Press Conference: ‘රනිල් ජනපති – සාගල අගමැති’ තමයි අගමැති රනිල්ගේ අලූත්ම සැලසුම- රමේෂ් පතිරණ

ශ‍්‍රීලනිපයේ බිම් මට්ටමේ බහුතරය පොහොට්ටුව වටා එක්වෙනවා

නවීන්ගේ දේශපාලන ගමන හදන්න කරු දිගටම වැඩ

පේ‍්‍රමදාස ජනාධිපති යුගයේ සිදුවණුු දේවල් අපේ වැඩිහිටියන්ට තවම හොඳට මතකයි

සාෆි ඇප ලබා දීම පිළිබඳව ජනතාව සිටින්නේ කලකිරීමකින්

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ බහුතරය පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වුණ නමුත් ඉදිරියේදී අනිවාර්යෙන්ම එම බහුතරය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණත් සමග එක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී රමේෂ් පතිරණ මහතා කියයි. මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (02) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී ය.

මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් පළ කළ මන්ත‍්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය දිනෙන් දින උණුසුම් වෙනවා. සමස්ත ජනතාවම බලාගෙන ඉන්නෙ අගෝස්තු 11 වෙනිදා අපේ ජනාධිපති අපේක්ෂකයා එළි දක්වන තුරු. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික නායකත්වයට මහින්ද රාජපක්ෂ මහතා නම් කිරීමත්, හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස අනිවාර්යෙන් පත්වන ශ‍්‍රී ලංකා පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමත් එහිදී සිදු කෙරෙනවා.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් විදියට ග‍්‍රාමීය මට්ටමෙන් තරුණ කාන්තා සහ සියලූ ආසන බල මණ්ඩල මේ වන විට සංවිධානය කෙරෙමින් පවතිනවා. මේ වගේ දැවැන්ත ශක්තියක් සහිත පක්ෂයක් විදියට ලංකාවේ තිබෙන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණයි. රටම බලාපොරොත්තු වෙන අනාගත නායකයා ගේ ජනාධිපති අපේක්ෂක සම්ප‍්‍රාප්තිය රටේ දේශපාලන දරිද්‍රතාවය, සමාජමය කඩා වැටීම සහ ආර්ථිකමය ගැටලූ ඉවත් වීම කෙරෙහි ඍජුව බලපායි කියා අප විශ්වාස කරනවා.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රතිපත්ති රාමුව පිළිබඳ විද්වත් වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් මේ වන විට සියලූ කාරණා සාකච්ඡ කරමින් ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සකස් කිරීමට පියවර ගනිමින් සිටිනවා. අපේ ආණ්ඩුව කාලේ මහින්ද චින්තන වැඩසටහන සහ 2010 දී අපි ඉදිරිපත් කරපු ’මහින්ද චින්තන‘ ඉදිරි වැඩසටහන් මාලාව ඉතා සාර්ථක ලෙස කි‍්‍රයාත්මතක කළා.

එම වැඩසටහන්වලින් සියයට 75වඩා අවසන් කර තිබියදී තමයි අපි රට භාර දුන්නෙ. ජාතික ආරක්ෂාව රටේ ආර්ථික සමෘද්ධිය සහ තරුණ පරපුර බලගැන්වීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපත්ති රාමුවක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේදී එළිදැක්වීමට නියමිතයි. එය අප ලබන සැප්තැම්බර් මාසයේදී ජනගත කිරීමට අපේක්ෂා කරනවා. එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ස්ථිරසාර වැඩසටහනක් වශයෙන් ඉදිරිපත් කරමින් එයින් සියයට අනූවකට වඩා වැඩි ප‍්‍රමාණයක් අපේ රජයක දී අවසන් කිරීමට අපි වැඩසටහන් සකස් කොට තිබෙනවා. මේ ආණ්ඩුව බලයට පත් වූ දා සිටම ආරක්ෂාව සම්බන්ධයෙන් රටේ සැක සංකා මතු වුණා.

අද වෙනකොට මහබැංකු අධිපතිවරයාට කියනවා, දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධනය සහිත රට බවට ශ‍්‍රී ලංකාව පතව තිබෙන බව. ඉන්දියාව බංගලිදේශය පකිස්ථානය සහ මියන්මාරය මේ වෙනකොට 5% කට වඩා වැඩි ආර්ථික වර්ධනයක් ළඟාකර ගෙන තිබෙනවා. පළමු කාර්තුව වන විට අප සිටින්නේ ඇෆ්ගනිස්ථානයට වඩා උඩින් එක් පියවරක් පමණයි. වසර අවසාන වනවිට 2% තරම් ආර්ථික වර්ධනය පහළ වැටෙනු ඇතැයි මහ බැංකු අධිපතිවරයාම ප‍්‍රකාශ කලා. එය දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධන වේගයයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට අපි අනාගත තරුණ පරපුර බලගැන්වීම සඳහා ශක්තිමත් වැඩසටහනක් සකස් කරමින් පවතිනවා. ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අපි හොඳ ශක්තිමත් තීරණයක ඉන්නවා.

