ඉංග්‍රීසි ඉගෙන ගන්නේ කොහොමද?

ලොව වැඩිම පිරිසක් ඉගෙන ගන්නා භාෂාව ඉංග්‍රීසි බව ඔබ දැන සිටියාද?

මේ වන විට ලොව පුරා බිලියන 1.5ක් පමණ ජනතාව ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය කරති. බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සංඛ්‍යා ලේඛන අනුව වසර 2020 වන විට එම පිරිස බිලියන දෙකක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතය.(British Council figures)

“ඉංග්‍රීසි භාෂාව යනු සාහසික ලෙස අවිධිමත් භාෂාවක්” යැයි ප්‍රමුඛ පෙළේ පිටපත් සංස්කාරකවරයකු වන බෙන්ජමින් ඩ්‍රයර් පවසා ඇති හෙයින් එය ඉගෙන ගන්නා සියලු දෙනාට වාසනාව උදා වේවා!

කෙතරම් දුෂ්කර වුවත් එය අතහැර දැමූ පිරිස බහුල නොවේ. එය නව යුගයේ පොදු බස බවට පත්ව ඇත.

විද්‍යාව, කලාව, මූල්‍ය ක්ෂේත්‍රය, ප්‍රකාශන ලෝකය, ක්‍රීඩා, දේශපාලන සහ සංචාරක ක්ෂේත්‍රය යනාදී සියල්ල ඉංග්‍රීසි බසට නතු වී හමාර ය.

භාෂා විශේෂඥ ඩේවිඩ් ක්‍රිස්ටල් ගේ ඇස්තමේන්තුව අනුව මව් භාෂාව ලෙස ඉංග්‍රීසිය වහරන සමස්ත ජනකාය මිලියන 400කි.

තවත් මිලියන 700ක් හෝ 800ක් පමණ දෙවැනි භාෂාව වශයෙන් ඉංග්‍රීසි බස වහරන්නේ ඔවුන් ජීවත් වන රටේ ඉංග්‍රීසි භාෂාවෙන් ද බොහෝ කටයුතු සිදුවන බැවිනි. උදාහරණයක් ලෙස නයිජීරියාව හෝ ඉන්දියාව දැක්විය හැක.

ඉංග්‍රීසිය විදෙස් බසක් වශයෙන් හදාරා කතා කරන්නන් ද මිලියන ගණනක් ලොව පුරා සිටිති. රුසියානුවන් සහ චීන ජාතිකයන් ඊට කදිම නිදසුන් ය. තම රට තුළ එය භාවිතා නොවන නමුත් විදෙස් බසක් ලෙස ඉංග්‍රීසි හැදෑරීම ඔවුන් විසින් ම තෝරාගනු ලැබ තිබේ.

දැන් තිබෙන එකම ප්‍රශ්නය වන්නේ ‘ඉංග්‍රීසියෙන් ලිවීම’ පිළිබඳව එකඟතාවයකට එළැඹීමයි. එනම්, නිවැරදිව ලියන්නේ කෙසේද? යන්නයි.

බෙන්ජමින් ඩ්‍රයර් ට ස්තුතිවන්ත වන්නට දැන් පිහිටක් තිබේ. ඔබේ දෑස රතු වන තුරු සිනහ ගැන්විය හැකි, ලේඛන කලාව සහ ව්‍යාකරණ පිළිබඳව ලියවුණු එකම පොත ඔහුගේ ‘ඩ්‍රයර්ස් ඉංග්ලිෂ්’ (Dreyer’s English) නමැති ග්‍රන්ථය විය හැකිය.

පාලකයා කවුද?

රටවල් 50කට අධික ප්‍රමාණයක නිල භාෂාව ඉංග්‍රීසි වන නමුත් එම භාෂාව නියාමනය කිරීම සඳහා “බලධරයකු” නොමැත

පාලකයෙකු නොමැත. ඉංග්‍රීසිය පවතින්නේ භාෂාමය අරාජිකත්වයකය. එය කිසිදා නියාමනය වී නැත. එසේ කිරීමට ‘ලොක්කෙක්’ නොමැත.

ප්‍රංශ හෝ ස්පාඤ්ඤ භාෂාවට මෙන් එහි විකාශනයේ හෝ අභිවර්ධනයේ භාරකාරත්වය පැවැරුණු ශාස්ත්‍රාල හෝ විද්වත් පර්ෂද ඉංග්‍රීසියට නොමැත. එහෙයින් මුළු විශ්වයටම බලපවත්නා පරිදි ඉංග්‍රීසි ව්‍යාකරණ නීති රීති ස්ථාපනය කිරීමට පාලකයකු නැත.

ඉංග්‍රීසියේ අක්ෂර වින්‍යාසය නපුරු සිහිනයකි. ඉංග්‍රීසි වදන් බොහොමයක් වෙනත් භාෂාවන්ගෙන් ලැබුණු ඒවා වීම ඊට හේතුවකි.

තේරුම් ගන්න පුළුවන්නම් කොහොම වුණාම මොකද?

මොනවා කියනවද කියල මට නම් තේරෙන්නේ නැහැ!

කෙනෙකුට එහෙම හිතෙන්නත් පුළුවනි.

සන්නිවේදනය සඳහා මෙය සරලව ගත හැකි නමුත් වෘත්තීයමය වශයෙන් යමක් ලියන්නේ නම් එය නිවැරදි සහ පැහැදිලි විය යුතුය.

නිවැරදි අක්ෂර වින්‍යාසය භාවිත නොකිරීමෙන් හාත්පසින් වෙනස් වූ අර්ථයක් ගම්‍ය විය හැකිය.

පළමු අභ්‍යාසය:

කසල වදන් රහිතව ලියමු

ඉංග්‍රීසි බස පිළිබඳව ලොවට ම පොදු එක් නීති මාලාවක් නැතත් “අනවශ්‍ය වදන් ඉවත් කර ලියන්නට හැකි නම්” ඔබට වඩා හොඳ ලියන්නෙකු විය හැකි බව බෙන්ජමින් ඩ්‍රයර් ගේ අදහසයි.

very, rather, really, quite, just සහ in fact යන වදන් නොමැතිව සතියක් ලියන්න. ඇත්තටම, actually කියන වචනෙත් මේ ලැයිස්තුවට එකතු වෙන්න ඕන. එහෙම ලියන්න ගත්තොත් ඔබේ ලිවීම 20%කින් වඩා හොඳ තත්වයකට පත් වෙනවා.” ඩ්‍රයර් පවසයි.

දෙවන අභ්‍යාසය:

වැඩකට නැති නීති කාණුවට දමන්න -බෙන්ජමින් ඩ්‍රයර්

ඇතැම් “නීති” ඔබේ ලිවීමට අදාළ නොවිය හැකි බව ඩ්‍රයර් පවසයි. මේවා පාසලේ දී අපගේ ඔලු ගෙඩි තුළට දැමූ නීති බව ඔහුගේ අදහස වෙයි.

ඩ්‍රයර් ගේ උපදෙස පැහැදිලිය: “ඒවා මතකයේ තබා ගන්න. නොසලකා හරිමින් ඉදිරියට යන්න.”

“ඔබට කියල දීල ඇති and හෝ but යන වදනින් වාක්‍යයක් ආරම්භ කරන්න එපා කියල. එවැනි තහංචියක් දමන්න යුක්ති සහගත හේතුවක් නැහැ. මෙය විවාදයකට තුඩු දිය හැකියි.”

“නිර්භීත වන්න. ඉංග්‍රීසි භාෂාවේ ඇති අපූරු පැහැයන් වැළඳ ගන්න. එය වාක්‍යයක් පටන් ගන්න හොඳම ක්‍රමය නොවෙන්න පුළුවන්. ඒත් ඒක වැරද්දක් නොවෙයි.”

කිසි විටෙක නිපාතයකින් වාක්‍යයක් අවසාන නොකළ යුතුය යන දැඩි නීතියෙන් ද නිදහස් විය යුතු බව ඩ්‍රයර් පවසයි.

“නැවතත් කියනවනම්, හොඳ ම ක්‍රමය නොවුනත් එය වරදක් නොවෙයි.”

තෙවන අභ්‍යාසය:

ඔබ කැමති ලියැවිල්ලක් ගැඹුරින් හදාරන්න

“හොඳ රචකයෙක් වෙන්න හිතන කෙනෙකුට මට දෙන්න පුළුවන් උපදේශයක් තියෙනවා. ලස්සන ලියැවිල්ලකින් කොටසක් ගන්න. ඒකම වෙනස් නොකර වචනයෙන් වචනයට නැවතත් ලියන්න.”

“මේක කොම්පියුටරයෙන් කරන්නත් පුළුවන්, අතින් ලියන්නත් පුළුවන්. වෙනත් කෙනෙකුගේ ලියවිල්ලක් ආයෙත් ලියනකොට ඔහුගේ රිද්මය හා වදන් තෝරා ගැනීම වැනි බොහෝ අපූරු දේවල් ඔබට ඉගෙන ගත හැකියි.”

“හොඳ ලියැවිල්ලක් දැනෙන්නේ කොහොමද කියල අත්හදා බැලිය හැකි හොඳම සහ සරලම ක්‍රමය ඒකයි.” බෙන්ජමින් ඩ්‍රයර් ප්‍රකාශ කළේය.

අක්‍ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ පරීක්‍ෂාවට පරිගණකය?

ලේඛන කලාව පරිගණකට භාර දිය හැකි ද?

“ව්‍යාකරණ සඳහා පවතින පරිගණක මෘදුකාංග ඔය කියන තරමට උසස් මට්ටමක තියෙනව නම් පිටපත් රචකයෙක් හැටියට මට මගේ රස්සාවත් නැති වෙනවා.” ඩ්‍රයර් පවසයි.

“ගැටලුව මේකයි. ඊට පවරා ඇති රාජකාරිය හරියට ඉටු කළ නොහැකියි. එය නම්‍යශීලී නැහැ. විධානයන් දෙන අධිපතියෙක් වගේ. මම ඒක පිළිගන්නේ නැහැ. ‘ශුද්ධ වූ ව්‍යාකරණ නීති’ උල්ලංඝනය කිරීම ඇතැම් විට ඔබේ රචනයේ දී අවශ්‍ය වන දෙයක්.”

“ඒ වගේම තමයි, අක්‍ෂර වින්‍යාසයටත් කොම්පියුටරය මතම යැපෙන්න බැහැ.”

එහෙත් පරිඝනකය මගින් අක්‍ෂර නැවත වතාවක් පරීක්‍ෂාවට ලක් කිරීම සුදුසු බව ඩ්‍රයර් පිළිගනී.

“කොහොම නමුත් තමන්ගේ ඇස් දෙක අවතක්සේරු කරන්න එපා. සමාන ශබ්දය ඇති. එභෙත් තේරුම වෙනස් වචන තිබෙන බැවින් පරිඝනකය හැම විටම නිවැරදි නැහැ. reign සහ rain යන වචන දෙක වෙනස්ව හඳුනා ගත හැකි කිසිම මෘදුකාංගයක් ගැන මම තාම දන්නේ නැහැ.” ඔහු පැවසීය.

(බීබීසී ලෝක සේවයේ ඊවා ඔන්ටිවෙරෝස් ගේ ලිපියක් ඇසුරෙනි.)

Recommended For You

About the Author: Editor