හදිසි නීතියට සහය දුන්නේ ජාතික ආරක්ෂාවට මිස ආණ්ඩුව ආරක්ෂා කරන්න නොවෙයි – ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

වත්ත්මන් ජනපති එල්ලලා මැරුවත් ඊළඟ ජනපති ඒක කරන එකක් නෑ

හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව මීළඟට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ දී ඊට සහය දීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය වශයෙන් තීන්දුවක් ගැනීමට සිදුවන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජයට සහාය වීමක් වශයෙන් හදිසි නීතිය සම්මත කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සහාය ලබා දුන්න ද කම්කරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් කප්පාදු කිරීම සඳහා ආණ්ඩුව හදිසි නීතිය යොදා ගනිමින් සිටියි.

ආණ්ඩුවට විරෝධතාවය දක්වන පිරිස් මර්දනය කිරීම සඳහාත්, විරෝධතා උද්ඝෝෂණ ආදිය පැවැත්වීම වැළැක්වීම සඳහාත්, ආණ්ඩුව හදිසි නීතිය උපයෝගී කර ගැනීම අනුමත කළ නොහැක.

ජාතික ආරක්ෂාවට වැදගත් වන හදිසි නීතිය සම්මත කර ගැනීම සඳහා යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනයේ දී ආණ්ඩුපක්ෂ නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ගේ සහභාගිත්වය අවම වීම සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා හදිසි නීතිය සම්මත කරගැනීමට ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සහාය නොදක්වන බව පෙන්වා දුන්නේය.

පාස්කු ප‍්‍රහාරයෙන් පසුව උතුරට හමුදා ආරක්ෂාව ඉල්ලා සිටියද දෙමළ ජාතික සන්ධානය මේ වන විට හදිසි නීතිය දීර්ඝ කිරිමට විරෝධය පළ කරන බව ඊයේ පාර්ලිමේන්තුවේදී හොදින් පැහැදිලි විය.

මේ වන විට රටේ ආරක්ෂාව තහවුරු කර ඇත්නම් දළදා පෙරහර සහ වෙනත් ආගමික කටයුතු පැවැත්වීමේ දී දැඩි ආරක්ෂාවක් යොදන්නේ මන්දැයි මෙහිදී ප‍්‍රශ්න කළ මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරු හදිසි නීති සම්මත කිරීමට සහය දක්වන්නෙ රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම පිණිස බවද අවධාරණය කළේය.

මේ අවස්ථාවට එක්වූ මොණරාගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත බේරුගොඩ මහතා සඳහන් කළේ ඕනෑම රටකට ශක්තිමත් නීතියක් තිබිය යුතු බවයි. සෑම ජන කොටසකටම නීතිය සමාන විය යුතු අතර ජාතික ආරක්ෂාව තහවුරු කිරීම මගින් සියලූ ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ හැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

නමුත් අපේ රටේ සිදු වන්නේ විවිධ ජන කොටස්වල ඡන්දය ඉලක්ක කරගෙන නීතිරීති සකස් කිරීමක් බව ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කළ ද සිරිසේන මහතාගෙන් පසුව පත්වන ජනාධිපතිවරයා විසින් මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කරන්නේ යැයි අනුමාන කළ නොහැකි බව මේ අවස්ථාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තාරක බාලසූරිය මහතා සඳහන් කළේය.

එම නිසා මාස තුන හතරකට තුන් හතර දෙනෙක් එල්ලා මැරීම මගින් රටේ ප‍්‍රශ්න විසඳෙන්නේ නැති බව වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තේරුම් ගතයුතුව ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor