News of the day: එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඇත්තටම සිදු වුණේ කුමක්ද ?

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගත් නව දේශපාලන සන්ධානයක් බිහිකිරීම සම්බන්ධව අද (01) එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත්වූ යෝජනාව සම්බන්ධයෙන් ඇති සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා හෙට (02) දක්වා කාලය ලබාදීමට තීරණය කර ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එම සංශෝධන එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් වෙත ලබාදෙන ලෙස දන්වා ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (01) පක්ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැුස් වුණ අතර එහිදී නව දේශපාලන සන්ධානය පිහිටුවීම පිළිබඳ යෝජනාව ඉදිරිපත් වුණා. එහිදී සිදු වූ බව කියන සිදුවීම පිළිබඳ පක්ෂ නායකත්වය පිළිගත හැකි නිල ප‍්‍රකාශයක් මේ වන තෙක් ප‍්‍රසිද්ධ නොකිරීම තුළ ඒ ඒ පාර්ශ්ව විසින් තම තමන්ගේ න්‍යාය පත‍්‍ර අනුව විවිධ පුවත් මවමින් සිටින තත්ත්වයක් දැකිය හැකියි.

මේ තත්ත්වය තුළ අද ඇත්තටම එජාප කෘත්‍යාධිකරී මණ්ඩලයේ සිදු වූ දේ ගැන නිවැරදි ප‍්‍රවෘත්තියක් වාර්තා වන්නේ නැහැ.

එජාප නායකයාට එරෙහිව ඍජුව ක‍්‍රියාත්මක වන මහරාජා මාධ්‍ය ජාලයට අයත් ‘නිවුස් ෆස්ට්’ නාලිකාව කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ සිදු වූ බව කියන පුවත වාර්තා කළේ ‘‘එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීමේදී ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ’ නමින් නව දේශපාලන සන්ධානයක් බිහි කිරීම සඳහා වූ යෝජනාව සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප වූ බව’’ සඳහන් කරමිනුයි.

මෙම සිදුවීම ම රජයට අයත් ස්වාධීන රූපවාහිනිය වාර්තා කළේ ‘‘නව සන්ධානයකට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල එකඟතාව’’ යනුවෙනුයි. එම වාර්තාවට අනුව,

එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පිහිටුවීම සඳහා වූ ව්‍යවස්ථා කෙටුම්පත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා. ඒ අනුව නව පෙරමුණ මේ මස 5 වනදා ස්ථිර වශයෙන්ම පිහිටුවීමට පක්ෂයේ අනුමැතිය ලැබුණ බව සඳහන් වෙනවා.

එහි වැඩි දුරටත් මෙසේ ද සඳහන් වෙනවා.

නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම සඳහා වන යෝජනාවට එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, සභාපති කබීර් හෂීම්, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරල, රවී සමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා, ඉරාන් වික්‍රමරත්න, දිලිප් වෙදආරච්චි සහ නලීන් බණ්ඩාර යන අය පමණක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර සුජීව සේනසිංහ සහ අජිත් පී පෙරේරා යන මහත්වරුන් සන්ධානයට එරෙහිව අනවශ්‍ය ලෙස කලබලකාරී ලෙස හැසිරී තිබෙන බවයි අයි.ටී.එන්. වාර්තා කළේ.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඔවුන්ට දැඩිව අවවාද කර ඇති අතර සභාවක් තුළ හැසිරීමට ඉගෙන ගන්නා ලෙසට දැනුම් දී තිබෙනවා.

නවීන් දිසානායක, ජෝන් අමරතුංග ඇතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් නව සන්ධානය පිහිටුවීමේ වැදගත්කම දිගින් දිගටම පෙන්වා දී දුන් බවයි අයි.ටී.එන් පුවත් වැඩි දුරටත් වාර්තා කළේ.

