල පදනම් කරගෙන පියලි රහිතව සුද්ද කරනු ලබන, එනම් සුදු උඳු ද මෙම බදු මුදලටම ආනයනය කරන්න වෙළෙඳුන් කූට ලෙස කටයුතු කරගෙන යනවා.  හොර පාරෙන් උඳු ඇට වෙනුවට පියලි කළ උඳුඅඩු මිලට වෙළඳපලට ඇවිත්. එම නිසා උඳු සඳහා යොදනු ලැබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තුළින් අපේක්ෂිත අරමුණ ඉටු වී ‍නොමැති බව මම දැක්කා.

මෙම දිනවල අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කයන්හි යල කන්නයේ දේශීය උඳු අස්වැන්න වෙළෙඳපොළට  ලැබෙමින්  පැවතීමත්, ආනයනික සුදු උඳුඅඩු මිලට වෙළෙඳපොළ තුළ බහුලව පැවතීමත් සමඟ තත්ත්වයෙන් ඉහළ දේශීය උඳුසඳහා ඉතා අඩු මිලක් තීරණය වී ඇති බැවින්, එම පියලි රහිත උඳු ආනයනය සීමා කිරීමට කටයුතු කිරීමට මම තීරණය කළා.

 ඒ අනුව පියලි රහිත ආනයනික සුදු උඳු කිලෝග්‍රෑම් 01ක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩබද්ද රුපියල් 400 දක්වා ඉහළ දැමීමට අවශ්‍ය කටයුතු කරන මෙන් නිලධාරීන්ට  උපදෙස් ලබා දුන්නා. දේශීය උඳු ප්‍රමාණවත් ලෙස වෙළෙඳපොළ තුළ පැවතීම නිසා පාරිභෝගිකයාට බලපාන දැනට පවතින වෙළෙඳපොළ මිලෙහි කිසිදු ඉහළ යාමක් මේ තුළ සිදු වෙන්නේ නැතැයි”  ඔහු පැවැසීය.

Recommended For You

About the Author: Editor