නමුත් එක්සත් ජාතික පක්ෂය අද අවුලෙන් අවුලට පත් වෙලා. එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ විශාල අරගලයක් මතුවුණා. එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් කුමන ප‍්‍රකාශ කළත් එම අර්බුදය රටට හංගන්න පුළුවන් කමක් නැහැ. ජනාධිපති අපේක්ෂක බලාපොරොත්තුව ඉටුකර ගැනීම සඳහා සජිත් පේ‍්‍රමදාසගේ නම යෝජනා කරලා ස්ථිර කරයි කියල තමයි ඊයේ හම්බන්තොට පිළිගැනීමේ උත්සවය සූදානම් කළේ.

නමුත් රනිල් වික‍්‍රමසිංහ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කතා කරන්න සූදානම් වුණේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ නව ලේකම්වරයාගේ තනතුරට අදාළ යෝජනාව සම්මත කර ගැනීමටයි. රනිල් වික‍්‍රමසිංහ තමන්ගේ පක්ෂ නායකකමෙන් ඉවත් වෙන්න කිසිම සූදානමක් නැහැ. සජිත් පේ‍්‍රමදාස ජනාධිපති අපේක්ෂක වන බව දිගින් දිගටම විවිධ ප‍්‍රකාශ මඟින් තහවුරු කරන්න හැදුවත්, පක්ෂ නායකත්වයේ අකමැත්තෙන් ඒ සදහා ඉදිරිපත් වෙන්න කැමති නැති තත්ත්වයක් තිබෙන බවයි ආරංචි. මේ වෙනකොටත් පක්ෂ නායකත්වයේ ආශිර්වාදය නොමැති නිසා ජනාධිපතිවරනයට ඉදිරිපත් වෙන්න සජිත්ට සැබෑ අභිලාෂයක් නැහැ. තමන් වටේ ඉන්න පිරිසගේ අපේක්ෂා බිඳ හෙළන්න බැරි නිසා සජිත් පේ‍්‍රමදාස මේ වෙනකොට ජනාධිපති තරඟයට ඉදිරිපත් වන බවට යම් යම් ඉඟි පළ කරමින් ඉන්නවා. රනිල් ජනපති – සාගල අගමැති කියන සංකල්පය යටතේ ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා ක‍්‍රමයක් සකස් කිරීමයි මේ වෙද්දි අගමැතිවරයාගේ අභිලාෂය වෙලා තියෙන්නේ.

කරු ජයසූරිය මාධ්‍ය ඉදිරියේ ඡයාරූප ගනිමින් තමන්ගේ අතීතය පිළිබඳ වැඩසටහන් සකස් කරමින් අපේක්ෂකත්වය පිළිබඳ බලාපොරොත්තු සහගතව ඉන්නවා. නවීන් දිසානායක ගේ දේශපාලන ජීවිතය ස්ථාවර කරන්න කරු ජයසූරිය මහත්තයා මෙහෙම කරනවා. නමුත් සජිත් පේ‍්‍රමදාස අගමැති විදියට නම් කරන්න කෙනෙක් තවම හොයාගෙන නැහැ. එතුමාගේ පියාගේ කාලයේ අගමැතිට කාව පත්කළත් අගමැතිධූරයේ වැඩ කළේ ආර්යාවයි. එතුමියගේ නම ඇහුවාම රාජ්‍ය සේවකයෝ බියට පත්වුණා. තාත්තාගේ වැඩපිළිවෙළම ඉදිරියට ගෙන යන බව කියන නිසා සජිත් පේ‍්‍රමදාසත් ආර්‍යා සංකල්පය ඉදිරියට ගෙනියන්න සුදානමින් සිටිනවා ඇති.

පේ‍්‍රමදාස ජනාධිපති යුගයේ සිදුවණුු දේවල් අපේ වැඩිහිටියන්ට තවම හොඳට මතකයි. අපි පාසල් යන කාලේ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ අගමැති වුණේ. ටී.බී විජේතුංග මහතා. නමුත් එම ධුරයේ ඒ සියලූ කටයුතු ටික කළේ ජනාධිපති ආර්යාව. ඒ කාලේ ජනාධිපති ආර්යාව වගේ නම කියනකොටත් ජනතාව බයයි. සජිත් පේ‍්‍රමදාස මහත්තයා දිගින් දිගටම දිගටම කියනවා තමන්ගේ පියාගේ කාලයේ විදිහට වැඩ පිළිවෙඝ අරගෙන යන්න තමන්ට අපේක්ෂකත්වය දෙන්න කියලා. හැබැයි පේ‍්‍රමදාස ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පයින් ගහලා රටේ දෙකොන පත්තු කළා. ඒ ජනාධිපතිවරයා ගේ පුතා අද ඒ පාරේ යනකොට අපිට සැකයක් ඇතිවෙනවා. අපේක්ෂකත්වය ලැබෙන්නත් ඉස්සෙල්ලා ඒ පවුලේ අයගේ හැසිරීමත් එක්ක ඊට නොදෙවෙන තත්ත්වයක් ඇති වෙයි කියලා ජනතාව තුළ බියක් ඇති වෙනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ බහුතරය පළාත් පාලන මැතිවරණයේදී අපෙන් ඉවත් වුණා. ඊට හේතුව වුණේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් යම් යම් ගැටලූ ගැටලූ ඇතිවීමයි. නමුත් ඉදිරියේදී ඇතිවන බල කඳවුරු දෙකකට බෙදිමක් ඇති වෙනවා. එහිදී අනිවාර්යෙන්ම සාතිශය බහුතරය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණත් සමග එක්වන බවට මම විශ්වාසය පලකරනවා.

