වල්අලි ගහලා මැරුණ අනුරාධපුරේ ගොවීන්ට කෝටියක් වන්දි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වල් අලි ප්‍රහාරවලින් මියගිය පුද්ගලයන් හත් දෙනකුට  රුපියල් ලක්ෂ 35ක වන්දි මුදලක් මේ වන විට රජයෙන් ප්‍රදානය කර ඇතැයි අනුරාධපුර දිසාපති ආර්.එම්.වන්නිනායක මහතා පැවසීය.

මෙම(2019) වසරේ මාර්තු,අප්‍රේල්,මැයි මාස තුනේ දි මියගිය පුද්ගලයන් හය දෙනෙකු සහ පසුගිය (2018)වසරේ සැප්තැම්බර් මාසයේ මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් මෙම වන්දි මුදල් පිරි නමා ඇත්තේ ආපදා කලමනාකරණ අමාත්‍යංශය මඟිනි.

මියගිය අයගේ නීත්‍යානුකූල බිරිය හෝ යැපෙන්නන් සඳහා වන්දි අයදුම් පත්‍ර සම්පූර්ණ කිරීමෙන් පසු,අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ඒවා පිරිනැමීමට අනුරාධපුර ආපදා සහන වන්දි කමිටුව පසුගිය ජුනි 18 වැනිදා පැවැති විශේෂ රැස්වීමේදී අනුමැතිය දී ඇත.

වන්දි ප්‍රදානයට අදාල නිර්ණායක සම්පූර්ණ කළ පසුව මෙම වන්දි මුදල් හිමිවූයේ මෙම වසරේ මාර්තු 07 වැනිදා මියගිය තඹුත්තේගම එස්.වසන්ත,මාර්තු 26 වැනිදා මියගිය කැබිතිගොල්ලෑව ඩබ්ලිව්.සී.එම්.විජේරත්න, මාර්තු 27 වැනිදා මියගිය කහටගස්දිගිලිය ආර්.ගුණවර්ධන,අප්‍රේල් 15 වැනිදා මියගිය නොච්චියාගම කේ.රලපනාව, මැයි 01 වැනිදා මියගිය අනිල් ප්‍රදීප් කුමාර වෙනුවෙන් සහ 2018 සැප්තැම්බර් 09 වැනිදා මියගිය තඹුත්තේගම රුවන් කුමාර යන අය වෙනුවෙනි.

මේ අතර වල්අලි ප්‍රහාරවලට ලක් වී බරපතල තුවාල වී ආබාධිත වූ දෙදෙනෙකුට රුපියල් දෙලක්ෂ නවදහස් හාරසිය හතළිස් පහක් ද දේපළ හානි වෙනුවෙන් රුපියල් දහඅට ලක්ෂ දාහතර දහස් පන්සිය හැත්තෑ පහක්ද ප්‍රදානය කර ඇතැයි දිසාපතිවරයා කීවේය.

පසුගිය 2018  වසරේ දී වල් අලි ප්‍රහාරවලට ලක්ව පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් ඇත. ඔවුන් වෙනුවෙන් ගෙවා ඇති මුළු වන්දි ප්‍රමාණය රුපියල් ලක්ෂ 65කි.

අනුරාධපුර වනජීවී කලාපය ඇතුළත අලි-මිනිස්  ගැටුම මෙම මාස කිහිපයේදී උග්‍ර අතට හැරී ඇතැයි ගොවි ජනතාව මෙන්ම වනජීවී නිලධාරීහු ද පවසති.දැඩි වියළි කාලගුණ වටපිටාව නිසා වල් අලින් ගම්වැදී ගොවි බිම්වල වගාවන් කා දමා විනාශ කිරීම දිනපතාම පාහේ අසන්නට ලැබේ.

පසුගිය ජූනි මාසයේ දී ද වල් අලි ප්‍රහාරවලට ලක්වීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු මියගොස් ඇති බව අනුරාධපුර වනජීවී දෙපාර්තමේන්තුවේ තොරතුරුවලින් අනාවරණය වේ.

Recommended For You

About the Author: Editor