සිම්බාබ්වේ ක‍්‍රීකට්වලට වුණ දේ ලංකාවේ වෙන්න දෙන්න බෑ – ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සභාපති ශෂාන්ක් මනෝහර් මහතා හා ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා නවදිල්ලි නුවරදී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන ව්‍යුහයේ සිදුකරන වෙනස්වීම් ඇතුළු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති සමග පැවැත්වූ සියලු සාකච්ඡා සාර්ථක වූ බවත් සිම්බාබ්වේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවූ දේ අපට වෙන්න ඉඩ දිය නොහැකි බවත් ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා අවධාරණය කරනවා.

ක‍්‍රීඩා ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ සේවක නේවාසිකාගාරය ජනතා අයිතියට පැවැරීම, නව පරිපාලන ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කිරීම, රථගාල විවෘත කිරීම හා එළිමහන් ක්‍රීඩාංගණයේ අඩුපාඩු සම්පූර්ණ කිරීම වෙනුවෙන් පසුගිය 02 දා පැවැති උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් සමග පැවති සාකච්ඡුාවේදීයි.

තම ආරාධනාව පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සභාපති ශෂාන්ක් මනෝහර් මහතා මේ මස 23 වැනිදා සිවුදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් එහිදී දියගම ඉදිකිරීමට යෝජිත නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කටයුතු සොයා බැලීමට නියමිත බවත් ක්‍රීඩා ඇමැතිවරයා පැවසුවා.

රජයට අයත් දියගම ප්‍රදේශයේ පිහිටි අක්කර ගණනක ඉඩම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බදු ක්‍රමයට ලබාගෙන එහි දිවා – රාත්‍රී ක්‍රීඩා කළ හැකි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහයෝගය ලැබෙනු ඇති බව ඇමැතිවරයා පැවසුවා.

ක්‍රීඩා ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ සිදත් වෙත්තමුනි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සකස් කරන ලද සංශෝධිත ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලියේ කටයුතු ඉදිරියට ගෙනයෑම උදෙසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සභාපතිවරයාගේ විශේෂ නියෝජිතයෙක් පත්කළ බවද ඇමැතිවරයා සඳහන් කළා.

එමෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුකිරීමට නියමිත අතිවිශාල ගනුදෙනුවක් ලෙස සැලකෙන රූපවාහිනී විකාශන අයිතිය විකිණීමේ ටෙන්ඩර් පටිපාටිය සිදුවන ආකාරය අධීක්ෂණයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිලධාරීයෙක් පත්කිරීමටද අයි සී සී සභාපතිවරයා එකඟවී ඇති බවයි ඇමැති හරීන් සඳහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී විකාශන අයිතිය විකිණීමේ ගනුදෙනුව බොහෝ අවස්ථාවලදී මතභේදකාරී තත්ත්වයකට පත්වන බැවින් එය විනිවිදභාවයෙන් සිදුකළ යුතු බවට ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සභාපතිවරයාගේ අවධානයට ලක්කර තිබෙනවා.

ක‍්‍රීඩා ඇමැතිවරයා මෙසේ ද සඳහන් කළා.

‘‘ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන ව්‍යුහයේ සිදුකරන වෙනස්වීම් ඇතුළු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති සමග පැවැත්වූ සියලු සාකච්ඡා සාර්ථක වුණා. ඒත් යම් කිසි කෙනෙක් පවසා තිබුණා මා අයිග සීග සීග සභාපතිවරයා හමුනොවූ බව. ඒවාට දැන් නිසි පිළිතුරු ලැබී තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කැමැති නෑ අතුරු පාලක කමිටු පත්කරනවාට. යම් අයෙකුගේ අවශ්‍යතාවට එහෙම කළොත් ක්‍රිකට් අනතුරේ. සිම්බාබ්වේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවූ දේ අපට වෙන්න දෙන්න බෑ.

සිම්බාබ්වේ ජනාධිපතිවරයා ඔහුට අවශ්‍ය කෙනෙක් ක්‍රිකට් සභාපති කළා. ඒක දේශපාලන අත පෙවීමක් බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කියන්නේ. සිම්බාබ්වේ සභාපති ක්‍රිකට්වලට ලැබුණු මුදල් පෞද්ගලික ගිණුමකට දාගත්තා කියලා විශාල චෝදනාවක් ආවා. වසර කිහිපයකට පෙර අපේ රටේත් ක්‍රීඩාංගණයක් හදන්න ලැබුණු සල්ලි එහෙම පෞද්ගලිකව කෙනෙක් ගත්තා කියලා චෝදනාවක් තාමත් තියෙනවා. ඉතින් මේ සියල්ල සැලකිල්ලට ගෙන රටක් හැටියට හිතලා තීන්දු ගැනීමයි මගේ වගකීම’’ ක්‍රීඩා ඇමැතිවරයා පැවසුවා.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවී

Recommended For You

About the Author: Editor