1993 ජනාධිපති මැතිවරණයේදී නන්දන ගුණතිලක තුන්වන ස්ථානයට වැඩිම ඡන්ද ප‍්‍රමාණයක්ලබාගෙන වාර්තාවක් පිහිටවලා තියෙනවා. ඔහු එදා ලබාගත් ඡන්ද ප‍්‍රමාණයට ළං වෙන්නවත් මෙවර තුන්වැනි අපේක්ෂකයෙකුට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි දන්නවා අපේ අපේක්ෂකයා ලෙහෙසියෙන්ම 50%ක ඡන්ද ප‍්‍රමාණය ඉක්මවන බව. මහජන නියෝජිතයින් විශාල වශයෙන් පිරිහිලා තිබෙන මේ කාලයේ ඔවුන්ගේ ගරුත්වය රැුකගෙන ඉදිරි දේශපාලනය ගොඩනැංවීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ උත්සහා දරනවා.

පසුගිය දවස්වල සාෆි වෛද්‍යවරයාගේ සිද්ධිය මහත් ආන්දෝලනයට ලක් වුණා. ඔහුට ඇප ලබා දීම පිළිබඳව ජනතාව සිටින්නේ කලකිරීමකින්. මේ කාරණේ පොලිස් දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රමාණවත් මැදිහත්වීමක් කළේ නැති නිසා තමයි වෛද්‍යවරයාට ඇප ලබා ගැනීමට හැකියාව ලැබුණේ. මේ පිළිබඳව ආණ්ඩුවේ බලවත් පිරිසක් මැදිහත් වුණාද කියලා අපිට සැකයක් තියෙනවා.

රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයා මැදිහත්වෙලා පෞද්ගලික මාධ්‍යයක් හරහා සාෆි වෛද්‍යවරයා නිදොස් කොට නිදහස් කර ගැනීමට උත්සාහ දරන බවට මේ දවස්වල මතයක් තියෙනවා. පෞද්ගලික මාධ්‍ය ආයතනයකට රුපියල් බිලියන 60ක මුදලක් ලබා දුන්නා කියලා පාර්ලිමේන්තුවේ සිටින වෛද්‍යවරයෙක්ද වෙන මන්තී‍්‍රවරයෙක්ගේ උපකාර ලැබුණු බවත් කියැවෙනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් එවැන් මැදිහත්වීමක් කළා නම් ඒ පිළිබඳව අපි අපගේ බලවත් කණගාටුව ප‍්‍රකාශ කරන්න ඕනේ.

හදිසි නිතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාම අපි සියලූ දෙනා පක්ෂව ඡන්දය පාවිච්චි කළා. නමුත් ආණ්ඩුව හදිසි නීතිය මූලික කරගෙන ශිෂ්‍ය අයිතීන් සහ වෘත්තිය සමිති සහ සේවකයින් පාලනය කිරීමට ගෙන යන වැඩපිළිවෙළ අනුමත කරන්න බැහැ. මේ වෙනකොට දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරලා. තැපැල් අත්‍යවශ්‍ය සේවාවක් කරලා. දේශපාලන අරගල මර්දනය කරන්න ඉදිරි මැතිවරණයේදී මේ හදිසි නිතිය භාවිතා කරන්න පුලූවන් කියලා අපිට සැකයක් තියෙනවා. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධ සියලූ සැකකරුවන් අත්අඩංගුවට අරගෙන ඉවර නම් සීයට සීයක් නීතිය ස්ථාපිත කරයි කියලා අගමැතිවරයා සහ ජනාධිපතිවරයා දිගින් දිගටම සහතික වෙනවා නම්, හදිසි නීතිය අවශ්‍ය ද කියලා ප‍්‍රශ්නයක් මතු වෙනවා. ඒ නිසා අපි ඉල්ලනවා හදිසි නීතිය පිළිබඳ නැවත සලකා බලලා, එය ඉවත් කරලා සාමකාමී නිදහස් මැතිවරණයක් පවත්වන්න ඉඩ ලබා දෙන්න කියලා.

Recommended For You

About the Author: Editor