මෙම විරෝධතා මැද නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ, එක්සත් ජාතික පෙරමුණ සමග දැනට සම්බන්ධවී සිටින පක්ෂ නායකයින් හා නව පක්ෂ නායකයින් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසු මෙම ව්‍යවස්ථාව සකස් කිරීමට කටයුතු කළ බවයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් කළ එජාප මහ ලේකම්, ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී වැඩි ඡන්දයෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ව්‍යවස්ථාව සම්මත වීමත් සමග නව සන්ධානය ඉක්මනින්ම පිහිටුවන බවයි.

එහෙත් නව සන්ධානයට අදාළ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් එකඟතාවක් ඇති නොවුණ බවත්, සන්ධානයට අත්සන් තබන දිනය පිළිබඳව එකඟතාවක් නොමැති බවත් පවසා සිටි ඇමැතිවරයා, ව්‍යවස්ථාවට ගෙන එන වෙනස්කම් සම්බන්ධයෙන් පක්ෂ නායකයන් එකඟ වීමෙන් අනතුරුව නැවතත් යෝජනාව ඉදිරිපත් කරන බවත් ඇමැතිවරයා තම ට්වීටර් ගිනුමේ වැඩි දුරටත් සඳහන් කළා.

The working comm of @officialunp unanimously agreed to build t alliance. But we did not have agreement on its proposed Constitution. We decided to reconvene after t leaders of constituent parties agree on t amendments. Also no agreement yet on date of launch event.

ඇමති හර්ෂ ද සිල්වාගේ ට්වීටර් ගිනුමට එක්කර තිබූ නව සන්ධානයේ ව්‍යවස්ථාව

මේ සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේ,ිප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් නව සන්ධානයක් බිහි කිරීම සඳහා අත්සන් කිරිමට නියමිත ගිවිසුමට හා 5 දා මෙම ගිවිසුම අත්සන් කිරීමටත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විරෝධය පළ වූ බවයි. නව සන්ධානයේ මහ ලේකම් ධුරය එක්සත් ජාතික පක්ෂයේ නොවන අයෙක්ට ලබාදීමට ගෙන තිබූ යෝජනාවට ද විරෝධයක් එල්ල වූ බවද අජිත් පෙරේරා මහතා වැඩි දුරටත් සඳහන් කළා.

අජිත් පී පෙරේරා මහතාට අනුව සජිත් ප්‍රේමදාස මහතා තමන් මහ ලේකම් ධුරය භාර ගැනීමට සූදානම් බව ප‍්‍රකාශ කර තිබෙන අතර සන්ධානය හා අපෙක්ෂකයා එළි දැක්වීම ජයග්‍රාහී ලෙස කොළඹ ගෝල් ෆේස් පිටියේදි සිදුකළ යුතු බවට ද යෝජනා කර තිබෙනවා.

මේ අතර අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ බැල්ලගස්වැව ප්‍රදේශයේ ඉදිකළ ‘සෙන්පති නන්දිමිත්‍රගම’ උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට‍ සහභාගී වෙමින් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කළේ, ‘‘දැන් කතා දෙකක් නැහැ අපි එළිපිට වැඩේට බැහැල සිටිනවා. කවුරුන් කුමන බාධක දැම්මත් සජිත් ප්‍රේමදාස වැඩේට සූදානම් බව වගකීමෙන් ප්‍රකාශ කරනවා’’ යනුවෙනුයි.

එජාපයේ අභ්‍යන්තර බල අරගලය හේතුවෙන් නව දේශපාලන සන්ධානය බිහිකිරීමට දැවැන්ත විරෝධයක් එල්ල වුවත් මධ්‍යස්ථ බහුතර සඳහන් කරන්නේ වත්මන් දේශපාලන ප‍්‍රවණතා අනුව එජාපයට පුළුල් සන්ධානයක් ගොඩනැගීමෙන් තොරව ජනපතිවරණය ජයග‍්‍රහණය කළ නොහැකි බවයි.

Recommended For You

About the Author: Editor