කාට වුණත් ආවට ගියාට අපේ සහාය දෙන්නේ නැහැ – SLMC නායක රවුෆ් හකීම්

ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ සිය අපේක්ෂකයින් නම් කිරීමෙන් පසුව එම අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය කිරීමේ ශක්තිය සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන සලකා බැලීමෙන් අනතුරුව තම පක්ෂය සහාය දෙන අපේක්ෂකයා පිළිබඳව තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ජල සම්පත් ජලාපවාහන සහ නාගරික සංවර්ධන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ අද (04) සවස මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රවුෆ් හකීම් මහතා මෙසේද ප‍්‍රකාශ කළේය.

‘‘‘එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයා යුතුයි කියන මතයේ සිටියත් ජනාධිපතිවරණය කියන්නේ පුද්ගලිකව නායකයෙක් තෝරා පත් කර ගැනීමේ මැතිවරණයක්. එහෙම වුණහම ඒ අපේක්ෂකයා පිළිබඳව, ඒ අපේක්ෂකයාගේ ආකල්ප පිළිබඳව අපේක්ෂකායගේ දර්ශන පිළිබඳව අපි දැන ගත යුතුයි. ඒ නිසා අපේක්ෂකයා ඉක්මනින් එළි දැක්වීම ඉතා අවශ්‍ය කාරණයක් ලෙස අප දකිනවා. ඒ පිළිබඳ තීරණය ඉතා ඉක්මනින් ලැබෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා.

ජනාධිපතිවරණය සඳහා මුස්ලිම් අපේක්ෂකයෙකු වෙනමම ඉදිරිපත් කිරීම සඳහා පවතින ඉඩකඩ ඉතාම අඩුයි. ප්‍රධාන පක්ෂ දෙක ගන්නා තීරණ මත එය රඳා පවතින බවයිග සුළු ජාතින වශයෙන් ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති සහ ජයග්‍රහණය කිරීමේ ශක්තීන් පිළිබඳව අප දැන ගත යුතුයි.

ඒවගේම ජාත්‍යන්තර වශයෙන් ලබා ගත හැකි සහයෝගය, රටේ ආර්ථිකය ගොඩනැගීමේ හැකියාව, රටේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනිමේ හැකියාව ඇතුළු සියල්ල සැලකිය යුතු වෙනවා. කෙටියෙන්ම කිවහොත් මුළු රටේම සංකේතයක් ලෙස මේ රටේ ජනාධිපති ධූරය ජාත්‍යන්තර වශයෙන් වැදගත් වෙනවා.

ඒ නිසා සාමාන්‍ය මැතිවරණයකට යොමු කරන අවධානයට වඩා වැඩි අවධානයක් ජනාධිපතිවරණ අපේක්ෂකයා කෙරෙහි යොමුකළ යුතුයි’’ යැයිද රාවුෆ් හකීම් අමාත්‍යවරයා සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor