New Vision : වත්මන් දේශපාලනය සන්දර්භය තුළ එජාපයට තනිව ජනපතිවරණයක් ජයගත හැකිද ? 01 කොටස

නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ, ජාතික සංවිධායක, ජාතික හෙළ උරුමය

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට සන්ධාන ගත නොවී තනිව තරග කර ජනපතිවරණය පහසුවෙන් ජයග‍්‍රහණය කළ හැකි බවට මතයක් ඇතැම් එජාප නායකයින් තුළ මෙන්ම පාක්ෂිකයින් තුළ ද තිබෙන බවක් දැකිය හැකිය.

ඇත්තටම එජාපයට තනි පක්ෂයක් ලෙස ජනපතිවරණයට තරගකර ජයග‍්‍රහණය කළ හැකිද ? වත්මන් දේශපාලන හා සමාජ ප‍්‍රවණතා තුළ එජාපයට එවැනි අවස්ථාවක් තිබේද ? යන්න ගැන ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක, පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා සංඛ්‍යාන විද්‍යාත්මකව කළ විග‍්‍රහයක පළමු කොටස අද පළ වේ.

දේශපාලනයේ යථා ස්වභාවය ගැන හුදු ජනප‍්‍රියවාදී කතිකාවට අභියෝග කරමින්, ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව පුළුල් කරමින් මෙම සංවාදයට ඉදිරියට ගෙන යාමට අපි පියවර ගන්නෙමු.

1977 පැවති පාර්ලිමේන්තු මැතිවරණවය 5/6 බලයක් ලබාගෙන එක්සත් ජාතික පක්ෂ නායක ජේ.ආර්.ජයවර්ධන අගමැති ලෙස තේරී පත්විය.

1978 ආණඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අන්තර්කාලීන විධිවිධාන අනුව 1978 පෙබරවාරි 04වෙනිදා ජේ.ආර්.ජයවර්ධන ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන ලදි.

1978 ජනාධිපති ආණ්ඩුක‍්‍රමයට අනුව විධායක ජනාධිපතිවරයාගේ ධූරකාලය අවුරුදු 06කට සීමා විය. එහෙත් 1982-08-26 වන දින ගෙන එනු ලැබු තුන්වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව වසර 04ක් ගතවීමෙන් පසු ජනාධිපතිරණයක් කැඳවීමේ විධිවිධාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එකතු කරන ලදි.

ඒ අනුව ජේ.ආර්.ජයවර්ධන තම ධූරකාලය වසර 04ක් සම්පූර්ණ වූ පසුව ජනාධිපතිවරණයක් කැඳවීමට තීරණය කර ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කළහ. ඒ වන විටත් තම ප‍්‍රතිවාදිනිය වූ සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ප‍්‍රජා අයිතිය අහෝසිකොට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට සෘජුවත් වක‍්‍රවත් පහර පිට පහර දී අඩපන කොට තිබිණි.

ලංකාවේ වාමාංශික ව්‍යාපාරයද 80 වැඩ වර්ජනයෙන් පසු හෙම්බත් වී තිබිණි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සීසීකඩ කර එකිනෙකාට එරෙහිව කාකොටා ගන්නා තත්ත්වයට පත්කර තිබුණු අතර ජනාධිපතිවරණයකට වාසිදායකම හොඳම අවස්ථාව ලෙස සැලකු වසර 04 සම්පූර්ණ වූ අවස්ථාවේ ජේ.ආර්.ජයවර්ධන මැතිවරණය සඳහා සුදානම් වන ලෙස තම පක්ෂයටත් මැතිවරණ කොමසාරිස්වරයාටත් දැනුම් දෙන ලදි.

තම ප‍්‍රතිවාදී පක්ෂය වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය දෙකඩවීමේ මෛතී‍්‍රපාල සේනානායක, අනුර බණ්ඩාරනායක, එක පිළකටත් සිරිමා බණ්ඩාරනායක, හෙක්ටර් කොබ්බෑකඩුව, ටී.බී.ඉලංගරත්න, විජය කුමාරතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක තව පිළිකටත් බෙදී තිබිණි. මේ අවස්ථාව කරගත් ජේ.ආර්.ජයවර්ධන 1982 සැප්තැම්බර් 17 වෙනිදා ප‍්‍රථම ජනාධිපතිවරණයට කොළඹ නගර සභා කාර්යාලයේ දී නාමයෝජනා පත් භාරගනු ලැබීය. නාමයෝජනා පත‍්‍ර 09ක් ඉදිරිපත් වූ අතර ඉන් 03ක් ප‍්‍රතික්ෂේප විය. ප‍්‍රතික්ෂේප වූ තිදෙනා ස්වාධින අපෙක්ෂකයින් විය. දේශපාලන ඉතිහාසය අධ්‍යනය කරන්නන්ගේ ප‍්‍රයෝජනය සඳහා එම නම් තුනද පහතින් සඳහන් කරන්නෙමු.

  1. ස්වාධින අපෙක්ෂක එස්.ඒ.විජේසූරිය
  2. ස්වාධින අපේක්ෂක එන්.එම්.කීර්තිරත්න
  3. ස්වාධින අපෙක්ෂක මුදියන්සේ තෙන්නකෝන්

නාමයෝජනා භාරදී පිළිගත් අපේක්ෂයින් (1982 සැප්තැම්බර් 17)
01. එක්සත් ජාතික පක්ෂයෙන් ජේ.ආර්.ජයවර්ධන
02. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව
03. ලංකා සමසමාජ පක්ෂයෙන් කොල්වින් ආර්.සිල්වා
04. ජනතා විමුක්ති පෙරමුණෙන් රෝහණ විජේවීර
05. නව සම සමාජ පක්ෂයෙන් වාසුදේව නානායක්කාර
06. සමස්ත ලංකා ද්‍රවිඩ සංගමයෙන් කුමාර පොන්නම්බලම්

හෙක්ටර් කොබ්බෑකඩුව

1982 ප‍්‍රථම ජනාධිපතිවරණ ඡුන්ද විමසීම ඔක්තෝම්බර් 20 වෙනිදා පැවැත්වුණු අතර ඡන්ද ප‍්‍රතිඵලය පහත වගුවෙන් දැක්වේ.

ලියාපදිංචි මුඵ ඡන්ද සංඛ්‍යාව – 8,145,015
ඡන්දය දුන් සංඛ්‍යාව – 6,602,617 ප‍්‍රතිශතය 81.06%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 80,470 ප‍්‍රතිශතය 0.99%
වලංගු ඡන්ද සංඛ්‍යාව – 6,522,147 ප‍්‍රතිශතය 80.07%

මේ අනුව ප‍්‍රථම ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර්.ජයවර්ධන 52.91%ප‍්‍රතිශතයක් ලබා ගනිමින් ශී‍්‍ර ලංකාවේ මහජන ඡන්දයෙන් තේරී පත්වූ ප‍්‍රථම ජනාධිපතිවරයා විය.

එහෙත් මධ්‍යස්ථ දේශපාලන විචාරකයින් හා විශ්ලේෂිකයින් පවසන්නේ 1982 ජනාධිපතිවරණ සටන නැමැති රේස් එකට ජේ.ආර්.නැමැති අශ්වයා තරග කිරීමට ප‍්‍රතිවාදි අශ්වයා ලෙස කැඳවාගනු ලැබුවේ කකුල් කැඩුණු නොන්ඩි ගසන අශ්වයෙකු බවයි. එම නිසා එම ජයග‍්‍රහණය නිවට නියාලූ තියුණු තරගයකින් තොර ජයග‍්‍රහණයක් බවයි. එහෙත් බල දේශපාලනයේ දී තම ප‍්‍රතිවාදියා අවතක්සේරු නොකර දුර්වල කිරීමට ජේ.ආර්.ගේ උපායශීලිත්වය ශූර බුද්ධිය හා සැළසුම් විශිෂ්ඨ බව ඇතැම් දේශපාලන විචාරකයින්ගේ මතයයි.

එක්සත් ජාතික පක්ෂය තනි පක්ෂයක් ලෙස ජනාධිපතිවරණයක් ජයගත් පළමු අවස්ථාව පිළිබඳව දේශපාලන ගණිතය හා දේශපාලන සංඛ්‍යාන විද්‍යාව හදාරන දේශපාලන විද්‍යාර්ථයින් වත්මන් දේශපාලනයේ අලංකාරොක්්තින්ගෙන් හා අතිශයොක්තින්ගෙන් තොරව දේශපාලන යථාර්ථය තේරුම් ගත යුතුය. තවද එක්සත් ජාතික පක්ෂයේ ස්වර්ණමය යුගය තුළ එම ජයග‍්‍රහණය ලබාගත් බවද මතක තබාගත යුතුය.

ජේ.ආර්.ගේ.ජයග‍්‍රහණයට කරඋර දුන් කණ්ඩායමේ ලලිත්, ගාමිණි, පේ‍්‍රමදාස, රොනි, ආනන්ද තිස්ස ද අල්විස්, වික‍්‍රම වීරසූරිය ඇතුඵ බලගතු කණ්ඩායමක් සිටි බව අමතක නොකළ යුතු අතර ඔවුන් විශාල මෙහෙයක් එම ජයග‍්‍රහණය වෙනුවෙන් පසුබිමේ සිට ඉටුකරනු ලැබීය.

Recommended For You

About the Author: Editor